දැනුම

‘තාක්ෂණයේ විස්කම්’ – Drone තාක්ෂණයෙන් EHANG 184-Autonomous Aerial Vehicle

සුප්‍රසිද්ධ “හැරී පොටර්” සිනමා පෙලේ එන පියාඹන මෝටර් රථය ඔබට මතකද?එවැනිම නිමැවුමක් මේ වනවිට ලෝකයට හඳුන්වා තිබෙන්නේ චීනය විසින්.ලෝකයේ ගමනාගමනය මේ විස්මිත නිමැවුමෙන් වෙනස් වනු ඇතැයි එහි නිර්මාණකරුවන් විශ්වාස කරති.

ඉහළ අහසේ සිට ලබා ගත් ඉතාමත් සුන්දර දසුන් රසවිඳීම සඳහා උපකාරී වන කැමරාවක් ‍රැගත් පුංචි drone යානා පිළිබඳ ඔබ සියලු දෙනා අසා ඇති නොඅනුමානයි.නමුත් මේ පුංචි යානාවේ තාක්ෂණය ඡායාරූප හා චලනරූප වලට එහා ගොස් විවිධ රට වල යුධ ආරක්ෂාව තර කිරීම  සඳහා පවා යොදාගනු ලබන්නක්.මේ ලිපිය මගින් ගෙන එන්නෙ Drone තාක්ෂණයේ අලුත්ම සොයා ගැනීම වන එක් මගියෙකුට ගමන් කළහැකි drone යානාවක් පිලිබඳව.

නියමුවන් රහිත යානාවක් වන Drone යානා මේ දක්වා භාවිතා වූවත් මේ පුංචි යානා තුළ මගීන් ට ගමන් කලහැකි මට්ටමේ පහසුකම් එය සතුව නොතිබුණි.නමුත් දැන් “පියාඹන මෝටර් රථ” අදහස කරලියට ගෙන එමින් චීන ජාතික සමාගමක් හෙලිකොප්ටරයකට සමාන හැඩහුරුකමින් යුත් drone යානාවක් හඳුන්වා දී ඇත.හෙලිකොප්ටරය හා මේ යානය අතර ඇති ප්‍රධානම වෙනස මෙහි ඇති අවරපෙති ප්‍රමාණයයි.පොළවට සමාන්තර පාද හතරක අවරපෙති අඩංගු මෙහි හදිසියේ පාද 3ක්ම ක්‍රියා විරහිත වූවද ඉතිරි පාදයේ අවරපෙති මගින් ආරක්ෂිතව යානය ගොඩබැස්වීම සිදු කල හැකියි.

මෙම යානාවෙහි සුවිශේෂ ලක්ෂණ බොහොමයකි.විද්‍යුත් ශක්තියෙන් පියාසර කළහැකි මේම යානයේ බැටරි ආරෝපණය සඳහා වැය වන කාලය පැය දෙකක්.විනාඩි 23 ක පියාසර කාලයක් දැනට එය සතු වන අතර කිලෝග්‍රෑම් 100ක පමණ ස්කන්ධයක් ‍රැගෙන යාමට එයට හැකියි.වායු සමනය කල කුඩා ඉඩ එක් මගියෙකු හා ඔහුගේ ගමන් බෑගය සඳහා වෙන් කර ඇත.පොළොවේ සිට මීටර් 300-500ත් අතර ප්‍රමාණයක් ඉහළින් මෙම යානයට පියාසර කලහැකි අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර 100කි.නිෂ්පාදිත සමාගම මෙයට දැනට නියම කර ඇති මිල එ.ජ.ඩොලර් 300,000.

නමුත් මෙම යානය පාලනය කිරීම සිදු කිරීමට මගියාට හැකියාවක් නොමැති අතර එය දුරස්ථ පාලක මධ්‍යස්ථානයක් මගින් සිදු කිරීමට නිර්මාතෘ සමාගම බලාපොරොත්තු වේ.එමගින් වඩා ආරක්ෂිත ගොඩබැස්වීමක් තහවුරු කරගත හැකියි යැයි ඔවුහු විශ්වාස කරති.මේ හේතුවෙන් මෙම යානයේ ගමන් කිරීම සඳහා රියදුරු බලපත්‍රයක අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.මගියා විසින් යානය ගුවන් ගත කිරීමට හා ගොඩබැස්වීම සඳහා වන විධාන පමණක් ලබා දෙනු ලැබේ.

drone තාක්ෂණයේ මූලධර්ම හා නව ලෝකයේ එහි යෙදීම් පිළිබඳව ලිපි පෙලේ ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අක්ෂිලා අනුරංගි

විද්‍යා පීඨය - උපාධිධාරීනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment