පළමු කොටස
“පොටෝ කොපි කල නෝට් පිටු මතින්…
මැවෙන මුත් ඔබේ,
රුව වරින් වර…
දෑස් අයා බලන තෙක් හිද,
සිනාසී යලි මැකී යයි නුබ…”

චාටර්ඩ් පන්තියේ තඩි පොත් ටිකයි,පලවෙනි දවසේ කැම්පස් අදින්න ඉස්කෝලේ සුමනා මිස් අරන් දීපු මල් මල් දිග සායයි, සුදු හැට්ටෙයි, තව මම ගෙදර තිබිලා එකතු කරගතපු ඇදුම් කෑලි ටිකයි දාගෙන මම ම හදාගතපු ගමන් මල්ල තරිදු අයියා මගේ අතින් උදුරා ගත්තා.
“නාට්ටහාමි වෙන්නේ නැතුව කෝ දෙනවා ඔය ලොකු බෑග් එක මෙහෙට”
ඊට පස්සේ තරිදු අයියා අපේ අම්මගේ මූණ දිහා බැලුවේ හරියට මගේ මුලු ජීවිතේ ම බර එයාගේ ජීවිතේ වගකීම කරගත්තා වගේ.

“මෙහෙම ඉදගෙන ඉන්නකොට
අම්මයි,තාත්තයි
ගොඩක් මතක් වෙනවා”
ඔව්…මට තාමත් මතකයි.කොහොම ද දෙයියනේ මට එහෙම අමතක වෙන්නේ???කප්පරක් හීන එක්ක මම කොලඹට නැව් නැග්ගේ දෙහිඅත්තකණ්ඩියේ බස් හෝට්ල් එකින්. එදා අම්මගෙයි, තාත්තගෙයි ඇස් වල දිලිසෙන කදුලු කැට වලින් මම දැක්කේ පපුවේ රස්නෙට දියවෙච්ච හරිම සීතල ආදරයක්.
එදා පාන්දර පහ හමාරේ බස් එකේ පුදුම සෙනගක් හිටියේ.බස් එකේ රේඩියෝවේ සෙත් පිරිත් දේශනාව යන්තමින් මට ඇහුණා.
“කොහෙ ද මචන් වට්ටි පෙට්ටි උස්සගෙන උදේ පාන්දර යන්නේ? පැදුරටත් නොකියා රෑ පාන්දරින් ම උබලා දෙන්නා පැනලා යනව ද?”
ඒ බස් එකේ හිටිය තරිදු අයියගේ යාලුවෙක්.එයා එහෙම ඇහුව ම මට නම් ටිකක් ලැජ්ජ හිතුණා.මොන ටික ද ?
“නෑ බන්,මෙයාට හෙට කැම්පස් පටන් ගන්නවා.මම මේ කොලඹ එක්කගෙන යන ගමන්”
“ආහ්…නන්ගී කැම්පස් තේරුණා ද ?”
තරිදු අයියා ඔව් කියන ගමන් ආයෙත් වතාවක් මගේ මූණ දිහා හොරැහින් බැලුවේ හරිම ආඩම්බරෙන් වගේ.
“ඇතෙකුට ඇත් දළ
යුවලක් වගේ
මට ඔබගේ
ප්‍රේමේ”

“එහෙනම් මචන් සුබ ගමන්..ඔන්න මම ඉස්සරහින් බැස්සා එහෙනම්.”
ජනෙල් කවුළුවෙන් එකපාරට හමාගෙන ආපු සීත සුලගට මගේ කෙහෙ රැල් අවුල් වුණා.
පව්…තරිදු අයියා…මට එයා ගොඩක් මතක් වුණා එක පාරට.දැන් එයා කොහේ ඉන්නව ද දන්නේ නෑ..පස්සේ හමුදාවට බැදුනා කියලා නම් මටත් වටින් ගොඩින් ආරoචි වුණා.

“ඔබ කොහේ හෝ ඇති මේ වෙලාවට
ඈත කදු වැටි දෙස බලාගෙන
පාලු අදුරට ඉහ තියාගෙන
මම මෙතෙන ඉන්නවා වාගෙම”
ඈත කදු වැටි දෙස බලාගෙන
පාලු අදුරට ඉහ තියාගෙන
මම මෙතෙන ඉන්නවා වාගෙම”
(නෙතූ සකුණිකා දිනපොත)
සතියක විරාමෙකින් තුම්මුල්ලෙදිම තැග්ගැහෙමු.
(මෙහි සඳහන් සියලු උපුටා ගැනීම් කොලඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ මේස මත සරසවි සිසුන් විසින් සටහන් කරනු ලැබූ නිදහස් සිතිවිලි ය.)
Leave a Comment