ඉරි තලා වියලෙන තරමටම
ගිනියම් ඉඩෝර කාල වල
හෙවනක් නැතුව උන් දවස් ඇති
හැම හිතම පිච්චුන…
කැටි ගැහුනු වලාකුලු මතක
දියවෙලා වැටෙන වැහි වලට
හේදිලා ගිය සිහින ඇති
හැම හිතම තෙත්කල…
ජීවිතේ ගලායන අතරමග
නපුරු ගල් පර බෑවුම් ලගින්
කඩාගෙන වැටුනු කාලයන් ඇති
හැම හිතම විදවුව…
හිනාවුනු තරමටම අඩවන
හැඩූ දින ගැන හිනාවෙන
සුන්දර අසුන්දර මතක ඇති
හැම හිතම මුමුණන…
රන්වන් ළහිරු කිරනින්
දිදුලන පිනි කැටක් අතරින්
වසන්තය හමු වේවි දිනයක
හැම හිතම සනහන..
Leave a Comment