ක්‍රීඩා දැනුම

තුන් ඉරියව් නිපුණත්වයේ නිහතමානී පෞරුෂය

තරගයේ තියුණු බව එන්න එන්නම වැඩි වෙත්ම සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන් දෑස් අයා බලා සිටියේ තරගාවලිය අවසානයේ කුමකින් කුමක් සිදු වේවි දැයි යන්න අදහා ගැනීමටවත් නොහැකිවය. එහෙත්, දෛවයට අභියෝග කරමින්, 2016 ජූලි මස ඇරඹි, ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලිය 3 – 0 ලෙස ඕස්ට්‍රේලියාව පරදා ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වූයේ ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ එක් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමිනි.

මෙම දිනුමේ කොණකින් තම නම ද ඈඳාගත් එක් කෝඩුකාර ක්‍රීඩකයෙකි. විශේෂත්වය නම් මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගාවලියයි. එහි තුන්වන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ඔහු පිටියට පිවිසෙන විටද ලකුණු පුවරුවේ 26/5 ලෙස ඉතා අසීරු මට්ටමකට ලංකාව ඇද වැටී තිබුණි.

තම මංගල තරගාවලිය වුවද චකිතයක් වෙනුවට නිතරම මුහුණේ රැඳී තිබුණේ නොමැකෙන නිහතමානී සිනහවකි. විශිෂ්ට ලෙස පිතිකරණයේ යෙදුණු මේ තරුණයා තරගය අවසානයේ, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ජයග්‍රහණයට ඍජු දායකත්වයක් ලබාදෙමිනි.

තම මංගල ටෙස්ට් ශතකය මංගල තරගාවලියේදී ම වාර්තා කළ මේ කෝඩුකාරයා අන් කවරෙකුත් නොව, දකුණතින් පිතිකරණයේ යෙදෙන සහ දකුණතින් පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා යි.

1991 සැප්තැම්බර් මස 06 වන දින කොළඹ දී උපත ලැබූ ධනංජය මදුරංග ද සිල්වා පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වේ. ගල්කිස්ස ධර්මෝද්‍ය විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ධනංජය තම ක්‍රීඩා දිවියට මූලික අඩිතාලම දැමුවේ දෙබරවැව ජාතික පාසලෙනි. ඔහු නැවතත් රත්මලානේ තම නිවසට පැමිණීමෙන් පසු ටික කලක් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා යළිත් දෙබරවැව ජාතික පාසලට ඇතළත් වූයේය. පාසල් ක්‍රීඩකයෙකු ලෙස එහි දී පෙන්වූ දස්කම් හේතුවෙන් කොළඹ මහානාම විද්‍යාලයෙන් ඔහුට ඇරයුම් ලැබුණ අතර එහි ද කෙටි කලක් අධ්‍යාපනය ලැබූ ධනංජය පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වූයේය.

එහි ඉගෙනුම ලැබූ කාලය ඔහුගේ හැකියාවන් ඔපනංවා ගැනීමට හේතු වූ අතර 2010/11 වසර වල දී රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හොබවන ලද්දේ ද ධනංජය විසිනි. ඔහුගේ නායකත්වය යටතේ 2011 වසරේ “Lovers’ Quarrel” (මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ සටන) වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමට ද ඔහු වාසනාව ලැබූ අතර එම තරගයේ දී කඩුලු පහක් දවා ගැනීමට ද සමත් වූයේය. එමෙන්ම පාසල් ක්‍රීඩකයෙකු ලෙස 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ද ධනංජය සුදුසුකම් ලැබුවේ ඔහුගේ දක්ෂතා නිසාවෙනි.

තම පළමු පෙළ ක්‍රිකට් දිවිය බදුරලිය ක්‍රීඩා සමාජය සමඟ ඇරඹූ ධනංජය, ඊළඟ පියවර ලෙස රාගම ක්‍රීඩා සමාජය සමඟ එක් වූ අතර ඒ සඳහා වසර පහක් ක්‍රීඩා කළේය. එතැනින් නොනවතින  ඔහු ඉන්පසු එක් වන්නේ වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජය සමඟයි. 2014/15 Premier League තරගාවලියේ දී මෙම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා ඉතා සාර්ථක ලෙස ක්‍රීඩා කළ අතර එහි ශූරතාවය හිමි වූයේ ද වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයටයි.

Premier League තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීම හේතුවෙන් 2015 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා ජාතික සංචිතයට ඇතුළත් වීමට ධනංජයට මග විවර විය. එම වසරේම  ජූලි 30 වනදා පාකිස්තානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයේ දී ඔහු ජාත්‍යන්තර වරම් දිනා ගත්තේය. 

එලෙස ජාත්‍යන්තර පිටියට පිවිසිය ද ධනංජය දෙස වැඩි අවධානයක් යොමු වූයේ 2016 මුල් භාගයේ පැවති Super T20 Provincial Tournament හි දීය. එහි දී Colombo Commands පිළ නියෝජනය කළ ඔහු ඉනිම් 6 ක දී ලකුණු 234 ක් රැස් කරමින් තරගාවලියේ වීරයා මෙන්ම වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වූයේ සියලු දෙනාගේ ඇස් ඔහු වෙතට යොමුකරගනිමිනි.

ඉන් මසක් ගත වූ පසු Tamil Union Cricket and Athletic Club හි දීප්තිමත් ක්‍රීඩකයෙක් ලෙස හැකියාවන් එළි දැක්වූ ධනංජය 2015/16 Premier League තරගාවලියේ ජය, තම ක්‍රීඩා සමාජයට ගෙන ඒමට දැක්වූ දායකත්වය අතිමහත්ය. පිතිකරණයෙන් 54.20 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 868 ක්  රැස් කළ ධනංජය අමතර පන්දු යවන්නෙක් ලෙස වුවද Tamil Union හි වැඩිම කඩුලු ලාභියා වූයේ කඩුලු 32 ක් දවා ගනිමිනි. Tamil Union ක්‍රීඩා සමාජය එලෙස ශූරතාවය දිනා ගත්තේ වසර 55 කින් පසු වීම ද සුවිශේෂී කරුණකි.

මෙලෙස දේශීය තරගාවලීන්හි දී කැපී පෙනෙන දස්කම් පෙන්වූ ධනංජය එක්දින වරම් හිමිකරගන්නේ 2016 ජුනි 16 දින අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරගයේදී ය. 

ක්‍රිකට් ලොව නොමැකෙන නාමයක් වන තිලකරත්න ඩිල්ශාන්ගේ විශ්‍රාම යාමෙන් පසු එක්දින තරග වල ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසෙන ධනංජය, එලෙස මුහුණ දුන් පළමු තරගයේදී ම ලකුණු 76 ක් රැස් කළේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ පළමු තරගයේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් විසින් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අලුත් කරමිනි.

එක්දින වරම් ලැබීමෙන් මසකට පසු, එනම් 2016 ජූලි මස 26 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලබන ධනංජය තම මංගල තරගාවලිය ක්‍රිකට් දිවියේ අමතක නොවන සංධිස්ථානයක් බවට පත් කරගැනීමට සමත් වූයේය.

ඔහු ටෙස්ට් පිටියේ මංගල ලකුණ, හයේ පහරකින් ලබාගත් පළමු සහ දැනට සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරන්නේ ද මෙම තරගාවලියේදීය. එහි තුන්වන ටෙස්ට් තරගයේ දී ලකුණු රැස් නොකරම කඩුලු බිඳ වැටී තිබූ මොහොතක පිටියට අවතීර්ණ වී දිනේෂ් චන්දිමාල් සමඟ සාර්ථක ලකුණු  සබඳතාවයක් ගොඩ නගා ගත් ධනංජය විශිෂ්ට පිතිහරඹයකින් පසු තම මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය. මෙලෙස ටෙස්ට් පිටියේ ගමන ඇරඹූ ඔහු එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසට ලකුණු පුවරුවේ ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත් වූයේ තරගාවලිය අවසානයේ දී ලකුණු 325 ක් රැස් කරමිනි.  මෙහිදී  ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාව 3 – 0 ලෙස පරාජය කරන ලද්දේ පළමු වරට වීමද විශේෂත්වයකි.

2016 වසරේ දී සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී නැවතත් ටෙස්ට් පිටියේ සුපුරුදු දස්කම් අතරට පැමිණි ධනංජය ඔහුගේ දෙවන ටෙස්ට් ශතකය එහි දී වාර්තා කළේය. තවද සිම්බාබ්වේ සමඟ පැවති පළමු එක්දින තරගයේ දී පන්දු 75 ට ලකුණු 78 ක් රැස් කළ ධනංජය එම තරගයේ වීරයා බවට ද පත් වූයේය.

2017 වසරේ දී ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ සිව්වන ඉනිමේ දී නොදැවී ලකුණු 119 ක් ලැබීමට ධනංජය සමත් වූ අතර එය වාර්තා අතරට එක් වූයේ විදෙස් පිතිකරුවෙකු ඉන්දියාවට එරෙහිව සිව්වන ඉනීමේ දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

මෙලෙස ටෙස්ට් පිටියේ දී දැක්වූ දස්කම් හේතුවෙන්, 2017 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ හොඳම ටෙස්ට් පිතිකරුවාට හිමි සම්මානය නිතරගයෙන්ම තමා සතු කරගැනීමට ධනංජය ද සිල්වා සමත් විය.

2018 වසරේ ජනවාරි මස බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔහුගේ පිතිකරණයේ නිපුණත්වය මැනවින් පෙන්වූ අවස්ථාවකි. එහි දී ඔහු තම සිව්වන ටෙස්ට් ශතකය වාර්තා කළේ ලකුණු 173 ක් රැස් කරමිනි. එය ධනංජය මෙතෙක් රැස් කර ඇති වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වේ. තවද විසි තුන් වන ඉනිමේ දී ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ධනංජය, ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම දැක්වූ වේගවත්ම ක්‍රීඩකයා වේ.

2018 අගෝස්තු මස 14 වන දින දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී ඔහු ලකුණු 15 ට කඩුලු දෙකක් දවා ගනිමින් සහ පන්දු 26 ක දී ලකුණු 31 ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වූයේය.

ධනංජය දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් වන අතර ප්‍රධාන වශයෙන් පන්දු යවන්නෙක් නොවුණද එම විෂයෙහි ද දක්ෂතා අතරට යමින් ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයට මග පෑදූ අවස්ථා බොහොමයක් ඇත. 

2019 අප්‍රේල් මස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය හා පැවති තරගයේ දී කඩුලු තුනක් ධනංජය විසින් දවාගත් අතර එය එම තරගයේ ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් විය. 

2019 දෙසැම්බර් මස පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී තම හය වන ටෙස්ට් ශතකය රැස් කළ ධනංජය 2021 වසරේ මැයි මස බංග්ලාදේශය හා පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඔහුගේ හත් වන ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඒ දිමුත් කරුණාරත්න සමඟ ඉතා හොඳ ලකුණු සබඳතාවයක් පවත්වා ගනිමින් පුරා දිනක් කඩුල්ල ආරක්ෂා කරමින් පිතිකරණයේ යෙදෙමින් වීම ද විශේෂත්වයකි.

2019 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ Best Test All Rounder බවට පත්වීමට ද ධනංජයගේ ටෙස්‍ට් පිටියේ සාර්ථකත්වය හේතු විය.

එම වසරෙහිම පැවති Super Provincial 50 Over Tournament හි දී Gall’s Squad නියෝජනය කරමින් තරගාවලිය පුරාවට පිත්තෙන් සහ පන්දුවෙන් දැක් වූ දස්කම් හේතුවෙන් Player of the Tournament වීමට මෙම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා වරම් ලද්දේය. ජාත්‍යන්තර පිටියට අමතරව දේශීය තරගාවලි ද තම ආධිපත්‍යට යටත් කරගත් අවස්ථා රැසක් ඔහුගේ ක්‍රීඩා දිවියේ හමුවුණු අතර, මේ ඒ සඳහා ආසන්නතම උදාහරණයකි.

විටෙක පිතිකරණයෙන් ද විටෙක පන්දු යැවීමෙන් ද කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබා දෙන ධනංජයගේ පන්දු රැකීම ද ඉතා ඉහළ මට්ටමක ඇති බව සඳහන් කළ යුතුමය. ඉතා කාර්‍යක්ෂමව, අග්‍රගන්‍ය ලෙස පන්දු රැකීමට සමත් ක්‍රීඩකයෙක් ලෙස ඔහුව හඳුන්වා දිය හැක.

2020 වසරේ පැවති Lanka Premier League තරගාවලියේ දී ධනංජය නියෝජනය කරන ලද්දේ Jaffna Stallions කණ්ඩායමයි. තරගාවලියේ ශූරතාවය දිනන ලද්දේ ද ඔවුන් විසින් වන අතර ඒ සඳහා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහු මනා දායකත්වයක් ලබා දුන්නේය.

මෙම වසරේ ජුනි මස එංගලන්තය හා පැවති එක්දින තරගාවලියේ දී ධනංජය පන්දු 91 ක දී ලකුණු 91 ක් රැස් කළ අතර එය ඔහු ලබා ඇති වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය වේ. එම තරගාවලිය 2 – 0 ලෙස එංගලන්තය ජය ගත්තේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් හිමි කර දෙමිනි.

දිගු කලක් තිස්සේ ජයග්‍රහණයේ පිපාසයෙන් පෙළෙමින් සිටි ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් වලට නැවත බලාපොරොත්තුවක් දැල්වීමට මසකට පෙර ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය සමත් වූ බව නොරහසකි.

තරගාවලියේ දෙවන දින පරාජය පෙනි පෙනී තිබූ තරගයේ අවසානය වෙනස් කළ පිතිකරුවන් දෙපළ වූයේ ධනංජය ද සිල්වා සහ චාමික කරුණාරත්නයි. ඉන්දීය පන්දු යවන්නන්ගේ පීඩනය දරා ගනිමින් ඉවසීමෙන් ක්‍රීඩා කළ ධනංජයගේ පරිණත ඉනිම එම ජයග්‍රහණයට මග විවර කළ අතර Player of the Match වූයේ ද උපනායකයා ලෙස කණ්ඩායම මෙහෙය වූ ධනංජය ද සිල්වා ය.

ඉකුත් මස පැවති SLC Invitational T20 League තරගාවලියේ SLC Blues කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය නම් කරන ලදි.

ඔහුගේ මේ සිනහව පිටුපස සැගවුණ කැපකිරීම්ද බොහොමයකි. කුඩා කාලයේ දී සුනාමි ව්‍යසනයෙන් බැට කෑ පවුල් දහස් ගණනකින් එක් පවුලකට අයිති කොලු ගැටයෙක් වූ ධනංජයට වරින් වර පාසල් මාරු කරමින් අධ්‍යාපනය ලැබීමට සිදු වූවද ඒ කුමන බාධකය පැමිණියත් ඔහු තම සිහිනය නම් අත හැරියේ නැත.

ඒ හැම විපතක් අසලදී ම ඔහු වෙනුවෙන් කැප වී සිටි යෝධ පවුරක් විය. ඒ පවුර ද නොසිතූ අවස්ථාවක බිඳී ගියේ ඔහු තම සිහින එකින් එක සැබෑ කරගනිමින් ආ කාල වකවානුවකය. පාසල් වියේ පටන් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට තම දෙමාපියන් මහඟු පිටුවහලක් වූ බව ධනංජය නිතර පවසන කරුණකි. ඔහුගේ පියා වූ රංජන් ද සිල්වා, 2018 මැයි 25 දින මිය යන්නේ නාඳුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකිනි. එය එසේ වුවද තම පියාගේ සහ මවගේ බලාපොරොත්තු ඉටු කරමින් ඔහු තම අරමුණ කරා ළඟා වී ඇති බව සක් සුදක් සේ පැහැදිලිය.

ඕනෑම අවස්ථාවකට අනුගත වෙමින් ඉතා සැහැල්ලුවෙන් ක්‍රීඩා කරන ධනංජය මේ වන විට කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වී හමාරය. අසීරු අවස්ථාවක දී වුවද එයට සාර්ථකව මුහුණ දෙමින් ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙන යා හැකි දක්ෂතා වලින් පිරිපුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කිවහොත් වරදක් නැත. 

ඉතින්, අද දින තම තිස්වැනි ජන්ම දිනය සමරන,  නිහතමානී සිනහවකට උරුමකම් කියමින් ක්‍රිකට් පිටියේ සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වූ මේ දක්ෂ ක්‍රීඩකයාට සුභ උපන් දිනයකට  සුභ පැතුම් එක්කරන ගමන්ම සාර්ථක අනාගතයකට Colombo Beacon අපි සුභ ප්‍රාර්ථනා ගෙන එන්නෙමු.

 

Design By: Shanaka Vishwantha

Reference :

Image :

 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චිරත්ති රසාදී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment