ක්‍රීඩා දැනුම

ජාත්‍යන්තර දැල්පන්දු පිටියේ ශ්‍රී ලාංකේය සන්නාමය

වේලාව සවස හතර පසු වන්නට ඇත. බම්බලපිටියේ සිට කටුබැද්ද වන තුරු තිබූ මාර්ග තදබදය අතරින්ම බස් රථය ඉදිරියට ඇදී යන්නට විය. ඒ අතරමග නැවතුමක දී බසයට නැගගත් තරුණියකි. ඉතා අපහසුවෙන් කොන්ද නමාගෙන සෙනග අතරේ තෙරපෙමින් සිටි ඇයට බස් රථයේ ඇතුළට යන ලෙස කොන්දොස්තර මහතා විසින් උපදෙස් ලබා දුන්නත් හරිහැටි සිංහල භාෂාව නොතේරුණු ද්‍රවිඩ තරුණියක් වූ ඇය දැඩි අපහසුතාවයට පත් වීය. මේ අතරතුරේ සැමගේ අවධානය ඇය වෙත යොමු වූයේ  ඇයගේ අසාමාන්‍ය උස ප්‍රමාණය නිසාය. කෙසේ නමුත් අවසානයේ ගමනාන්තයට යාමට පෙර අතරමඟ දී බසයෙන් බැස යාමට ඇයට සිදුවිය.

එදා තම උස ප්‍රමාණය නිසා දැඩි අපහසුතාවයට පත් වී බසයෙන් බැස යාමට සිදු වූවත් තම ජයග්‍රාහී ගමන් මාර්ගය තුළ නම් ඇයට අතරමගින් බැස යාමට සිදු වූයේ නැත. එම උස ප්‍රමාණයම ආශිර්වාදයක් කොටගත් ඇය ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස වාර්තා තැබූ මුලු ලොවක් ආදරය කරන තර්ජිනී සිවලිංගම්ය. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ කීර්තිමත් ක්‍රීඩිකාවකි. ‘ජෙනී’ යන කෙටි නාමයෙන් බොහෝ දෙනා අතර ජනාදරයට පත්ව ඇති ඇය සැබවින්ම ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය දිරිය දියණියකි.

1978 දෙසැම්බර් 30 වන දින යාපනයේ පුන්නාලයිකඩ්ඩුවාන් හි උපත ලැබූ තර්ජිනීට අද දින වන විට වයස අවුරුදු 43 ක් සපිරෙයි. ඇයගේ පියා සිවලිංගම් වූ අතර ඇයගේ මව කාන්දිමදීය. ඒ වගේම ඇයට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක්, වැඩිමහල්  සහෝදරියක් හා බාල සහෝදරයෙක් සිටී. එකල යුද ගිනිදැල් ඇවිලෙමින් තිබූ යාපනය භූමියේ දිවි බේරා ගෙන ජීවත් වීම ද තරජිනී ඇතුළු පවුලේ සැමට විශාල අභියෝගයක් විය. 

වජවලන් (Vajavalan) මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත් ඇය කෙතරම් දුක් කරදර මධ්‍යයේ වුවත් තම පාසල් අධ්‍යාපන කටයුතු මගහැර ගත්තේ නැත. තර්ජිනී එකල ද අනෙකුත් සිසු සිසුවියන් අතර කැපී පෙනෙන සිසුවියක් වූයේ ඇයගේ උස ප්‍රමාණය නිසාය. වර්තමානයේ ඇයට ආශිර්වාදයක් වූ ඇයගේ උස එකල නම් ඇයට විශාල පීඩනයක් ගෙන දුන් කාරණාවක් විය.

“මගේ මේ උස නිසා මම සෑහෙන විහිළු තහළු වලට ලක් වුණා. පාසැලේ දී වගේම ගෙදරින් පිටතට ගියාම මගේ දිහා මිනිස්සු අමුතු විදිහට බලන්න ගත්තා. ඒ නිසා මම සෑහෙන අපහසුතාවලට මුහුණ දුන්නා. ඉස්කෝලෙ ළමයි මට කිව්වෙ ඩයිනෝසර් කියලා. ඒ දවස් වල මම පොඩි නිසා මිනිස්සු කියන ඒවට හිත රිදුනා. නමුත් අත්දැකීම් එක්ක ඒ හැම දේකින්ම මම තවත් ශක්තිමත් වුණා.” 

පාසල් ජීවිතයේ ඇය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ඇය සිහිපත් කරන්නේ ඒ ආකාරයෙන්ය. 

ගමක ජීවත් වූ ඇය නගරයට යාමට මැලිකමක් දක්වන්නේ ද ඇයගේ මෙම අසාමාන්‍ය උස ප්‍රමාණය නිසා මිනිසුන් ඇය දෙස අමුතු ආකාරයෙන් බැලූ නිසාය. යුද්ධයේ කටුක අත්දැකීම් සමඟ තම පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට වූ නිසා තර්ජිනීගේ නිවස පවා යුද්ධයෙන් විනාශ වී ඇත. සීමිත යටිතල පහසුකම් යටතේ වරින් වර නිවාස මාරු කරමින් යුද කලාප මගහරිමින් තම දිවි බේරා ගැනීමට වෙහෙසුණු තර්ජිනී ඇතුලු පවුලේ සැම තර්ජිනීගේ මවගේ උපන් ගම වන කිලිනොච්චිය වෙත ගොස් පසුව 2007 වසරේ දී නැවතත් යාපනයට ගොස් ඇත. තම ජයග්‍රාහී මාවතේ හිනිපෙත්තටම ගමන් කළ තැනැත්තෙකුගේ ජයග්‍රහණය ඉතා පහසුවෙන් එක් රැයකින් ලබා ගත් දෙයක් නොවන අතර ඒ වෙනුවෙන් සිදු කළ කැපකිරීම් දන්නේ ඔහු හෝ ඇයම පමණි. ඒ අනුව බලන විට තර්ජිනීගේ ගමන් මාර්ගය ද එවැනි බාධක මැදින් ගලා යන ගංගාවකට සමානය.

කොහොම නමුත් මෙවැනි බාධක තම අධ්‍යාපන ජීවිතයට බාධාවක් කර නොගත් තර්ජිනී වැඩිදුර අධ්‍යාපනය සඳහා මඩකලපුව නැගෙනහිර විශ්ව විද්‍යාලයට තේරී පත් වූයේ ඇය ඉගෙනීමට උපන් හපන් තැනැත්තියක් බව තවදුරටත් තහවුරු කරමිනි. ඇයගේ වාසනාවේ දොරගුළු විවර වූයේ විශ්ව විද්‍යාලය තුළින් යනුවෙන් සඳහන් කිරීමේ වරදක් නැත. එක් අවස්ථාවක දී දෙරණ මාධ්‍ය ජාලයේ ‘කෙළි බිම’ නම් වැඩසටහන මගින් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී ඇය පවසා සිටියේ ඇයට පාසල් කාලයේ යුද ගිනිදැල් සමඟ නිසිආකාරයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වීමට ඉඩකඩ නොතිබූ බවත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ පසු තමාට එම අවස්ථාව ලැබුණු බවත්ය. 

“මං වගෙ කෙනෙක් ලංකාවේ ඉන්නව කියලා හැමෝම දැනගත්තේ මම විශ්ව විද්‍යාලයට ඇතුළු වුණාමයි” 

ඇය එහි දී ප්‍රකාශ කර සිටියාය.

මේ ආකාරයෙන් 2004 වසරේ මඩකලපුව නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සරසවි සිසුවියක ලෙස සිටිය දී වව්නියාවේ පැවැත්වුන විවෘත දැල්පන්දු තරගාවලියට විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වීමට තර්ජිනීට අවකාශය ලැබුණි. එය සංවිධානය කළේ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසිනි. එහි දී කාගේත් නෙත් සිත් පැහැර ගැනීමට තර්ජිනීගේ උස ප්‍රමාණයත්, හැකියාවත් සමත් විය. එකල දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය ලෙස කටයුතු කළේ එවකට ජනාධිපති ආර්යාව වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. එහි දී දැල්පන්දු විනිසුරු ජූඩ් ජයසේකර, තිලකා ජිනදාස යන මහත්ම මහත්මීන් ඇතුළු දැල්පන්දු සම්මේලනයේ නිලධාරීන්, පුහුණුකරුවන් මෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවෝ ඇයට කොළඹට පැමිණීමට ආරාධනා කරන ලදී. 

කුඩා කල සිටම අනේක අභියෝගයන්ට මුහුණ දුන් තර්ජිනී මෙම අභියෝගය භාර ගනු ලැබූවේ ඇයගේ දිරිමත්භාවය නිසාය. යාපනයේ දී මෙන් නොව ඇයට කොළඹ ජීවිතය තරමක් අභියෝගාත්මක විය. විශේෂයෙන්ම මුල් කාලයේ සිංහල භාෂාව හරි හැටි නොදැනීම නිසා ඇයට භාෂාමය ගැටලු මතු විය. කෙසේ වුවත් ඇය තම උත්සාහය අත්හැරියේ නැත.

ඒ අනුව හයසින්ත් ජයසේකර පුහුණුකාරිනිය යටතේ 2007, 2008, 2011, 2012, 2014 වසර වලත්, තිලකා ජිනදාස මහත්මිය යටතේ 2009, 2010, 2011, 2016, 2017, 2018, 2019 වසර වලත් පුහුණු වීම් කර ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඇයට අවස්ථාව ලැබුණි. 2009 වසරේ සිට තර්ජිනී දැල්පන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් වූ අතර එහි දී දැල්පන්දු ජාතික ශූරතාවලිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක් වූ ඇය එහි දී හොඳම පන්දු විදින්නිය ලෙස සම්මානය දිනා ගත්තාය. 

එසේම ඇය 2012 ආසියානු තරගාවලිය හා 2014 ආසියානු දැල්පන්දු තරගාවලියේ අනුශූරයන් වූ ජාතික කණ්ඩායමේ සාමාජිකාවක් ද වූවාය. එසේම පළමු වටයෙන් ඉවත්ව සිටිය දී 2011 ලෝක දැල්පන්දු ශූරතාවලියේ හොඳම පන්දු විඳින්නිය ලෙස ඇය සම්මානයට පාත්‍ර වීම ද සුවිශේෂී කාරණයකි.

ඇයගේ ඉහළම ජයග්‍රහණ අතරට ලෝක ශූරතාවලියේ ලෝකයේ දෙවැනි ඉහළම ගෝල විදින ක්‍රීඩිකාව (Second World Highest Goals Shooter) හා 2009 වසරේ හත් වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ දී ගෝල විදීමේ ආසියානු වාර්තා දරන්නා (Asian Record Holder in Goals Shooting) බවට පත් වීම ද ඇයගේ හැකියාවන් මනාව පිළිබිඹු කරන තවත් අවස්ථාවන්ය. ඒ වගේම ඇය 2009 හා 2012 වසර වල දැල්පන්දු ක්‍රීඩාවේ ආසියාවේ හොඳම පන්දු විදින්නිය ලෙස සම්මානයට පාත්‍ර විය.

ඇයගේ විශිෂ්ට දක්ෂතාවයන් හේතුවෙන් ජාත්‍යන්තර දැල්පන්දු  පිටියට ද දොරගුළු විවර විය. ඒ අනුව ඇය මාලදිවයින් ක්‍රීඩා සමාජයන් වන Valencia හා Xenith යන ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ඇය සෙලාන් බැංකුවේ සාමාජිකාවක් ලෙස සේවයේ නියුතු වෙයි. ඒ හරහා වෙළෙඳ සේවා දැල්පන්දු තරගාවලියේ දී සෙලාන් බැංකුව නියෝජනය කරමින් ක්‍රීඩා කළ තර්ජිනි 2017 වසරේ දී ඔස්ට්‍රේලියානු City West Falcons දැල්පන්දු සමාජයට ශිෂ්‍යත්වයක් හිමි කර ගත්තාය.

ඒ සමඟම  ඇය විදේශ දැල්පන්දු සමාජයක් සඳහා ක්‍රීඩා කළ එකම ශ්‍රී ලාංකේය දැල්පන්දු ක්‍රීඩිකාව බවට පත් විය. 2017 වසරේ දී විවිධ අර්බුධකාරී තත්වයන් හේතුවෙන් ඇයව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබූවත් තිලකා ජිනදාස මහත්මිය ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස නැවත පැමිණීමත් සමඟ ඇය 2018 දී ජාතික සංචිතයට නැවත පැමිණියාය. 2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ තර්ජිනි තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස සිංගප්පූරුව අවසන් මහා තරගයේ දී ලකුණු 69-50 ක් ලෙස පරාජය කර එය පස් වැනි ආසියානු ශූරතාව බවට පත් කරන ලදී. ඒ වගේම 2018 ආසියානු ශුරතා තරගාවලියේ දී ඇයගේ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් තරගාවලියේ ක්‍රීඩිකාව යන සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවාය.

2019 ජූලි මස පැවැත් වූ දැල්පන්දු ලෝක කුසලානය අතරතුර තර්ජිනී ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සියවැනි ජාත්‍යන්තර තරගයට තරග වැදුන අතර එසේ සිදු කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය. ඒ වගේම 2019 Vitality Netball World Cup තරගාවලියෙ හි එක් තරගයක දී ක්‍රීඩිකාවක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ද ඇය සමත් විය. ඒ අනුව 2019 වසරේ එක් තරගයක දී වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා ගනිමින් ලොව වයස්ගතම ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට ඇය සමත් විය. 

ඇය සහභාගි වූ තරග හතක වැඩිම ගෝල ප්‍රමාණයක් එනම් ගෝල 348 ක් ලබා ගැනීමට ඇය සමත් වීම ද සුවිශේෂී කාරණාවකි. මෙවැනි විශිෂ්ට ජයග්‍රහණය රැසක් තම මාතෘ භූමියට ගෙන දුන් ඇය ලෝක දැල්පන්දු පිටියේ ‘ශ්‍රී ලංකා උස දේවිය’ ලෙස හඳුන්වා දීමේ වරදක් නැත.

උස අඩි 6 අඟල් 11 කින් යුත් ඇයගේ දිවි පෙවෙත සාමාන්‍ය පුද්ගලයකුට වඩා තරමක් වෙනස්ය. ඇතැම් අවස්ථාවල දී ඇයගේ අවශ්‍යතා සපුරා ගැනීම මදක් අසීරු කටයුත්තක් වී ඇත. ගුවන් යානයක ගමන් කරන විට ද ඇය අසුන් ගන්නේ ඉදිරිපස ආසන වලය. නැතිනම් පාද දිගහැර තබා ගැනීමට ඇයට අපහසුය.

“මට හරියන ඇඳුම් හොයන එක තමයි අමාරුම වැඩේ. දැල්පන්දු ක්‍රීඩාවේ ඇඳුම් වගේම මම දිනපතා අඳින ඇඳුම් ඔක්කොම විශේෂයෙන්ම මහන්න ඕනේ. ඩෙනිම් පවා විශේෂයෙන් මහල, නැත්නම් වෙනස් කරලා අඳින්න ඕනේ” 

ඇය අදහස් දක්වන්නෙ ඒ ආකාරයෙන්ය.

කෙසේ නමුත් ඇය දැල්පන්දු ක්‍රීඩාවට පිවිසි මුල් කාලයේ ඇයගේ මව පියා ඇතුළු පවුලේ සැම ඇය තම අධ්‍යාපන කටයුතු අත්හරීවි යැයි බිය වුවත් ක්‍රීඩාව හා අධ්‍යාපන කටයුතු යන දෙකම සමබරව සිදු කිරීමට ඇය සමත් විය. 2005 වසරේ සිට ඇය සෙලාන් බැංකුවේ සේවයේ නිරත වී සිටිය දී සෙලාන් බැංකුවේ සිටි පාලන අධිකාරිය විසින් ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය නිවාඩු ඇතුළු පහසුකම් නොඅඩුව ඇයට ලබා දීම මහත් සහනයක් විය. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දිරිය දියණියන් අතරට තර්ජිනී ද එකතු වන්නේ ඇයගේ නොපසුබට උත්සාහය නිසාමය. අදටත් රටට අවශ්‍ය අවස්ථාවක දී ඇයගේ සේවය නොඅඩුව ලබා දීමට ඇය සූදානම්ය. ඇයගේ උපන් බිම වූ උතුරු පළාතේ අවම පහසුකම් යටතේ වුව ද දැල්පන්දු ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් ඇය කටයුතු කරන්නේ ඇයගේ මුල අමතක නොකරන උතුම් ගුණාංගය නිසාය.

ඇය අනාගත දරු පරම්පරාවට පවසා සිටින්නේ ජීවිතයේ කෙතරම් බාධක පැමිණිය ද ඉදිරියටම යාමට අධිෂ්ඨාන කරගන්නා ලෙසයි. උපන් බිමට ණය නැති මෙවන් දිරිය දියණියන් රටටත් ලෝකයටත් මහත් අභිමානයක් මෙන්ම ආදර්ශයකි. එසේ නම් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගොස් ලොවක් දිනූ තර්ජිනී සිවලිංගම් දිරිය දියණියට අද වැනි දිනයක Colombo Beacon වෙතින් සුබම සුබ උපන්දිනයකට ආසිරි පතන්නෙමු.

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කේතනී පූර්ණිමා

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment