තෙවන කොටස

“රෝගී වූ වර්ථමානයට අතීත
සොදුරු මතක ඖෂධ කර
දිවිගෙවන්නෝ බොහෝ ය”
මම සෑහෙන්න වෙලාවක් කල්පනා කලා.අන්තිමට මට හිතුනේ ගොඩක් අය මම වගේ ම යි කියලා.හමුවීම් වගේම හැරයෑම් කියන ඒවත් තරුණ ජීවිත වලට ආගන්තුක වෙන්න හොඳ නෑ කියලා තේරුම් ගන්න මට සෑහෙන්න කාලයක් ගතවුණා.
කොළඹ විශ්ව විද්‍යාලීය නව කලා රඟහල ලග වියපත් වෙච්ච සිමෙන්ති බoකුවට පිට දීලා හිටිය සල් ගහේ අලුත් මල් පිපිලා.බලන්න ලස්සනයි.
මට තේරුණේ නැති ,තේරුම් ගන්න බැරි , තඩි කොල්ලෝ කුළු හරක් වගේ දඟලන ෆ්‍රෙෂස් රග්බි මැච් එක දිහා මම බලන් හිටියේ ඕනවට එපාවට.දැකලා පුරුදු මූණක් එක පාරට පිට්ටෙනියේ එහා පැත්තේ ඉඳලා හිනා වුණා.දත් තිස් දෙකම එලියට දාලා හිනාවුණාට හිනාවෙන මනුස්ස පුරුද්දට ඔහේ හිනා වුනාට ටික වෙලාවකින් ම මට එයාව මතක් වුණා.
බුදු අම්මෝ…!!!ඒ එයා…එදා බැංකු කවුන්ටරයේ ලඟදි කන්න වගේ බලන් හිටිය කොල්ල නේද මේ…වැරදි කෙනා එක්ක හිනාවුණා කියන එක තේරුම් ගන්න නම් වැඩි වෙලාවක් ගියේ නෑ මට.හැඟීම් වලට එන්න බැරි වෙන්න කියලා අඟුලු දාලා හදවත කොයි තරම් ගොළු කරන් හිටියත් , යතුර තියන අයිතිකාරයෙක් ආවොත් නම් ඒ වගේ අඟුලු දාපු හදවතක් වුණත් ආයෙත් විවර කරන්න පුලුවන් කියලා අද මට මුල් වතාවට තේරුණා.

“දින සුන් මේ මගෙහි,
සල් පෙති මතින්,
යමු එන්න අත් බැදන්,
නොදිසි කඩ ඉම් කරා,
මේ මගට සිසිල දෙන
නීල තුරු පෙල නිමයි…
රුදුරු රිවි කිරණ හිස,
නොබෝ දුර පතිත වෙයි…
එන්න අපි යමු,
නොගිලිහී මේ දෑත්,
අපි පතන අපේ ලොව ,
තව දුරයි…යා යුතු ය…”
හ්ම්ම්…වචන වලින් විස්තර කරන්න අමාරුයි තමයි.ඒත් මේ දෙය නම් කියන්න ම ඕන. හීනියට වගේ චකිතයක් , බයක් දැනුනට එයා අද මගේ ලඟට ඇවිත් වචන දෙක තුනක් කතා කලාම නම් අමුතුම විදියේ නැවුම් හැඟීමක් මට දැණුනා.

“ඔබ වැස්සට ආදරෙයි කියනවා,
ඒත් වැසි වසිද්දී ඔබ කුඩේ යටින් ගමන් කරනවා…
ඔබ හිරුට ආදරෙයි කියනවා,
ඒත් හිරු පායා ඇති විට ඔබ හැංගී සෙවනෙන් ගමන් කරනවා…
ඔබ සුලගට ආදරේ කියනවා,
ඒත් සුලග එන විට ඔබ ජනෙල් වසා ගන්නවා…
ඒ නිසයි ඔබ මට ආදරේ කියූ විට මම බිය වන්නේ”
ඇස් දෙක පොත් වලට බර කරන් මුළු හවසම පාඩම් කරන්න මහන්සි වුණ තරමක් මම විතරම යි දන්නේ…ග්‍රීන් ටේබල් වලට වෙලා තනියම චාටඩ් පන්තියේ ලෝ පේපරේ ට පාඩම් කරන්න හිත එක තැනකට ගත්තට ඇස් දෙක නතර වුනේම වෙන වෙන තැන්වල.තරුණ කුරුළු ජෝඩු ජෝඩු තැන් තැන් වල වාඩි වෙලා හරියටම පාඩම් කරනවද කියලා නම් මට තේරුණේ නෑ.ඒත් ඒ හැමෝම ආදරේ කරනවා කියන එක නම් මට හොඳට තේරුණා.

“මට දරා ගන්න බැරි එසයින්මන්ට් ටික විතරක් නෙවේ
මට කියවගන්න බැරි කේස් ලෝ
ඔක්කොමයි කියවලා දෙන්න කෙනෙක්
මංගල තීරුව බැලුවම
මට හිතුනේ මම කොච්චර
මෝඩ ද කියලා විතරයි”
එක අතකින් හැඟීම් කියන ඒවා හරිම පුදුමයි.හැඟීම් ඇති වෙන වේගයට වැඩිය නැති වෙන වේගයත් එන්න එන්න වැඩි වෙලා.
ගිණි පෙලෙල්ලෙන් බැට කාපු මනුස්සයා කණාමැදිරි එලියටත් හරි බයලු! ඔව් ඉතින් ඒක එහෙම වෙන්න එපා ද?
ඒත් මේ ගැන නම් තව කාලයක් හිතන්න ඕන.ඔව්.. තව ගොඩක් කාලයක් මේ ගැන හිතන්න ඉඩ දෙන්න දැන් මම ලෑස්තියි.අඩුම තරමේ අවුරුද්දක් වත්..
ඒත් එතකන්… ඒ තරම් කාලයක්…!!! ඔව් ඒ තරම් කාලයක්… හ්ම්ම්..ඒ කියන විදියට ඇත්තටම ආදරේ නම්,ඒ තරම් කාලයක් හරි ඔහු බලාගෙන ඉඳීවී..

“සිනා සුනේ ඔබ මදෙස බලා,
පෙමින් බැදුනේ මා හද ඔබේ නිසා,
ඔබට නොදැනේ ද මේ හද බැදුනු ආදරය එදා…
කථානායක නම් ඔබ,,,
සිත තුල රැඳේ සිව් වසරක් වුව ද,
කෙතරම් නවකයන් පැමිනිය ද මේ සරසවි බිමට,
ඔහු ගොඩ නොයන ලෙස ප්‍රාර්ථනා කරමි.
මම
මීට
නෙත ගැටූ පෙම්වතී”
(නෙතූ සකුණිකා දින පොත)
සතියක විරාමෙකින් තුම්මුලෙදිම තැග්ගැහෙමු..
(මෙහි සඳහන් සියලු උපුටාගැනීම් කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්ථකාලයේ මේස මත සරසවි සිසුන් විසින් කුරුටු ගෑ නිදහස් සිතුවිලිය.)
Leave a Comment