Colombo Beacon ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා…

“මම අවුරුදු ගානක් මහන්සි වුණා. ඒ කැප කිරීමේ ප්‍රතිඵල මට අද හම්බ වුණා. ආදරෙයි මං එක්ක හිටිය හැමෝටම. මම මේක කළේ මටත් වඩා මාව විස්වාස කළ ඔයාලට…”

තරගය නිම කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකුට ඔහු දුන් පිළිතුරයි.

ශ්‍රී ලාංකිකයන්ගේ අවම සහයක් ඇතිව, බලධාරීන්ගේ අවම සයහයක් ඇතිව අද ලංකාව තුළින් ආසියාවේ වේගවත්ම මිනිසා බිහි වූ බවට 2022 ජුලි මස 03 වන දින යුපුන් අබේකෝන් සනාථ කර හමාරය.

ස්විස්ටර්ලන්තයේ පැවති ජාත්‍යන්තර තරගයේ දී මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 9.96 කින් නිම කරමින් තත්පර 10 ට අඩුවෙන් මීටර 100 කෙටි දුර ධාවන ඉසව්ව නිම කළ දකුණු ආසියාවේ පළමු හා එකම ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් නම් දරා හමාරය.

1994 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මීගමුවේ දී උපත ලබා වෙන්නප්පුව සාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ යුපුන් ක්‍රීඩාවට ළමා වියේ පටන්ම සහජ හැකියා ඇති අයෙකි.

2017 දී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පවතී තරගාවලියක දී  තප්පර 15.35 ක වේගයකින් තමා සතු ඉලක්කය ළඟා කරගැනීමට සමත් වන යුපුන් අබේකෝන්, මින් පෙර එම ඉසව්වට හිමිකම් කී ජපානයේ යොශිහයිඩේ කිර්යු අභිබවා තම දක්ෂතා ලොවක් ඉදිරියේ දැක්වීමට සමත් වෙයි.

2018 ඉන්දීය ජාතික Amlan Boragohain විසින් පිහිටුවා තිබු මීටර් 200 වාර්තාව බිඳ දැමු යුපුන්, ඉතාලියේ පැවති Castiglione International Meeting තරගාවලියට සහභාගී වෙමින් මීටර් 200 ඉසව්වේ මෙතෙක් තිබු ජාතික හා  දකුණු ආසියානු වාර්තා බිඳ දැමීමත් සමඟම ලාංකිකයන් තුළ නව බලාපොරොත්තු පිහිටු වීමට ඔහුට හැකි විය. එතෙකින් නොනැවතී 2020 දී ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ඔහු, ඩයමන්ඩ් ලීග් තරගාවලියට ලංකාවෙන් සහභාගී වූ එකම ක්‍රීඩකයා බවට පත් විය.

මෙලෙස අඛණ්ඩව වාර්තා පිට වාර්තා තබමින් ඔහු දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත් වූයේ මීටර් 100 ශ්‍රී ලංකා හා දකුණු ආසියානු වාර්තා අලුත් කරමිනි. බාධක පිට බාධක මතින් හීන වලට සටන් කළ ඔහු, ප්‍රාතිහාර්යය වෙනුවට කැපවීම හා මහන්සිය මත විශ්වාසය තැබිය යුතු බව ලොවක් ඉදිරියේ සනාථ කළේය. පුවත්පත් සිසාරා, රුපවාහිනිය තුළ සිරස්තල ඔස්සේ අද වන විට මුළු ලොවක් ඔහුට සුබ පතමින් සිටියි.

පියවරෙන් පියවර දහසකුත් බාධා මැද, ඔහුගේ වචන වලින්ම කිවහොත් අවම පහසුකම් යටතේ අද වන විට ලෝකයම දන්නා චරිතයක් වීමට අවශ්‍ය කැපවිම බව ඉගැන් වූ ඔහු සැබෑම වීරයෙකි. ලංකාවේ නම නැවත ඔලිම්පික් පිටියෙහි රැවූ දෙන දවස වැඩි ඈතක නොවන බවට යුපුන් උපහැරණයක් වී හමාරය.

අද වන විට ලක්වාසී සියලු දෙනාගේ ඔලිම්පික් බලාපොරොත්තුව යුපුන් අබේකෝන් බවට  පත් වී ඇත.

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා, කැපවීමෙන් ආශ්චර්ය පෑ මිනිසා යුපුන් අබේකෝන්, Colombo Beacon අපි ඔබට හෘදයාංගම සුබ පැතුම් එක්කරන්නෙමු…!

Image Source : 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චාරුකා අතපත්තු

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment