ශනූ,චතූ,මම කියන්නෙ හොඳම යාළුවො. හොඳම යාළුවො කිව්වට සහෝදරියො වගේ. අපි තුන්කට්ටුව එකතු වුනා කියන්නේ අනිවාර්යයෙන්ම එතන මොකාක්ම හරි හොර වැඩක් වෙනවා කියන එක. හැබැයි අපි තුන්දෙනාගේ mood එක උඩ තමයි අපි කරන්නෙ fun දෙයක් ද කාවහරි bite කරන වැඩක් ද කාවහරි බය කරනව ද වගේ කියලා තීරණය වෙන්නෙ.
ශනූ එක දවසක් කිව්වා අපිට එයාගෙ ගෙදර එන්න කියලා.
“කියන්න දෙයක් නෑ.කොහොමත් එනවා තමයි.” ඔන්න චතූගෙ ප්‍රතිචාරය.
ඇත්තටම අපි වැඩියෙන්ම කැමති අපේ ගෙදරටවත් චතූගෙ ගෙදරටවත් නෙවෙයි; ශනූලගෙ ගෙදරට. ගේ පිටිපස්සෙ කුඹුරක් එහෙම තියන හරිම නිස්කලංක තැනක් තමා එහෙ. එහෙ ගියාම අපේ වැඩේ තමයි වෙල අයිනෙ තියෙන අඹ ගහ උඩට වෙලා අඹ කකා ඕප දූප කියවන එක.
ඕප දූප කියවන එක නරක වැඩක් තමයි. ඒත් මොනවා කරන්නද දෙයියනේ… ඉබේටම එන වචනනේ… break නෑ කටවල් වලට…
මායි චතුයි ශනූ එන්න කියපු නිසාම ශනුවගෙ ගෙදර ගියා. චරිතා නැන්දා, ඒ කියන්නෙ ශනුගෙ අම්මා අපි යද්දිම අපිට කන්න කෑමත් ලෑස්ති කරලා. ඒ කෑම ගැන නම් කියලා වැඩක් නෑ. මතක් වෙද්දි තවත් බඩගිනි එනවා. විනාඩියට දෙකට කෑම ටිකත් කාලා ශනූගෙ කාමරේට රිංගුවෙ ශනුවගෙ ඇඳුමක් හොයාගන්න. හිතපු තරම් අමාරු වුනේ නෑ. ශනුවගෙ ඇඳුනුත් ඇඳගෙන කෙලින්ම දුවන්න පටන්ගත්තෙ අඹ ගහ ගාවට. ඇයි ඉතින් මුලින්ම යන කෙනාට හෙවන තියෙන හොඳ අත්තක් අල්ලගන්න පුළුවන්නෙ. මෙදාපාර නම් වාසනාවන්තයා වුනේ මං.
ඔන්න දැන් ඉතින් වලියක්. ගහේ අත්තක් බෙදාගන්න බැරුව. හරියට ගහේ වෙන අතු නෑ වගේ. ශනුයි චතුයි කොහොමත් විහිළුවටත් රණ්ඩු වෙනවා. මාත් ඒකට පිදුරු ටිකක් දැම්මෙ තවත් හොඳ film එකක් බලන්න හිතාගෙන.
කොහොමින් කොහොම හරි ශනුවගෙ කකුල ලිස්සලා ශනුවා හිටියෙ බිම. චතුයි මායි හොඳටම බය වෙලා. මටත් වඩා චතූ. ඇයි එයානෙ රණ්ඩු කලේ.
“ශනූ…ශනූ ඇස් අරින්නකෝ… අනේ කතා කරන්නකෝ… විහිළුවක් නේද මේ කරන්නේ?…”
අපි කොච්චර කතා කලත් ශනුවා නෙවේ පොඩ්ඩක්වත් හෙලවෙන්නෙ. බයටම අපිට ඇඬෙනවත් එක්ක. චතු ශනූව නැගිට්ටවන්න හදද්දි මම එක පිම්මට දිව්වෙ චරිතා නැන්දාව හොයාගෙන.
“චරිතා නැන්දේ… නැන්දේ ඔයා කොහෙද…”
මම ගමටම ඇහෙන්න බෙරිහන් දුන්නා. මගේ කෑගහිල්ලට නැන්දා කොහේද මන්දා ඉඳන් ආවෙ දුවගෙන. මට මුකුත් කියවෙන්නෙත් නෑ බයටම. මම මුකුත් කියන්නත් කලින්ම නැන්දා වෙලදිහාවට දිවුවා. මම හිටපු විදියෙන් තේරෙන්න ඇති මොකක් හරි කරදරයක් කියලා.
ශනූව දැක්ක ගමන් නැන්දා අඬන්න ගත්තේ පිස්සියක් වගේ. ඒක දැකල අපිත් තව හයියෙන් අඬනවා. කොහොමින් කොහොමහරි ත්‍රී වීල් එකකින් ශනූව hospital එකට ගෙනාවා. එතන හිටපු nurse අපිට පොඩ්ඩක් එළියෙන් ඉන්න කියලා ශනූව ගත්තා ඇතුලට.
මටයි චතූටයි හොඳටම දුකයි. අපි තුන්දෙනාම එකට හිටියේ. විහිළුවට ඕනතරම් රණ්ඩු වෙලා ඇති. ඒත් මේ වගේ දෙයක්… හිතාගන්නවත් බෑ…
විනාඩි 40කින් විතර doctor ආවා එළියට. නැන්දාටත් කලින් doctor ගාවට දිව්වෙ අපි දෙන්නා.
“අනේ doctor අපේ යාළුවට කොහොමද? එයාට කරදරයක් නෑ නේද? අපිට එයාව බලන්න පුළුවන් ද?”
චතූගෙන් Doctor ට ප්‍රශ්න පත්තරයක්ම. හොටු පෙර පෙර චතූ අඬන විදිය දැකලා doctorටත් හිනා. ඒක දැකලා චතූ doctorට අසූහාරදාහට රවනවා. හැබැයි doctor කියපු දෙයින් තමා අපිට ආයිත් හුස්ම ගන්න පුළුවන් වුනේ.
ගහෙන් වැටෙද්දි අත බිම වැදිලා උළුක් වෙලා ලු. සිහිය නැති වෙලා නම් තියෙන්නේ ගගෙන් වැටෙද්දි බයට ලු. ලොකු අමාරුවක් නෑ කියලා තමයි කිව්වේ.
ඒක කියපු ගමන් මායි චතුයි නටන්න ගත්තේ hospital එකේ ඉන්නේ කියලවත් සිහියක් නැතුව. අපි එහෙම්මම දිව්වෙ ශනූ ගාවට.
මෙන්න වැඩක්!!! ටිකකට කලින් මැරිලා වගේ හිටපු ළමයා ඇඳක් උඩට වෙලා හිනා වෙවී බලන් ඉන්නවා. ඒත් දැක්කම දුකයි. අතක් bandage කරලා. ඒ මදිවට සේලයිනුත් දීලා. මායි චතුයි පැනපු ගමන් ශනූව බදාගෙන අඬන්න ගත්තා. දුකට ද සතුටට ද කියන්න තෙරෙන්නෙ නෑ. ඒත් තුන්දෙනාගෙම හිතට හරි නෑ. මෙච්චර කල් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට හිටියනේ.
චතූ කරේ ශනූගෙන් සමාව ගත්ත එක. කකුල ලිස්සල වැටුනත් රණ්ඩුව නිසානෙ එහෙම වුනේ.
ශනූ නම් කිව්වේ ඒ ගැන හිතන්න එපා කියලා. ඒත් මගේ හිතටත් හරි නෑ. මමත් රණ්ඩුව නවත්තන්නෙ නැතුව මේ දෙන්නව ඇවිස්සුවනේ. ඒ නිසා අපි තුන්දෙනා අපි තුන් දෙනාටම පොරොන්දුවක් වුනා ආයිත් රණ්ඩු වෙන්නෙ නෑ කියලා. එහෙම වුනොත් රණ්ඩුව පටන්ගන්න කෙනා අනිත් දෙන්නට ice-cream අරන් දෙන්න ඕනා. ඒ නිසා ice-cream අරන්දෙන්න වෙයි කියන බයටම ආයිත් රණ්ඩුනම් කලේ නෑ. එහෙමයි කියලා ඉතින් අපේ පිස්සු වැඩ නතර වුනෙත් නෑ.
Leave a Comment