දැනුම

තේරෙණ සිංහලෙන්, CEPA එපාද??

මේ දිනවල නැවතත් කරලියට පැමිණි CEPA ගිවිසුම පිලිබඳව විද්‍යාර්ථයකු සේ දැන සිටීම වැදගත් වන නිසා මෙසේ ඒ පිලිබඳව කෙටි සටහනක් තබන්නෙමි.

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විවිධ ආර්ථික , සාමාජීය, දේශපාලනික හා ආගමික සබඳතා පැවතුනි. CEPA යනු විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුමයි.( Comprehensive Economic Partnership Agreement ) එය ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන රටවල් දෙක අතර ඇති කර ගැනීමට යෝජනා වූ ද්විපාර්ශවික ආර්ථික ගිවිසුමකි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වඩාත් පුළුල් කර ගැනීම සදහා CEPA ගිවිසුමට එලඹීම සඳහා තීරණය කරන ලද්දේ 2005 වසරේ දී කොළඹ දී පවත් වනු ලැබූ පහලොස් වැනි SAARC සමුළුවේ දී ය. නමුත් සාර්ක් කලාපය තුල ඉන්දියාවේ දෙවෙනි විශාලම වෙළඳ සහකරුවා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙම ගිවිසුම සම්බන්ධව ඇති වූ මතභේදකාරී තත්වයන් මත ගිවිසුම්ගත වීම කල් තබන ලදි.

CEPA ගිවිසුමට අදාල පසුබිම්  ඉතිහාසය මෙසේ සැකෙවින් දැක්විය හැකිය. 1998 වර්ෂයේ අවසන් කාර්තුවේ දී  ශ්‍රී ලංකාව හා ඉන්දියාව  ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට(Indo Sri Lanka Free Trade Agreement) එලඹුනි. එය 2000 වසරේ සිට ක්‍රියාත්මක වුණි. එම නිසා දෙරට අතර ඇතැම් භාණ්ඩ හුවමාරුවේ දී තීරු බදු සහන හිමි විය.

නමුත් 2003 වර්ශයේ ප්‍රථම කාර්තුවේ දී JSG (Joint Study Group) හි අරමුණ වුයේ දෙරට අතර තීරුබදු සහන සහිත භාණ්ඩ හුවමාරුවෙන් ඔබ්බට යමින් සේවා වෙළඳාම පුළුල් කිරීමයි. ඒ අනුව දැනට පවතින ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ  ගිවිසුම පුළුල් කරමින් CEPA ගිවිසුම මගින් තීරු බදු සහන සහිත භාණ්ඩ, සේවා වෙළඳාම, ආයෝජන ප්‍රසාරණය හා තාක්ෂණික හුවමාරුව වැනි විවිධ පැතිකඩ ආවරණය කීරීම අරමුණ විය.

CEPA ගිවිසුම මගින් අදාල රටවල් දෙකට ම වාසි සහගත තත්වයක් උදා වෙයි. නමුත් රටවල් දෙක අතර පුද්ගලයන්ට නිදහසේ සංක්‍රමණය වෙමින් වෙළඳ කටයුතු වල ආයෝජනය කිරීමට ඇතිවන හැකියාව සාපේක්ෂ වශයෙන් ශ්‍රී ලංකාවට අවාසි සහගත බව ඇතමෙකුගේ මතය යි.

ඔවුන් CEPA ගිවිසුමට විපක්ශව ඉදිරිපත් කරන තර්කය නම් තම වෙළඳ කටයුතු සදහා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වන පුද්ගලයන් ප්‍රමාණයට වඩා ඉන්දියාවෙන් සංක්‍රමණය වන පුද්ගලයන් ප්‍රමාණය සාපේක්ශව වැඩි විය හැකි බවයි. මෙමගින් වරලත් ගණකාධිකාරීවරු,වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු වැනි ඉහල කලමණාකරණ රැකියාවක සිට ඉතා පහල මට්ටමේ රැකියාවන් වල  නිරත වන රැකියා නියුක්තිකයන්ට ද දෙරට තුල දී ම පහසුවෙන් වෙළඳ කටයුතු වල ආයෝජනය කිරීමටත් තම රටින් අවශ්‍ය සේවකයින් ගෙන්වා ගැනීමටත් ඉඩ ප්‍රස්ථාව හිමි වේ.

අඩු පිරිවැය සහිත ශ්‍රමිකයන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිනීම නිසා මෙය ශ්‍රී ලංකාවේ විරැකියා ගැටලුවට වඩාත් උචිත ක්‍රමවේදයක් නොවන බව ඇතැමුන් ගේ මතය යි. මන්ද ශ්‍රී ලංකාවේ විරැකියාවෙන් බහුලව පෙලෙනු ලබන්නේ නූගත් පුද්ගලයන් නොව උසස් අධ්‍යාපනය ලැබූ ඉහල සාක්ශරතාවයෙන් යුතු පුද්ගලයන් වීම යි. තවද 2015 වසර තුලත් දල දේශීය නිශ්පාදනයෙන් 56.3% ක ඉහල ම අගයක් පෙන්නුම් කරන සේවා අoශයක් සහිත ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව  තුල ඉහල දැනුමක් සහිත වැඩි මිල මානව ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීම ප්‍රායෝගික නොවන බව ඇතමෙකු විශ්වාස කරයි.

කෙසේ වෙතත් මෙහි අවාසිදායක තත්වයන් හා වාසිදායක තත්වයන් රටවල් දෙකටම අත් වන අතර තවමත් මෙම ගිවිසුම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවල් ද්විත්වයම අත්සන් තබා නැත.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment