නිසදැස්

ටජ්මහලෙ පැටලිලි ලිහෙනතුරු

 

අද උදේ ඉඳන් ඈ
මා ළඟින් වැතිරගෙන
සොහොන් ගෙය අතගගා
බලනවා මොකක්දෝ තනි ඇහැට තියාගෙන

 බඩගිනිත් නෑ කිව්ව – දුවව නම් එපාමලු
ඒ හැරෙන්නට මිමිණුවෙම
පර්‍යේෂණ! සුසාන! කැටයම්! අද විතරයි! අද විතරයි! පිරිමි නම් ඔහොමමයි!
නඩුවෙ ලියවිලි හරිද!

 අද මගේ වාරය ද? – ඈ මගේ විනිසුරු ද?

 කඩතුරා මෑත් කොට ඇසුවොතින් මගෙ නඩුව
මම ම දෙමි සාක්කිය
බිඳීයන සේ නරුම – මහ රාජ මායාව…
ෂා ජෙහාන් උඹෙ නැටුම් – දැන් ඉතිං කම්මුතුයි!

 ප්‍රේමයේ සිහිවටන – නොවේ මෙය අමු සොහොන
සත්‍යයේ හිරි ඔතප්
බූදලෙන් වසන් කළ…

 සුසුම්ලන ඉකිබිඳින – මළවුන්ගෙ ලොවේ හිඳ
මා නැගූ අඳෝනා – මහමෙරක් සෝ සුසුම්
කැරකුණා මෙතෙක් කල්
අඩි හයක් ඇතුළත ම…

 නංගියේ සත්තමයි…
මෙතෙක් කල් අඳ බිහිරි
රැළක් ආවා මෙහෙට
උන් ගියා ෂා ජෙහාන් මරු රජෙක් කියාගෙන…

 සැබෑ පෙම මැන්නෙ උන් තරාදියෙ දාලාද?
කැකෑරෙන ළසෝගිනි කිලෝවක් කීයයිද?
කලියුගයෙ හැටි අනේ හරිම අමුතුයි නේද?
අද හඳත් නෑ අහසෙ – අමාවක දවසක්ද?

 තරු එළියෙ ඉඳන්වත් – සාක්කිය කියන්නද?
ටජ්මහලෙ පැටලිල්ල අදම නුඹ ලිහනවද?

 ඇයි නඟේ උඹ යන්නෙ – නඩු ඇහුවෙ නෑ නේ ද?
මට සෙතක් කරලන්න ගත්තු කැටයම් ඇති ද?

එන්. ආර්. කේ. හිරුනිකා කුලරත්න
තෙවන වසර
ශාස්ත්‍ර පීඨය

 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කුෂානී හිරුනිකා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment