දැනුම

‘තාක්ෂණයේ විස්කම්’ – 2015 කැළඹූ ලොව සුපිරිතම ස්මාර්ට් ජංගම දුරකථන පෙළ…

තාක්ෂණ ලෝකයේ තොරතුරු සොයා අපි ආරම්භ කළ ගමනේ මුල්ම පියවර ලෙස අද අපි ඔබට අධි වේගයෙන් තාක්ෂණයේ ඉනිමං සොයා දිව යන ජංගම දුරකථන ක්ෂේත්‍රයේ තොරතුරු බිඳක් මෙලෙස ගෙන එන්නෙමු.

වර්තමානයේ ඕනෑම පුද්ගලයෙක් ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර මූලිකවම සොයා බලන්නේ එම වසරේ ඉතා ජනප්‍රිය ලෙස අලෙවි වූ ජංගම දුරකථන මොනවාද යන්නයි. එමෙන්ම එම දුරකථනයට ඉතා හොඳ කැමරාවක් තිබීම (විශේෂයෙන්ම ඉදිරිපස කැමරාව (front facing camera)),  සිත් ඇදගන්නා සුළු ඉදිරිපස තිරයක්(display) තිබීම,  ඒ වගේම හොඳ මෘදුකාංග පද්ධතියක් තිබීමත් එහි ඉල්ලුම වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. මන්ද වර්තමානයේ යන යන තැන කාන්තා හා පිරිමි දෙපාර්ශවයම අතර selfie උන්මාදයක් විලාසිතාවක්ව පවතින බැවින් අලංකාර බව වගේම ඉදිරි පස කැමරාවේ ගුණාත්මක බාවයත් විශේෂයෙන්ම සැලකිල්ලට භාජනය වෙනවා.

කෙසේ නමුත් ඕනෑම අයෙක් ප්‍රිය කරන්නේ තමන්ගේ අතේ ඇති මුදලට වටිනා, දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි, අලංකාර ස්මාර්ට් ජංගම දුරකථනක් මිලදී ගැනීමයි. ඉතින් ඔබ බලාපොරොත්තු වන ජංගම දුරකථනය මිලදී ගැනීමට පෙර මෙම ලිපියත් කියවලා යන්න අමතක කරන්නෙපා. මන්ද, ඔබ සොයන වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථනය ගැන මේ ලිපිය තුළ අනිවාර්යෙන් ලියවී ඇති.

පසුගිය වසරේ, එනම් 2015 වර්ෂයෙත් බොහෝ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වලින් විවිධාකාරයේ තාක්ෂණික උපක්‍රම ඇතුළත් කළ ජංගම දුරකථන රාශියක් වෙළඳපොළට නිකුත් කළා. ඒ සියලුම දුරකථන අතරින් වෙළඳපොළ තුළ අධි වේගයෙන් අලෙවි වුණ වසරේ හොඳම ස්මාර්ට් ජංගම  දුරකථන 10යි මේ. ඉතින්, මේ දුරකථන 2015 වසරේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ ඉහලින් වැජඹුණේ ඒවායේ ඉහළ ගුණාත්මක බාවය නිසාම නොවේද?

අපි සොයා බලමු..

1.Nexus 6P

පසුගිය වසරේ වෙළඳපොලෙට නිකුත් වූ Nexus මාදිලියේ ජංගම දුරකථන අතරින් Android වර්ගයේ Motorola Nexus 6  සහ Huawei Nexus 6P දුරකථන වෙළඳපොළ තුළ කරට කර තරඟ කළද Android වලට ආදරේ කරන බොහෝ පාරිභෝගිකයින්ගේ සිත් බැඳ ගත්තේ Huawei Nexus 6P ජංගම දුරකථනයයි.

අතට ඉතා පහසු ලෝහමය ආවරණය, අඩු ආලෝක තත්ව යටතේ පවා දීප්තිමත් ඡායාරෑප ගැනීමේ හැකියාව සහිත pixel size 1.55μm පසුපස කැමරාවක්(12.3MP) මෙන්ම AMOLED touch screen තිරය සහිත මෙම දුරකථනයේ ඇති තවත් සුවිශේෂිත්වයක් නම් Nexus Imprint තාක්ෂණයයි. දුරකථනයේ පසුපස ඇති මෙය ඔබගේ ඇඟිලි සලකුණට ඉතා සංවේදී මෙන්ම එක්වරක් touch කිරීමෙන් එය ක්‍රියාත්මක වී ඔබේ දුරකථනයේ සියළුම apps ඉතා වේගයෙන් සහ පහසුවෙන් unlock කරදෙයි. ඉතින් ඔබගේ දුරකථනයේ දත්ත වල ආරක්ෂාව පිළිබඳ තවත් කතාකළ යුතුද?

3450mAh ධාරිතාවක් සහිත බැටරියකින් ද සමන්විත වන මෙම දුරකථනය USB Type-C චාර්ජරය මඟින් මිනිත්තු 10ක් ඇතුළත පැය 7ක කාලයක් භාවිතා කළ හැකි සේ charge කරගැනීමේ හැකියාවද පවතී. මෙවැනි වූ අලුත් අංග රැසකින් සමන්විත මෙම දුරකථනය 2015 වසරේ වෙළඳපොලේ ඉහළින්ම අලෙවි වී ඇති බවයි වාර්තා වෙන්නේ…

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න

https://www.youtube.com/watch?v=UcEwASovpZE

 

2. iPhone 6/ iPhone 6s plus

iPhones වලට ආදරේ කරන අයට නම් මේක හොඳ ආරංචියක් වෙයි. පසුගිය වසරේ හොඳම ස්මාර්ට් ජංගම දුරකථන අතරට Apple සමාගමෙන් වෙළඳපොලට අළුතින්ම නිකුත් කළ iPhone 6 සහ iPhone 6s Plus දුරකථන දෙකත් ඇවිත් තියෙන්නේ iPhone ලෝලීන්ට නවමු අත්දැකීම් රැසක් රැගෙන.

නිරන්තරයෙන්ම විශිෂ්ඨ ගණයේ තාක්ෂණයන් මුසු කරමින් iPhone මාදිලියේ ජංගම දුරකථන නිෂ්පාදනය කරන Apple සමාගම, මෙවර iPhone 6 සහ iPhone 6s Plus දුරකථන වලටත් අලුත් අංග රැසක් එකතු කර ඇත.

ඔබ මින්පෙර කිසිදාක අත්විඳ නැති 3D touch තාක්ෂණය සමඟින් ඔබ මෙතෙක් භාවිතා කළ කිසිදු ස්මාර්ට් ජංගම දුරකථනයකින් ඔබට කළ නොහැකි වූ කාර්යයන් රැසක් එකවර සහ පහසුවෙන් කරගැනීමේ හැකියාව ඔබට ලබාදී ඇත. ඔබ කොතරම් දුරට, කොතරම් ගැඹුරට දුරකථනයේ තිරය මත press කරගෙන සිටීද, ඔබට දුරකථනය මඟින් කළ හැකි සියළු දෑ ඉතා ඉක්මණින් මෙන්ම සරලව සිදු කරගැනීමේ හැකියාව මෙම 3D touch තාක්ෂණය මඟින් සලසා දී ඇත.

දීප්තිමත්, විස්තරාත්මක ඡායාරූප ගතහැකි පසුපස කැමරාව(12MP), 5MP ඉදිරිපස selfie කැමරාව මෙන්ම හඳුන්වාදෙන Live photos තාක්ෂණයෙන්ද මෙහි කැමරා පද්ධතිය සමන්විත වේ. ඔබේ සුන්දර මතකයන් සදාකාලිකවම ජීවමාන කරවමින්, එය ඔබ ඡායාරූපයක් ගැනීමට පෙර සහ පසු අවස්ථාවන් ද capture කර කෙටි වීඩියෝවක් සේ ඔබට දර්ශනය කරවයි. නිකම්ම නිකම් photos වලින් Live photos වලට මාරු වීමට කාලයයි මේ.

අනගි ලෝහමය නිමාවකින් යුතු මෙම දුරකථන වර්ග දෙකටද Touch ID නම් advanced fingerprint security එක ලබාදී ඇත්තේ ඔබේ දුරකථනය තවදුරටත් අන්සතු කරගැනීමේ හැකියාව පරදමිනි. ඔබගේ ඇඟිලි සලකුණු භාවිතා කර දුරකථනය unlock කිරීමේ අවස්ථාව මෙමඟින් සැලසේ.

iPhone 6 හා iPhone 6s Plus, අනෙකුත් Apple දුරකථන නිෂ්පාදන සමඟ මේ වනවිට ඉහළින්ම තරඟ වදින ජංගම දුරකථන බවයි පැවසෙන්නේ..

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න

https://www.youtube.com/watch?v=a4OrOUF6ha0

3.One Plus2

One Plus2 ස්මාර්ට් ජංගම දුරකථනය අනෙක් දුරකථන සමඟ සැසඳීමේදී එතරම් තාක්ෂණය අතින් ඉහළ අංගෝපාංග වලින් සමන්විත නොවූවත් එහි අලංකාර තිරය, විශිෂ්ඨ ගණයේ නිමාව හා සිත්ගන්නා සුළු දර්ශන පෙල ගස්වන මෘදුකාංග පද්ධතිය (Oxygen OS, our light, built on Android) නිසාම මෙම දුරකථනය පසුගිය වසරේ වෙළඳපොල සියලුම  මිනුම් දඬු අභිබවා ඉහලින්ම අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වගේම මෙම දුරකථනය 3300mAh ධාරිතාවක් සහිත බැටරියකින් ද සමන්විත වීම එහි විශිෂ්ඨ අලෙවියට තවත් හේතුවක්.

4.Galaxy Note 5

Samsung ජංගම  දුරකථන ලෝලීන්ට තවත් අලුත් අත්දැකීමක් රැගෙන පැමිණි Galaxy Note5 දුරකථනයද වසරේ හොඳම ස්මාර්ට් ජංගම දුරකථන අතරට එක් වුවද බොහෝ පාරිභෝගිකයින් ටික කලකට පසු එම දුරකථනය ප්‍රතික්ෂේප කළේ මෙහි තිබූ සුළු අඩුපාඩු කිහිපයක් නිසාය. ඉවත් කළ හැකි බැටරියක් නොතිබීම(removable battery), ජල ප්‍රතිරෝධී ආවරණයක් (water proofing casing) නොතිබීම සහ card slots භාවිතා කර internal memory එක විශාල කළ නොහැකි වීම මෙහි ඇති දුර්වලතා වේ.

කෙසේ නමුත් ඔබට මේ කිසිවක් ප්‍රශ්නයක් නොවේ නම් අනිවාර්යෙන්ම Galaxy Note5 දුරකථනය ඔබගේ ජීවිතයේ ළඟම හිතවතා තරම් ඔබට සමීප වේවි. මන්ද, මෙය එතරම් දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් සමඟ කරළියට ආ දුරකථනයක්.

විශේෂයෙන්ම Note5 සමඟ එන S pen එක වෙනදාටත් වඩා වැඩි දියුණු කරමින් ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන පෑනක් තරම් සජීවි අත්දැකීමක් සමඟ එමඟින් දුරකථනයේ කළ හැකි කාර්යයන් ප්‍රමාණය ද වැඩි දියුණු කර ඇත.

අඳුරු ආලෝක තත්ව යටතේ වුවත් ඉතා හොඳ ඡායාරූප ගැනීමේ හැකියාවක් සහිත පසුපස කැමරාව(16MP), දුරකථනය ඔබගේ පරිගණකයට සම්බන්ධ කර ඇති අවස්ථාවේ වුවද දුරකථනයට එන කෙටි පණිවිඩ වලට පිළිතුරු සැපයීමේ හැකියාව මෙන්ම reminders හා alerts ලබා ගැනීමේ හැකියාව, Samsung Pay තාක්ෂණය හරහා ඔබගේ credit card එකේ වලංගු භාවය තහවුරු කර අන්තර්ජාලයේ මුදල් ගෙවීම් කිරීමේ හැකියාව, finger print තාක්ෂණය මඟින් දුරකථනයේ ආරක්ෂාව හා ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ හැකියාව වගේම තවත් අලුත් apps කිහිපයක් ද සමඟින් තමයි ඔබගේ අතට මේ දුරකථනය පත්වෙන්නේ.

ඉතින් ඔබත් කැමති නම් මේ ස්මාර්ට් දුරකථනය ගැනත් ටිකක් හිතලා බලන්න..

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න

https://www.youtube.com/watch?v=CppgLnNM1PE

5.Galaxy S6/ S6 Edge

Note 5 දුරකථනයේ බොහොමයක් අඩුපාඩු මඟ හරවමින් ඒ වසරේම තවත් අලුත් පිම්මක් පනින්න Samsung සමාගමට පුළුවන් වුණා වගේම තව දුරටත් හොඳම ස්මාර්ට් ජංගම දුරකථන පෙළ අතරට එක් කරන්න හැකි වුණු අලුත්ම device එක තමයි Galaxy S6/S6 Edge දුරකථන දෙක. Android දුරකථන අතර ඉහළම තැනක මේ දුරකථන මාදිලිය සිටිනවා කිව්වොත් නිවැරදියි.

S6 Edge හි සිත් ඇද බැඳගන්නා නිමාව නිසාම එය දැකපු අයෙක්ට එය මිලදී නොගෙන ඉන්න නම් සිතෙන එකක් නෑ. එහි අපූර්වත්වය වචන වලින් විස්තර කරනවාට වඩා පහත වීඩියෝව නැරඹීමෙන් ඔබටම එය අත්විඳින්න හැකිවේවි..

ඉතින් Note 5 ඔබට නොගැලපෙනවානම්, දුක්වෙන්න එපා Galaxy S6/S6 Edge දුරකථනයට ඔබ අනිවාර්යෙන්ම කැමති වේවි…

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න

https://www.youtube.com/watch?v=62WlrOar3ek


6.Moto X Pure Edition

Motorola සමාගම කවදත් විශිෂ්ඨ දුරකථන නිෂ්පාදනයේ පුරෝගාමීන් අතර සිටින්නේ පාරිභෝගිකයින්ට අඩුමිලට හොඳම වර්ගයේ දුරකථන සපයමින්. මෙවර ඔවුන් නිෂ්පාදනය කළ Moto X Pure Edition දුරකථනයේ නිමාව පිළිබඳව වගේම කැමරාවේ ක්‍රියාකාරී තත්වය පිළිබඳ පාරිභෝගිකයින් එතරම් සෑහීමකට පත් නොවූවත් එහි ඉදිරිපස අලංකාර තිරය, එහි ක්‍රියාකාරිත්වයේ ගුණාත්මක භාවය  හා Androiid තාක්ෂණය භාවිතය නිසාම මෙම දුරකථනය පසුගිය වසරේ හොඳම ජංගම දුරකථන අතරට එක්වී ඇති බවයි පැවසෙන්නේ.

7. Nexus 5X

මෙතරම් කාලයක් Google සමාගමේ නිෂ්පාදනය කළ Nexus ජංගම දුරකථන පාරිභෝගිකයින්ට පහසු මිලකට අලෙවි නොවූවත් මෙවර ඔවුන් එම අදහස වෙනස් කරමින් පාරිභෝගිකයින්ගේ සාක්කුවට සරිලන ලෙස අඩු මුදලකට ($379) ඔවුන්ගේ තවත් නිෂ්පාදනයක් වෙළඳ පොලට නිකුත් කර ඇත.

Nexus 5X නමින් එළි දැක්වුණු මෙම දුරකථනය ප්ලාස්ටික් ආවරණයෙන් සමන්විත වේ. අතට ඉතා සැහැල්ලු මෙන්ම ඉතා සුව පහසු දුරකථනයක් ලෙස නිමකර ඇති මෙය අඟල් 5.2ක පුළුල් තිරයකින් යුතු වේ. මින් පෙර නිකුත් කරන ලද Android දුරකථන වලට වඩා තරමක් විශාල තිරයක් මෙය සතුවීම සුවිශේෂිත්වයක්.

කෙතරම් මිල අඩු බව පැවසුවද 2015 වසරේ නිකුත් කළ One Plus 2 දුරකථනයට වඩා මෙය මිලෙන් වැඩි නමුත් Android 6.0 තාක්ෂණයේ අත්දැකීමත් රැගෙන පැමිණි දුරකථන අතරින් වඩාත් ලාභදායී දුරකථනයක් ලෙස පාරිභෝගිකයින්ට මිලට ගත හැකි දුරකථනයක් ලෙස Nexus 5X ඉදිරියෙන් සිටී..

8. LG G4

දීර්ඝ කාලයක් පුරා Samsung සමාගමේ දුරකථන වල විශිෂ්ඨත්වය නිසා පසුබෑමට ලක්ව සිටි LG  සමාගම එය තවදුරටත් සත්‍යයක් නොකර 2014 වසරේ LG G3 දුරකථනය නිකුත් කිරීමත් සමඟ නැවතත් කරළියට පැමිණියා. G3 දුරකථනයේ අනර්ඝ නිමාවත්, මෘදුකාංග පද්ධතියේ විශිෂ්ඨත්වයත් නිසා එය වෙළඳපොල තුළ වඩාත් ජනප්‍රිය වූ අතර පසුගිය වසරේද එතරම් සැලකිය යුතු වෙනසක් නොවී G3 දුරකථනය හා සමාන තාක්ෂණයකින් යුතු වූ G4 දුරකථනය වෙළඳපොලට නිකුත් කරන ලදී.

නමුත් G3 දුරකථනයට වඩා වැඩි දියුණු කළ පසුපස හා ඉදිරිපස කැමරා පද්ධතියක් G4 (16MP rear camera & 8 MP front facing camera) හි එක් කර ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. කෙසේ නමුත් වසරේ මුල් කාර්තුවේදී G4 දුරකථනය වෙළඳපොලට නිකුත් කළද එය කෙතරම් පරණ වුවත් තවම එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ බරපතල ලෙස පැමිණිලි වාර්තා නොවන බවයි පැවසෙන්නේ..

නමුත් දුරකථනයේ බැටරි ක්‍රියාකාරිත්වය පිළිබඳ යම් යම් ගැටලු මතු වී ඇති බවක් පාරිභෝගිකයින්ගෙන් මෑත කාලයේ දී වාර්තා වී ඇත.

 

9. OnePlus X

පසුගිය වර OnePlus One හා OnePlus 2 නමින් ලාභදායී ජංගම දුරකථන දෙකක් වෙළඳපොලට නිකුත් කර දුරකථන වෙළඳපොල කැළඹූ චීන සමාගම OnePlus X නමින් තවත් දුරකථනයක් 2015 වසරේ නිකුත් කර ඇත.

ඉතා සුමට ලෝහමය ආවරණයකින් යුත් මෙම දුරකථනය එක් අතකට පහසුවෙන් අල්ලා ගැනීමට හැකි තරම් හුරු බුහුටි වේ. $249ක් තරම් පහසු මුදලකට අලෙවි වී ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනය 2015 වසරේ හොඳම ස්මාර්ට් ජංගම දුරකථන ලැයිස්තුවේ මුල් දසදෙනා අතර රැඳී ඇත..

10. HTC One M9

HTC One M9 දුරකථනය පසුගිය වසරේ නිකුත් වූ අනෙක් දුරකථන සමඟ සැසඳීමේදී ආවේණික වූ විශිෂ්ඨත්වයක් නොපෙන්නුවද වසරේ හොඳම ස්මාර්ට් ජංගම දුරකථන ලැයිස්තුවේ දසදෙනා අතර රැඳී සිටීම විශේෂයි. 2013 වසරේ නිකුත් කළ M7 දුරකථනය එතෙක් Android දුරකථන අතර නොදුටු, ඇලුමිනියම් අමුද්‍රව්‍යය ලෙස භාවිතා කළ ඊටම ආවේණික වූ මනා නිමාවකින් යුක්ත සුවිශේෂී ජංගම දුරකථනයක් ලෙස වෙළඳපොලේ දක්නට ලැබිණි.

කෙසේ නමුත් 20MP පසුපස කැමරාවක් සතු M9 දුරකථනය මෙතෙක් HTC දුරකථන නිෂ්පාදන අතර ප්‍රමුඛයා වී සිටී.එසේම දැනට මෙම දුරකථනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ භාවිතා කරන බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.. 2016 වසරේදී එය අභිබවා ගිය විශිෂ්ඨ නිර්මාණයක් ඔවුන්ගෙන් බිහිවේ යයි අපේ බලාපොරොත්තු වෙමු..

2015 වසරේ ජංගම දුරකථන තාක්ෂණයේ විශිෂ්ඨයින්ගේ පෙරළිකාර නිර්මාණ සමඟින් දුරකථන වෙළඳපොල කැළඹූ අයුරු ඔබට මෙසේ සටහන් කළ අපි, බලා සිටිමු මේ වසරේත් කවුරුන් Smart ලයිස්තුවට වැටේවිද කියා…. 

තාක්ෂණ ලෝකයේ විස්කම් සමඟින් තවත් දිනක මෙලෙස හමුවෙමු…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ජයනි විජේසිරිවර්ධන

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment