පසුගිය සති අන්තයේ මා නිවසේ නෑ හිතවතුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී වැදගත් මාතෘකා රැසක් අපගේ සාකචිඡාවට බඳුන් විය. මව්කිරි නිපදවීමට ප්‍රවේණිකව විකරණය කරන ලද එළදෙනුන් යොදා ගත හැකි බව මා සිත් ගත් වැදගත් මාතෘකාවක් විය. වැඩි දුරටත් සොයා බැලීමේ නොතිත් ආශාවක් ඇති වූ හෙයින් මම ඒ පිළිබද අන්තර්ජාලය ඔස්සේ කරුණු පිරික්සුවෙමි. වඩාත් පෝෂ්‍යදායී එළකිරි නිපදවීම සදහා විද්‍යාඥයින් විසින් ප්‍රවේණිකව විකරණය කරන ලද එළදෙනුන් නිර්මාණය කර ඇති බව සොයා ගතිමි. මානව ප්‍රෝටීනයක් වන ලයිසොසයිම් (lysozyme) අන්තර්ගත වන කිරි මෙම එළදෙනුන්ට නිපදවීමේ හැකියාව ඇත. මානව මව්කිරි වලට සමාන කිරි නිපදවීම සඳහා කිරි ගවයින් 300 කට විද්‍යාඥයින් විසින් සාර්ථක ලෙස මෙම මානව ජානය හඳුන්වා දී තිබේ. ළදරුවන්ට මව්කිරි වෙනුවට නුසුදුසු ආදේශකයක් ලෙස නිරන්තර විවේචනයට බඳුන් වන එළකිරි මෙම තත්ත්වය භාවිතයෙන් සුදුස්සක් හා වෛකල්පිතයක් ලෙස යොදා ගත හැකි බව පර්යේෂකයින්ගේ මතයයි. මානව මව්කිරි , මූලික පෝෂ්‍ය පදාර්ථ ඉහළ ප්‍රමාණ වලින් අන්තර්ගත වීම නිසා ළදරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ උන්නතිය සඳහාත් ආසාධන ඇති වීමේ අවධානම අඩුකිරීමටත් වැදගත්වේ.
කෙසේ වුවද මෙම කර්තව්‍යය බොහෝ තාක්ෂණික විචාරකයින්ගේ හා සත්ත්ව සුබසාධක සංගම් වල දෝෂදර්ශණයට ලක් වී තිබේ. ඔවුන් මෙම ප්‍රවේණිකව විකරණය කරන සත්ත්වයින්ගේ කිරි වල ආරක්ෂිත භාවය පිළිබඳවත් කිරි ගවයින්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපවත්වන අවධානම පිළිබඳවත් ප්‍රශ්න නගනු ලබයි. මෙවන් සංසිද්ධීන් අපට අසන්නට දකින්නට ලැබෙනුයේ ජාන තාක්ෂණයේ පිහිටෙනි.
කුමක්ද මේ ජාන තාක්ෂණය ?
එනම් යම් කිසි ක්‍රියාවලියක ජාන ප්‍රකාශනය හඳුනා ගනිමින් එම ස්වාභාවික ජාන විවිධත්වයෙන් වාසි දායක ලෙස ජාන විකරණය කොට එම ජාන නව ධාරකයෙකුට ඇතුල් කිරීමයි. ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන් (genetically modified organism/GMO) ,ඔවුන්ගේ ජානමය ද්‍රව්‍ය ජාන ඉංජිනේරු තාක්ෂණික ක්‍රම වේදයන් භාවිතයෙන් මඳක් වෙනස් කොට නිපදවනු ලබයි.
ප්‍රථම සුරතලෙක් ලෙස වෙළඳපාළට මුදාහැරි සත්ත්වයා වන්නේ Glo fish නැමැති මත්ස්‍ය විශේෂයකි.

මූලික වශයෙන් විකෘති ඇතිවීම් (mutation), ජාන ඇතුලත් වීම් (insertion) හෝ ජාන මැකී යාම් (deletion) ප්‍රවේණික විකිරණයන් සදහා අදාළ වේ.
GMO , විවිධ ජීව විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සදහාත් ඖෂධ වර්ග නිෂ්පාදනයේදීත්, පර්යේෂණත්මක ඖෂධ (ජාන චික්ත්සාව) සහ කෘෂිකර්මාන්තය (වල් නාශක වලට ප්‍රතිරෝදී රන්වන් සහල්) තුලදී භාවිත වේ.

මෙම ප්‍රවේනිකව විකරනය කරන ලද ජීවීන් ඇතැම් විට එක් විශේෂයකින් වෙනත් විශේෂයකට ජාන වල ඉලක්ක ගත ඇතුලත් කිරීම් මගින්ද ඇතිකර ගත හැක. උදා:- Jelly Fish සත්වයෙකුගේ, GFP(Green Fluorescent Protein) ප්‍රතිදිප්ත ප්‍රෝටීනය සඳහා කේතය සපයන ජානය භෞතිකව සම්බන්ධ කොට ක්ෂීරපායී ජානයක් සමග එක්ව ප්‍රකාශනය කිරීම මඟින් එම ක්ෂීරපායී සෛලය තුල GFP අදාල ජානයේ කේතය මඟින් එම ප්‍රෝටීනයේ ස්ථානය හඳුනාගත හැකියි. එවන් ක්‍රමවේද ජීව විද්‍යාඥයින්ගේ පර්යේෂණ වලට ඉතා වැදගත් අවකාශයක් සපයයි.
විද්‍යාගාර තුල විකරණය කරන ලද මුල්ම ජිවී කොට්ඨාශය බැක්ටිරියා ය. එයට හේතුවන්නේ ඔවුන්ගේ ප්‍රවේනිය විකරණය සාපේක්ෂව සරල වීමයි. සංස්ලේෂණ ජීව විද්‍යා (Synthetic Biology) ක්‍ෙෂ්ත්‍රය තුල විවිධ සංස්ලේෂණික සොයා ගැනීම් පරීක්ෂා කිරීම සඳහා බැක්ටීරියා යොදා ගනී. ගෙනෝම සංස්ලේෂණය තුලින් නව නියුක්ලියෝටයිඩ නිර්මාණය කොට ඇත.
ප්‍රතිසම්බන්ධන DNA තාක්ෂණය (Recombinant DNA Technology) මඟින් ක්ෂුද්‍ර ජීවී විද්‍යාවට ඉමහත් සේවයක් සපයා ඇත. එනම් එමගින් ප්‍රයෝජනවත් ජාන අඩංගු ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් එක් සෛලයක් වෙතින් බැක්ටීරියා සෛලයකට නාලාස්ථියව (in vitro) සංයුක්ත කිරීම වේගවත් කරයි. ජාන පිළිසැකසුමට ලක් කල ක්ෂුද්‍ර ජීවීන් වෛද්‍ය විද්‍යාවට සිදුකර ඇති සේවාව පැසසිය යුත්තකි.
– එන්නත් නිෂ්පාදනය උදා:- හෙපටයිටීස් B එන්නත
– ඉන්සියුලීන් – ජාන පිළි සැකසුමට ලක් කල E.coli භාවිතයෙන් අඩු වියදමකින් නිෂ්පාදනය කෙරේ.
– මානව වර්ධක හෝමෝනයක් වන සොමැටොට්‍රොෆීන්
– ප්‍රතිවර්ධක හෝමෝන
– ඉන්ටෆෙරෝන්
– රුධිර කැටි ගැසීමේ සාධක
– එන්සයිම- ඇල්ෆා ඇමයිලේස් (බැක්ටීරියා මඟින්)
ශාකවල නව පැහැයන් ඇතිකිරීම, විවිධාකාර බෝග නිර්මාණය, සුරංගනා කථාවල නම් සුපුරුදු වුවත් බොහෝ කාලයකට ඉහතදී නම් සැබෑ ලෝකයේ අපිට නුපුරුදු වන්නට තිබුණා. ජාන තාක්ෂණයේ පිහිටෙන් දැන් දැන් එය අරුම පුදුම නොවේ.

Suntory “blue” rose
මෙහි දැක්වෙන නිල් පැහැති රෝස මල නිපදවන ලද්දේ 2004 වසරේදී ඔස්ට්‍රේලියානු සමාගමක් හා ජපන් සමාගමක් ඒකාබද්ධ වී කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.
ප්‍රවේණිකව විකරණයකරන ලද බෝග (GM crops/biotech crops) කෘෂිකර්මාන්තයේදී භාවිතා කරනු ලබයි. ජාන ඉංජිනේරු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් නවීකරණය කරන ලද DNA මෙහි අන්තර්ගතය. ස්වභාවයෙන් යම්කිසි විශේෂයක් තුල නොපවත්නා ලක්ෂනයක් හඳුන්වා දිම බොහෝදුරට සිදුවේ. උදාහරණයක් ලෙස ආහාර බෝග ගතහොත් එහිදී ඇතැම් පළිබෝධ නාශක වලට ,රෝගවලට හෝ පාරිසරික තත්ත්ව වලට රසායනික සත්කාර වලට ප්‍රතිරෝධී (වල් නාශක), නරක් විම අඩු කිරීම හෝ බෝගයේ පෝෂණික තත්ත්වය වැඩි දියුණු කිරීම වැනි විශේෂ ලක්ෂණ ඇතිකරනු ලබයි. ආහාර නිපද විම සිදුනොකරන බෝග, ඖෂධ , ජෛව ඉන්ධන හෝ අනිකුත් කර්මාන්තමය වශයෙන් වැදගත් දෑ නිපදවිමෙහිලා සුවිශාල මෙහෙයක් ඉටු කරයි.
මේ අතර ප්‍රවේණිකව විකරණය කරන ලද ක්ෂීරපායීන් ජාන තාක්ෂණ ඉතිහාසයේ රසවත් පෙරළියක් ඇතිකරන ලදි. Ralph L.Brinster සහ Richard Palmiter විසින් 1980 වසරේදී පමණ ප්‍ර වේණිකව විකරණයන්ට ලක් කරන ලද මීයන්, හාවුන්, බැටළුවන් සහ ඌරන් ට අදාල තාක්ෂණික ක්‍රමවේදයන් දියුණු කරන ලදි. මෙලෙස සතුන් ජාන ඉංජිනේරු තාක්ෂණික ක්‍රමවේදයන්ට ලක්කිරීම මන්දගාමී, බොහෝකල් ගත වන වියදම් අධික ක්‍රියාවලායකි. කෙසේ වුවත් නවතම තික්ෂණික ක්‍රමෝපායන් මෙම ප්‍රවේනික විකරණයන් වඩාත් පහසු හා ඉතා නිරවද්‍යතාවයට පත් කොට ගෙන තිබේ.
පළමු ප්‍රවේණිකව විකරනය කරන ලද සත්ත්වයා නිර්මාණය කොට ඇත්තේ මීයෙකුගේ කළලයකට අදාල DNA එන්නත්කොට එම කළල ස්ත්‍රි මීයන් තුල රෝපණය කිරීම මඟිනි.
ප්‍රවේණිකව විකරණය කරන ලද සතුන් වර්තමානයේ දියුණුවට පත්වීම පුළුල් කේෂ්ත්‍ර හයක් ඔස්සේ ගෙන හැර දැක්විය හැකිය.මෙය ගොඩ නැගී ඇත්තේ ජානමය විකරණය සිදුකරන මුලිකපරමාර්ථය පදනම් කොට ගෙනය.
- මානව රෝග පර්යේෂණය සඳහා
- කර්මාන්තමය හෝ පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය
- මානව චිකිත්සීය භාවිතය සඳහා නිෂ්පාදන නිපදවීම
- සතුන් සහ මිනිසුන් අතර සහසම්බන්ධතාව පුළුල් කිරීම (Hypo-allergenic pets)
- ආහාර නිෂ්පාදනය හෝ උසස් තත්ත්වය වැඩි දියුණු කිරීම
- සත්වයින්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම
වැඩිහිටි දෛහික සෛලයකින් ක්ලෝනීකරණය කරන ලද ප්‍රථම සත්වයා ඩොලී නැමැති ගෘහාශ්‍රිත බැටළු දෙනකි.

2011 වසරේදී ජපන් – ඇමරිකානු කණ්ඩායමක් කොළ – ප්‍රතිදීප්ත (Green – fluorescent) බළලුන්, HIV / AIDS සහ FIV (Feline immunodeficiency virus) සඳහා ප්‍රතිකර්ම වශයෙන් සොයා ගන්නා ලදි.
ප්‍රථමයෙන්ම සත්තවයෙක් භාවිතයෙන් නිපදවන ලද මානව ජීව විද්‍යාත්මක ඖෂධය සඳහා අනුමැතිය ලබා දෙන ලද්දේ 2009 වසරේදීය. එළුවකුගෙන් නිපදවන ලද A Tryn නැමැති ඖෂධයයි.මෙය දරු ප්‍රසූතියකදී , සැත්කම් වලදී ඇතිවන රුධිර කැටි ගැසීම් අඩු කරයි. මෙම ඖෂධය ලබා ගන්නේ එළු කිරි වලිනි.
වට පණු ජානයකින් කළ හැක්කේ කුමක්ද?
2006 වසරේදී මෙම වට පණු ජානයක ප්‍රකාශනය තුලින් Omega – 3 මේද අම්ලය නිපදවීම සඳහා ජාන ඉංජිනේරු ක්‍රමවේදයන් හරහා ඌරකු නිර්මාණය කොට තිබේ.
මානව ජාන චිකිත්සාව මඟින් ප්‍රවේනිකව විකරණය කරන ලද වෛරස භාවිතයෙන් මානව රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබයි. මෙය ප්‍රධාන වශයෙන් severe combined immunodeficiency සහ Laber’s congenital amaurosis වැනි ජානගත ආබාධ වලට ප්‍රතිකර්ම වශයෙන් යොදාගැනේ. Cystic fibrosis, දෑකැති සෛල රක්තහීනතාවය, පාකින්සන් රෝගය, පිළිකා, දියවැඩියාව, හෘද රෝග සහ muscular dystrophy වැනි සුව කල නොහැකි රෝග සඳහාද මෙම ප්‍රතිකර්ම ක්‍රම දියුණු කර ගනිමින් යයි.
2010 වසරේදී විද්‍යාඥයින් විසින් මැලේරියා ප්‍රතිරෝධී මඳුරුවන් විද්‍යාගාර තුල නිර්මාණය කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව මැලේරියාව හේතුවෙන් 2008 වසරේදි මිලියනයක් පමණ ජනතා ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඩෙංගු උණ පැතිරීම වැලැක්වීම සඳහා ජානමය වශයෙන් විකරණය කරන ලද මාරක ජානය අන්තර්ගත පිරිමි මඳුරුවන් නිර්මාණය කරන ලදි. Aedes aegypti මඳුරුවන් ඩෙංගු උණ වාහකයින් වේ. 2010 වසරේ කයිමාන් (Cayman) දූපතේ සිදුකල පර්යේෂණයේදී 80% කින් පමණ මෙම මඳුරුවන් ප්‍රමාණය අඩු වී ගොස් ඇත.
කෙසේ වෙතත් ලොව පුරා ඉතා අනගි මෙහෙයක් සිදු කර ඇති මෙම පුළුල් විෂය පථය බලපැවැත්වීමේ වාසි මෙන්ම අවාසිද නැතුවාම නොවේ. රජයන් විසින් ජාන ඉංජිනේරු තාක්ෂණය හා පබැඳුණු ව්‍යස්ථා නීති , රෙගුලාසි ලොවපුරා ක්‍රියාත්මක කරනු ලබයි. විවිධ රටවල් වල, මෙම නියාමනයන් වල විවිධාකාරයේ වෙනස්කම් පවතී. මෙම නීතී පද්ධතීන්ට මූලික වශයෙන් පදනම් වී ඇත්තේ , මෙම නිෂ්පාදන වල භාවිතය මත හා ආහාර වල සුරක්ෂිතභාවය මතයි. කෙසේ වෙතත් ජානමය විකරණය කරන ලද ආහාර (GMO food)යම් යම් මත භේද වලට තුඩු දුන් මාතෘකාවකි.මොහොතින් මොහොත නව්‍යතාවයන් විද්‍යාව හා එක්වේ. ඔබ මේ ලිපිය කියවන මොහොතේ පවා ලොව ස්ථාන රැසක අලුත් සොයා ගැනිම් සිදු කර ගනු ලබනු ඇත. එසේම නව පර්යේෂණ අත්හදා බලමින් විද්‍යාඥයින් වෙහෙසෙනවා ඇත.
වඩා පැහැදිලි අනාගතයක් උදෙසා විද්‍යාවේ දියුණුව උපයෝගී කර ගැනීම ඉතා අගනේය. නමුත් එක් එක් පුද්ගලයාගේ සංස්කෘතික හා සමාජමය දර්ශනයන්ට අනුකූලව ඕනෑම මති මතාන්තරයක් ඉදිරිපත් කිරීෙම් සැබෑ අයිතියක් ඇත.
නව විශේෂ බිහි කිරීම සත්තකින්ම ස්වභාව ධර්මයා විසින් අප හට ලබා දුන් ජෛව විවිධතයෙ වෙනස් කිරීමකි. මිනිසාගේ යහපත හෝ සත්ත්ව සංහතියේ උන්නතිය සඳහා ස්වභාව ධර්මයාට බලපෑම් කිරීම කිසිසේත් අනුමත කල නොහැක. ජානමය විකරණය කරන ලද භෝග වල බලපෑම පරිසරයට ලැබෙනුයේ දීර්ඝ කාලිනවය. ඉන් වගා කරන ලද ආහාර වලට හා ඇතැම් ජීවීන්ට හානි පැමිණිය හැකිය හෝ ඇතැම් විට මහා පරිමාණයේ පාරිසරික වෙනස් වීම් සඳහා හේතු කාරකද විය හැක.
ජාන ඉංජිනේරු තාක්ෂණය චමත්කාර ජනක මෙන්ම දුෂ්කර අභියෝග රැසක් නොනවත්වාම 21වන ශත වර්ෂයේ විද්‍යාඥයින් හමුවේ තැබීමට සමත්ව තිබේ. මෙවැනි සංකීර්ණ සදාචාරමය කරුණු කාරණා අධ්‍යාපනික අවබෝධයත් , ගෞරවනීය පිළිගැනීමත් එකට කැටිකොට විමසිය යුත්තකි. එක් සමාජයක් ලෙස හෝ ඇතැම් විට විශ්ව ගම්මානයක් ලෙසට නීතිමය රෙගුලාසි වලට අනුකූලව , විනීතවත් විවාදයක් ගෙන යා යුතුව තිබේ.
Leave a Comment