ලෝකේ ගෝලාකාරයි… මිනිස්සු විවිධාකාරයි… කිව්වට මොකද, ඉදල හිටලා මෙහෙමත් එක වගේ අයියලා ගොඩක් තැන් වල ඉන්නවා. මග තොටේ, බස් එකේ වෙන්නත් පුළුවන්. එහෙම අයියා කෙනෙකුට නංගි කෙනෙක් මුණගැහුණු කතාව හරියට මෙන්න මේ වගේ වුණාලු ඉතින්.
අයියා:
පිය මුදු දෙතොල මුව හසරැලි දොරේ යන
මන නද බඳින දෙනුවන රූසිරි මවන
බස හසුරවන අවිහිංසක තාල හැඩ
නුඹ දුටු විටෙක හදවත පැන යයි දුරක
නංගි:
වචන මවන හැටි පුදුමයි පිරිමි කට
මොකට කතා ඒ ගැනනම් හිතන විට
එක එක දකින විගසින් ඇස රවන හැඩ
ඔය හැටි පැන යන්න හදවත් කොතෙක් ඇත?
අයියා:
කොහොම කියන්නද අදහස හිතන විට
නුඹට නොතේරේ මගෙ හිත හඬන සැර
බොරුවක් නොවේ දෙවරක් පවසමි සොඳුර
ඔබට පුදන්නට පමණක් හදේ ඉඩ
නංගි:
තේරුම් ගන්න බැහැ මේ හැටි විඳින දුක
අපිනම් කිව්වේ නැහැ තැවි තැවි ඉන්න අද
හිතුවට හදවතේ මා හට දෙන්න ඉඩ
කවුළුව මිසක ඇර නැති පාටයිනේ දොර
අයියා:
කිව්වත් වචන බර හරසර පුදා සිට
ඇයි මෙතරම්ම ලාබෙට දා පිදූ පෙම
ලස්සන සිනහවට ගැලපෙන සොඳුරු රුව
තරහ ගන්න නරකයි මේ හැටි මැණික
නංගි:
කාලය ගතව යන විට දින සතිය ගෙවා
ආලය මැකී යයි රූපය දිරන නිසා
සාලය පුරා යයි විසිරි වදින ජරා
මාලය බැංකුවේ ලාබෙට සින්න වෙලා
අයියා:
හා හා පුරා කියමින් හිත නැවතෙන්නේ
සිහිනෙන් පවා දකිමින් රුව සැනසෙන්නේ
දැම්මත් රනින් ගෙතු මල්දම් සති තිස්සේ
ගැහැණුන් ඇයිද හරහට පදවැල් දෙන්නේ?
නංගි:
ගීයක් රසය තනුවක් එක් වූවාම
පොහොයක් හැඩය පුන් සඳ ලං වූවාම
ගොයමක් බරය පැළ ගැබ්බර වුවාම
තිත්ත රසය ඇත්තක් එළි වූවාම
අයියා:
හදවත දවන රිදවන ඔය නපුරු කතා
කුළුදුල් ප්‍රේමයට තොන්ඩුව දමයි නගා
ඔබ මගෙ ආදරය පුද කළ එකම කෙනා
සිහිනෙන් පවා කියවෙන ඔය නමයි පබා
නංගි:
මල්ලෙන් පනින බළලා දැක හතර හිනා
වැල්ලේ දිග හැරෙන කෝලම් කතා තමා
බෙල්ලේ දාගන්න මොකවත් නැතිද ගෙනා
“පබා” යන්න මගේ නම නම් නෙමෙයි සුදා
අයියා:
………………………………………………………………
……………………………………………………………..
…………………………………………………………….
………………………………………………………………
” තොප්පිය” හරිනම් දාගන්න…
නැත පිළිතුරක් තාමත් හිස් කවිය වෙතේ
වන්නට සමා මෙය ගරහනු පිණිස නොවේ
ජිවන මගේ දුටු දසුනකි හුදෙක් සිතේ
ඔබ කැමතිනම් හිස් තැන පුරවන්න කෙසේ
තොප්පි වෙළෙන්දා
Leave a Comment