දැනුම

‘තාක්ෂණයේ විස්කම්’ – අපූරු පෙරළිකාර තාක්ෂණයක් වන මෙකට්රොනික්(Mechatronic) තාක්ෂණය

 තත්පරෙන් තත්පරය දැනුමින් සංතෘප්ත වන මිනිසා දිනෙක තවත් මිනිසෙකු නිර්මාණය කල හැකි විශිෂ්ඨ මනසක හිමිකාරයෙකු වනු නොවනුමානය. ඉදින් අද ඒ සඳහා beacon පාඨක ඔබට අත්වැලක් වෙමින් තාක්ෂණ ලෝකයේ තොරතුරු සොයා අපි ආරම්භ කළ ගමනේ මුල්ම පියවර ලෙස ඔබේ දැනුම් ගබඩාවට එකතු කරන්නට යන්නේ අපූරු තාක්ෂණයක් පිළිබඳවයි.     

      නමින් මෙය මෙකට්‍රොනික් (Mechatronic)  තාක්ෂණය ලෙස හැඳින්වේ. හුදෙක් ඔබ මේ පිළිබඳව අසා නොතිබෙනවා විය හැක. Mechatronic(මෙකට්‍රොනික්) යන වචනය නිර්මාණය වී ඇත්තේ mechanics  යන වචනයේ  mecha යන අකුරුවලත්, electronic  යන වචනයේ tronic යන අකුරුවලත් එකතුවෙනි. මෙය පළමුවරට ලොවට ඉදිරිපත් කරන ලද්දේ යස්කාවා විද්‍යුත් සමාගමේ(yaskawa electric corporation)  ඉංජිනේරුවරයෙකු වූ ටෙට්සුරෝ මෝරි(Tetsuro Mori) විසිනි. මුලින්ම මෙම සමාගම විසින් සමාගමේ වෙළඳ නාමයක් ලෙස මෙම නාමය භාවිතා කළද පසුව වෙළඳ අයිතීන් අතහැර සියල්ලන්ටම මෙම නාමය භාවිතා කිරීමට අවසර ලබාදී ඇත.       

      කෙසේ වෙතත් මෙකට්‍රොනික්ස් තාක්ෂණය යථාර්ථවාදි ඉංජිනේරු විද්‍යාව (precision engineering) , විද්‍යුතය පාලනය(eletronic control) සහ යාන්ත්‍රික පද්ධති(mechanic systems) යන්නෙහි සංකලනයක් ලෙස හඳුන්වා දෙයි. එමෙන්ම මෙම තාක්ෂණය න්‍යායන් 5ක් යටතේ රඳා පවතින බව පිළිගැනේ.

එනම් 

         1. mechanics(යාන්ත්‍ර විද්‍යාව)

          2. electronics(ඉලෙක්ට්‍රොනික විද්‍යාව)

          3. informatics(තොරතුරු තාක්ෂණ විද්‍යාව )

          4. automation(ස්වයංක්‍රීයකරණය)

          5. robotics(රොබෝ විද්‍යාව)

අද වන විට කාර්මික ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය තාක්ෂණයක් වන මෙය ඉතා පුළුල් පරාසයක පැතිර පවතී. එනම් මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව(automotive engineering), රොබෝ විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණය(robotics and automation), සංගීත භාණ්ඩ නිර්මාණය(instrumentation), පාරිභෝගික නිශ්පාදන සැකසීම(consumer product design), විශේෂඥ පද්ධති(expert systems), සංවේදක සහ පාලක පද්ධති(sensing and control systems), වෛද්‍ය මූර්තන පද්ධති(medical imaging systems), ව්‍යුහාත්මක කාර්ය පද්ධති(structural dynamic systems), ප්‍රවාහන හා රථ වාහන පද්ධති(trasfortation and vehicular systems), පරිගණක සමෝධාන සැකසුම්(computer integrated process), ඇසිරීම(packaging), ජංගම යෙදවුම් මෘදුකාංග(mobile apps), උපකරණ  පාලනය(device control) ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක අත්‍යවශ්‍ය තාක්ෂණයක් බවට මෙකට්‍රොනික් තාක්ෂණය පත්වී හමාරය. ගෙදර දොර භාවිතා කරන කුඩා උපකරණවල සිට විශාල ගුවන් යානා, රොබෝවරු වැනි සංකීර්ණ උපකරණ දක්වාම මෙකට්‍රොනික් තාක්ෂණය යොදා ගනී.     

       අනෙකුත් තාක්ෂණික උපකරණවලට වඩා මෙකට්‍රොනික් පද්ධතිවල ඇති විශේෂත්වය වන්නේ සංවේදක හා පරිගණක පාලන කොටස් එකතු කිරීම මඟින් ඒ ඒ පද්ධතිවලට ස්වයංක්‍රීයව කටයුතු කිරීමේ හැකියාව ලබාදී තිබීමයි. සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව පමණක් සමහර උපකරණ නිෂ්පාදනයට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. නමුත් මෙකට්‍රොනික් තාක්ෂණය යොදා ගැනීම මඟින් එම උපකරණ ලාභදායක කරගැනීමට මෙන්ම උපකරණවල ප්‍රමාණය කුඩා කරගැනීමටද හැකියාව ලැබී ඇත. එයට හොදම නිදසුනක් වන්නේ ස්වයංක්‍රීයව ක්‍රියා කරන රෙදි සෝදන යන්ත්‍රයයි. මෙහි යොදා ඇති ස්කන්ධ ස්ංවේදක මඟින් රෙදිවලට අවශ්‍ය ජලය හා සබන් දියර ප්‍රමාණය තීරණය කරයි. තවද මෙම උපකරණය ලාභ දායක සහ ප්‍රමාණය කුඩා කරගැනීමටද හැකියාව ලැබී ඇත්තේ මෙකට්‍රොනික් තාක්ෂණය යොදාගැනීම නිසාවෙනි. එසේම රථ වාහනවල අගුලු නොවැටෙන තිරිංග පද්ධති(ABS-anti lock break system), ස්වයංක්‍රීය ගියර පද්ධති(auto gear system), එන්ජින් පාලන ඒකක(engine control unit) සඳහා මෙම තාක්ෂණය යොදා ගෙන තිබීම තවත් විශේෂ ප්‍රයොජනයකි. මෙහි යොදා ඇති ABS තාක්ෂණය නිසා කෙතරම් තදින් තිරිංග යෙදුවද රෝද මත තිරිංග යෙදෙන්නේ කඩින් කඩ බැවින් රෝද සිරවීමක් නොවන අතර මාර්ග අනතුරු බොහෝ සෙයින් අවම කරගැනීමට හැකියාව ලැබී ඇත. මෙකට්‍රොනික් තාක්ෂණය යොදා ගත් තවත් සුවිශේෂී උදාහරණ කිහිපයක් ලෙස ආරෝහක සහ ඉහළ නැගීමේ යන්ත්‍ර (Elevators and escalators), තරල ටැංකි මට්ටම් කිරීම සහ උෂ්ණත්ව පාලනය (Tank fluid level and temperature control systems), රොබෝවරු භාවිතයෙන් දොර, ජනෙල් පින්තාරු කිරීම (Using robots for painting windows and doors), තාප අන්වේෂණ මිසයිල (Heat-seeking missiles) හඳුන්වා දිය හැක. 

මෙකට්‍රොනික් තාක්ෂණය ඉංජිනේරු තාක්ෂණයක් වන නිසාම ඒ සඳහා වෙන් වූ උපාධි පාඨමාලා රැසක් ලෝකය පුරා ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා උදාහරණ ලෙස Applied science in mechatronics,  Bachelor of science in mechatronics, Master of science in mechatronics හඳුන්වා දිය හැක. කෙසේ වෙතත්  මෙකට්‍රොනික් අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ පරිපූර්ණ දැනුමින් යුතු දක්ෂ මෙකට්‍රොනික් ඉංජිනේරුවන් පිරිසක් බිහි කිරීමයි. මෙකට්‍රොනික් අධ්‍යාපන ලාභීන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන භාණ්ඩ සහ යන්ත්‍ර සම්බන්ධව විශේෂ දැනුමකින් යුක්ත වේ. ඒ නිසාම ඔවුන් සඳහා රැකියා ලබා දීමට ක්ෂේත්‍ර ගණනාවක් විවෘතව පවතී. නිෂ්පාදනය(manufacturing), ඉදිකිරීම(construction), කෘෂිකර්මාන්තය(agriculture) සහ ආකාෂටනය(aerospace)  ආදිය ඒ අතරින් කිහිපයක් පමණකි. වත්මන් ලෝකය තුල රැකියා බහුල ක්ෂේත්‍රයක් බවට මෙකට්‍රොනික් තාක්ෂණය දැනටමත් පත්වී හමාරය.

      තාක්ෂණයත් සමඟ පොරබඳිමින් ඉදිරියට ඇදෙන ලෝකයට මෙකට්‍රොනික් තාක්ෂණය ඉතා වටිනා වාරුවක් වන්නා සේම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකටද මෙය ඉතා ප්‍රයෝජනවත් තාක්ෂණයකි. මෙමඟින් වැඩි වෙළඳපොළ වටිනාකමක් ඇති පද්ධති රට තුළ නිපදවීමටත්, අපනයනය කිරීමටත් හැකියාව ලැබේ. එවිට රටේ ආර්ථිකය බොහෝ සේ ශක්තිමත් කළ හැකි සේම නව රැකියා වෙළඳපළක් බිහිකිරීමටද අවස්ථාව උදාවේ. එසේම ස්වයංක්‍රීයකරණය මඟින් අවම පිරිවැයකින් විශාල නිෂ්පාදන ලබාගත හැකිවන අතර නව නිපැයුම් සිදුකිරීමටද අවස්ථාව උදාවේ.

      එසේ නම් නව පියවරක් තුල මෙකට්‍රොනික් අධ්‍යාපනය රට තුළ ප්‍රචලිත කරන්නේ නම් මතු පරපුර සඳහා එය ඵලදායි ආයෝජනයක් වන්නා සේම ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා යන ගමන සඳහාද මහඟු පිටිවහලක් වනු නොඅනුමානය.

තාක්ෂණ ලෝකයේ විස්කම් සමඟින් තවත් දිනෙක අපි මෙලෙසින් හමුවෙමු.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මරීනා හේෂාණි

විද්‍යා පීඨය - උපාධිධාරීනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment