නවවන කොටස
“සඳ පායන නිල් අහසට
හිරු කොහොමඳ එබෙන්නේ…
මගේ හිත ගත් සුදු මැණිකෙට
හිත කොහොමද කියන්නේ”

නෙතූට ජෙසිකා මගේ යාළුවෙක් විතරමයි කියලා ඒත්තු ගන්වන්න මට සෑහෙන්න කාලයක් ගියා.ඒත් නෙතූ ටික ටික මට ආදරේ කරන්න පටන් ගනිද්දී මට මේ හැමදේම වගේ එපා වෙලා ගිහින් තිබුනේ.එකින් එක කරදර මගේ ඉහටම කඩන් වැටෙද්දී මම ඔලුව උත්සන් ,කොන්ද කෙලින් තියන් ජීවත් වුනේ හරිම පීඩනයකින්.හරිම අමාරුවෙන්…දැන් මට මාවම හරි වදයක්…!
“ඔබ සොයාගත් මුල් දින මා සිතුවේ
මම කොලොම්බස් කියා
ඒත් දැන් මට තේරෙනවා
මම කම්බස් කියලා”

ඩිග්‍රිය අතාරින තැනටම දැන් මගේ හිත හැදිලා ඉවරයි.මේ ටික කාලෙට ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරවල බැහැගෙනම වැඩ කරපු ශිෂ්‍ය නායකයෙක් විදියට මට හිමි වුණු දේවල් වගේම අහිමි වුණු දේවල් අනන්තයි.හ්ම්ම්…සමාජවාදය ඇතුලේ හුස්ම හිරවුණු ධනේශ්වර හිඟන්නෙක් මම…

“විභාගය අත ලග
ශිෂ්‍යභාවය V.C ලඟ
මාෂල්ලා ගේට්ටුව ලඟ
ෆොටෝ අලවලා දැන්වීම් පුවරු ලඟ
උපාධිය ගෙනෙන තුරු මව්පියෝ ඉඳිකඩලග”
තාත්ති තනියම බිස්නස් වැඩවලට මහන්සි වෙනවා දැක්කම මගේ හිතත් දැන් වාවන්නේ නෑ.අන්තිමටමට මට හිතුනේ මේ සේරම අතෑරලා දාලා තාත්තිට හයියක් වෙන්න.මට ආයෙත් තාත්තිගේ බිස්නස් තිබුණු තැනටම ගේන්න පුලුවන් නම්…අන්තිමට මම සස්පෙන්ඩ් ලෙටර් එක පොඩි කරලා විසි කරලා දැම්මා.

“පුරන් වූ කෙතක් නොව
ගල් පර්වතයක් වුව අස්වැද්දිය හැකිය.
අවශ්‍ය වන්නේ ධෛර්‍ය පමණකි.”
ජීවිතේ මගෙන් සීමාවක් නැතිව දේවල් අතහැරලා දාද්දී මම මගේ ජීවිතයෙන් ගොඩක් දේවක් අතහැරලා දැම්මා.මේක ඇහුවම උඹටත් පුදුම හිතෙයි බන්…මම ඒ දවස්වල පණ දෙන්න ආදරේ කල නෙතූත් දැන් මට හරිම වදයක්! එයා දැන් මට හරිම කරදරයක්! උඹලා මට ඕන තරමක් බැනපන්…මම අහන් ඉන්නවා…ඒත් බන් මට ඕන මේ හැම දේම අතහැරලා දාලා නිදහස් වෙන්න..මනුස්සයෙක්ට දුක් කරදර උහුලන්න පුලුවන් මට්ටමක් තියනවා බන්…මේ තරම් ප්‍රශ්න මට දරාගන්න බෑ.උඹලා හිතන විදියට මම ගොඩක් වැරදි ඇති අහින්සක කෙල්ලෙක්ට මේ තරම් කාලයක් බලාපොරොත්තු දුන්නට…
මට සමාවෙන්න නෙතූ…මගේ ජිවිතේ වත් වගකීමක් මට ගන්න බැරි වෙලාවක කොහොමද රත්තරන් ඔයාගේ ජීවිතෙත් වගකීම මම භාරගන්නේ…
“ප්‍රේමය
පරමානන්දනීය බව
මම දැන් දැන සිටියෙමි.
එහි පරමානන්දය
මරණීය වේදනාවක
සටහනක් නොකරන්න
ඔබට හැකිනම්…”

(උපේක නිර්මාල් දින පොත)
(මෙහි සඳහන් සියලු උපුටා ගැනීම් කොලඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ මේස මත සරසවි සිසුන් විසින් සටහන් කරනු ලැබූ නිදහස් සිතිවිලි ය.)
Leave a Comment