කිරියි පැණියි දෙකක් මොටද
තිබ්බම කිරි ටිකක් ඇති මට
හොදටෝම
මම නුඹෙන් ඉල්ලුවෙ එහෙම
කහට කෝප්පමයි වැක්කෙරුවෙ
නිවන්න අපි බඩේ ගින්දර
කඩාගෙන මල් කැන්ද කොළේට
යද්දි පන්සල් පුර පෝයට
හුරතලත් එක්කලම නුඹ
ආවා මගෙ පස්සෙන් තනියට
“හා පැටියෙක් කොයින්ද ඌට
ඔය තියෙන්නේ හැම තැනම ආවාට”
දැනගත්තේ එදයි නුඹෙ
මහ ලොකු ඔය බොරුව
ඉස්කෝලෙ මහත්තයා කීවාම
ගැටවර වෙද්දි පෙනුණා
එක එක තාලෙට
බෙදා ගත්තා අපි නුඹව
ගාණට මිම්මට ජාතියට
“මේ හිනැහෙන්නේ පුර පෝයට”
“නෑ මේ අපේ නෝම්බියට”
අපේ සොදුරු සිත් ආලෙ වැඩුවෙම
ඒ එළියෙන් මල් පොකුරු පිපුණෙම
නුඹෙ සෙනෙහෙ ළඟ
ඒකයි තාමත් මේ දුක
කුමරු සිදුහත් බැමි බින්දට,
ඇසළ පෝයක
කොයින්ද අපිට ඒ වාසනාව
පෙනුණම කොඩි සුදු පාට
මතක් වුණා ආයෙම
පන්සල පාර
එදත් ආවා පස්සෙන් නුඹ
හිනා වෙවී මට ඔච්චමට
නුඹෙ එළියෙ සීතලේම
වියනවා ඇති සුදු සීත සළුව
වසා දමා සරසන්න
මගෙ ගමන අවසාන!
අනුන්ගෙන් දිලුනට
එළිය අරගෙන
යන්නට වේවී දවසක
නුඹටත් මිතුර
ලොව සියල්ල අනියතයි
දන්නවද සඳ පාන!
Leave a Comment