දැනුම

තෙලිතුඩ ඉකිබිඳී සොයමින් නුඹේ දෑඟිලි…..

”නින්ද නේන රාත්‍රියේ……

මේ පාළු කාන්සියේ….

පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ…..”

කිසිදා නොමියෙන පද පෙළකි. මෙවන් ගීත වයස් කාණ්ඩයකට කියා සීමා කළ නොහැක. ගත වැහැරී ගොස් ජීවය වා තලයට මුසුව සැගව ගියද සදා අමරණීය තරුණ හදවත් මෙලොව ජීවමානව පවතී. ජීවන ගමන සිය හැත්තෑ වැනි දශකය අවසන් වීමට ප්‍රථම නිමා කරන්නට වුවත් කිසිදා මහළු නොවන තරුණ හදවතක් හිමි අසහාය කළාකරුවා ඔහුය. ආචාර්ය අජන්තා රණසිංහ, කෘතහස්ත ගී පද රචකයකු පමණක් නොව ජේෂ්ඨ පත්‍ර කළා වේදියෙකි.

පසුගිය පෙබරවාරි 27 වන දින කොළඹ ජාතික රෝහලේදී රසික නෙත් තෙත් කරමින් අභාවයට පත් වූ ආචාර්ය අජන්තා රණසිංහ සිය හැත්තෑ පස් වන වියෙහි පසු විය. ආචාර්ය තුමාණන්ගේ උපන් දේශය ඇතුගල් පුරවරයයි. ඔහු ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදිශිෂ්‍යයකි. “සිළුමිණ“ ,“පෙරමුණ“ පුවත්පත්හි ළමා තීරයට කවි , කෙටිකථා ලියූ ඔහු, ඔහුගේ අවසන් යුගය වන විට “නවයුගය“ හි සංස්කාරක ධූරය හෙබවීය.

“දිනමිණ“ පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවෙකු ලෙස සේවයට එක් වුයේ 1965 වසරේදීය. අනතුරුව ක්‍රමයෙන් උප සංස්කාරක ධූරයද , ඉනික්බිතිව දේශීය පුවත් සංස්කාරක ලෙසද, අතිරේක ප්‍රධාන උප සංස්කාරක ලෙසද, ප්‍රධාන උප කර්තෘ සහ අවසානයේ “නවයුගය“ හි සංස්කාරක වශයෙන්ද පත් වූයේය.

ඔහු විසින් ලියූ ගීත අතර, “නින්ද නේන රාත්‍රියේ ”,”රුවන් වළා විමානේ”,”විල්ලුද පුංචි දෙපා”,”රන් කෙන්දෙන් බැඳ” ආදී රසික හදවත් කුල්මත් කළ ඕනෑම යුගයකට කදිමට ගැළෙපන ගීත රැසකි. අවස්ථා ත්‍රිත්වයකදී වසරේ හොඳම ගීත රචකයා සඳහා ජනාධිපති සම්මාන දිනාගත් කෘතහස්ත කලාකරුවෙකි. එමෙන්ම‍ ගෞරවාන්විත සම්මාන සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභී ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර‍යෙකි. ආචාර්ය අජන්තා රණසිංහ විසින් පළ කල නවකතා අතර “වින්කල් බාස්“ , එමෙන්ම “සොල්දාදුවා පෙරළා පැමිණියදා“ වැනි කෙටිකථා අග්‍රගන්‍ය කෘතීන්ය.

අජන්තා රණසිංහයන්ගේ අභාවය එක් වෘත්තාන්තයක අවසානයක් පමණක් නොවේ, අනූපම ලේඛකයකු වශයෙන් ශී ලාංකික පුවත් කලාවේදයට සහ සිංහල ගීත කලාවට විශාල හිස් තැනකි. මෙම ක්ෂේත්‍ර ද්විත්වයටම ඔහුගේ ආගමනය දශක පහක් පමණ ඉපැරණිය. ඔහුගේ ජීවන ගමන අවසාන අදියරේදී මෙම අද්විතීය පෞරෂය අගයනු වස්, ශී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක තනතුරකට ඔහුව පත් කරන ලදි.

තමාටම අනන්‍ය වූ වාග් ලාලිත්‍යයකට අනුගත වෙමින් පද රචනා නිමැවූ එතුමාණන් පසුගිය අඩ සියවසක කාලය තුල කෙතරම් නිර්මාණයන් කර ඇත්දැයි ඇතැම්විට එතුමාටත් අදහසක් නොමැති බවට සැකයක් නැත.

අත්‍යන්තයෙන්ම මහත්මා ගුණ ප්‍රකට කළ එතුමාගේ මුවගෙහි නිරන්තරවම රැඳී තිබූ වදනක් වූයේ “මහත්මයා“ යන්නයි. නිහතමානී බවත් පරිණත බවත්, මුව පුරා රැඳි හසරැල්ලත්, එතුමා සතු වු ආභරණයන්ය. ඔහු සමඟ කටයුතු කළ ආධුනික වාර්තාකරුවන් ඔහු පිළිබඳ සාක්ෂි සපයයි. එතුමාගේ අවසන් හුස්ම දක්වාම එතුමා නවකයින්ට දිරි දීමට, අත දීමට දෙවරක් නොසිතා ක්‍රියා කළ අයෙකි.

“ඔබේ වදනින් හදවත ස්පර්ෂ කළද නිතැනින්…….

ඔබේ වියෝව ගෙනදෙයි දුක් හද තුල සැනින්…….

වා තලයට මුසු වන ගී පද අතරින්………

පතනෙමු නිවන් මඟ යන්නයි සැනසීමෙන්…..”

 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිලීමා ජයසිංහ

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment