විශේෂ දිනයන්

ජාත්‍යන්තර මැයි දිනය

හාම්පුතුන්ගේ දරදඬු පාලනයකට එරෙහිව පැය 8ක වැඩ මුරයක් ඉල්ලා වැඩ කරන ජනතාව ලොවටම හඬ ගෑ දවස, ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස අප අදටත් සමරන්නෙමු. මැයි පළමුවනදාවක් සමස්ත ලෝකයටම මතක් කර දෙන එක් පණිවිඩයක් ඇත.එනම් ලෝකය තුල අනුන් වෙනුවෙන් දහඩිය හෙලන වැඩ කරන ජනතාව ලෙස නම් ලත් පිරිසක්ද සමාජය තුල සිටින බවයි.

මැයි දින ඉතිහාසය 1886 වර්ෂය දක්වා දිව යයි. ඇමෙරිකාවේ හේමාකට් චතුරස්‍රයේ දී වැඩ කරන ජනතාව පැය 8ක වැඩ මුරයක් ඉල්ලා මුල්වරට සිදු කල අරගලය මැයි දිනයේ ආරම්භය ලෙස සටහන් වී ඇත. නමුත් කම්කරු ජනතාවගේ ඉල්ලීම්, චිකාගෝ කර්මාන්තශාලා හිමියන් විසින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තත්වය වඩාත් උණුසුම් අතට හැරිණි. අවසන කම්කරු ජනතාව තම අයිතීන් වෙනුවෙන් අරගල බිමේ තම හඬ අවදි කරන ලදී. වැඩ වර්ජනයේ තෙවනි දිනයේදී පොලිස් වෙඩි පහරින් අරගල බිමට සිව් දෙනෙකු අහිමි වීමත් සමඟ තත්වය වඩාත් උද්වේගකර විය. මෙම තත්වය පසුව පොලිස් නිලධාරීන් 6දෙනෙකු මිය යාම තෙක් වර්ධනය විය. ඔගස්ටස් ස්පයිස්, ඇඩොල්ෆ් ෆීෂර්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, ජෝර්ජ් එන්ගල්ස්, ඇල්බට් පාර්ඩ්න්ස් ආදී වූ බොහෝමයක් කම්කරු නායකයන්ට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වීම, වඩාත් ඛේදනීය විය. මේ සියල්ල සැමරීමක් ලෙස මැයි පළමුවන දින ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කරන ලදී.

කම්කරු නායක ඒ.ඊ ගුණසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් 1926 වර්ෂයේදී මැයි දිනය ලංකා ඉතිහාසය තුල ප්‍රථම වරට සැමරූ අතර ප්‍රථම මැයි රැළිය 1933දී කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් කරන ලදී. මෙරට කම්කරු පන්තිය 1947 කාලවකවානුව තුල වඩාත් අරගලකාරී වූ අතර එමගින් කම්කරු නායකයන් තවත් රටට දායාද විය. පසුව මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් කරන ලදී.

වර්තමානය වනවිට මැයි දිනය හුදෙක් එක් නිවාඩු දිනයක්ද නැතිනම් දේශපාලන පක්ෂ තම ආත්මාර්තකාමී අරමුණු වෙනුවෙන් කම්කරුවන් අතකොලු බවට පත් කරගන්නා දිනයක්ද යන්න නොවැටහේ. පක්ෂ පාට භේද නොසලකා සමස්ත වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සමස්ත රටක් ඒකාත්මික වන දිනයක් බවට පත් කරගැනීම  ජාතික අවශ්‍යතාවයක් වේ.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

එරංගා දිසානායක

නීති පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment