දැනුම

දඹල වගාව

එදා මිනිසා තමන්ගේ එදිනෙදා අවශ්‍යතා මත පදනම්ව තම ජීවනෝපායන් සකසා ගෙන ඉතා සරල ජීවිතයක් ගත කළහ. ලොව සිදු වූ විප්ලවවාදී වෙනස්කම් හේතුවෙන් එකී ජීවනෝපායන් වෙනස්වීම් වලට බඳුන් වූ අතර ඉන් කෘෂිකාර්මාන්තයට හිමි තැන ද්වීතියත්වයට පත් වූවාදැයි සැක සිතිය හැකිය.

කෙසේ නමුත් එක් කුලකයක ජනයා තවමත් එය තම රැකියාව ලෙස තෝරාගෙන ඇති බව අප දන්නා කරුණකි.

මෑත කාලයේ සිදු වූ ලොව දරුණුතම වසංගතය වන නව කොරෝනා (covid-19) වසංගතය හමුවේ ලොවම පීඩා විදින මොහොතක නිවසට වී ගත කරන තම කාලය ඉතා ඵලදායි ලෙස ගෙවතු වගාව සදහා යොමු කිරිමට අප සියලු දෙනාගේ සිත් යොමු වී ඇත.

ඒ වස විසෙන් තොර ගුණදායක ආහාර නිවසේදී බොහොම අඩු මුදලකින් ලබා ගැනීම අරමුණු කරගෙනය. ඊට රුකුලක් පිණිස Colombo Beacon අපි ගෙන යන “ස්වයංපෝෂිත” ලිපි මාලාවේ තවත් එක් අදියරක් දඹල වගාව පිළිබඳ දැනුවත් කිරීම පිණිස මෙසේ ගෙන එන්නෙමු.

*දඹල :-
ඉතා ශක්තිමත් කඳක් හිමි වැල් වර්ගයක් වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 2000 පමණ දක්වා වූ ප්‍රදේශ වල වගා කල හැකිය.  නව ප්‍රභේදයන්ගෙන් වසරේ ඕනෑම කාලයක අස්වනු ලබා ගත හැකි වන අතර පැරැණි ප්‍රභේදයන්ගේ අස්වනු මහ කන්නයට පමණක් සීමා වූයේ මල් පිපීම වැඩි දිවා කාලයක් සහිත කාලවල සිදු වූ නිසාය.

මල්, කොළ, කරල්, බීජ සහ අල යන සියලු කොටස් ආහාරයට ගත හැකි ශාකයක් වන මෙය ඉහත කී සියලු කොටස් වල ප්‍රෝටීන් ප්‍රමාණය ඉහල අගයක් ගනී. තවද කාබෝහයිඩ්‍රේට්,මේදය, විටමින් A, B සහ C අඩංගු වේ.

* පස :-
වැලි සහිත පස් වල මෙන්ම මැටි අධික පස් වල ද වගා කල හැකි බෝගයක් වන නමුත් හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු වැලි ලෝම් පස් සහ මැටි ලෝම් පස් වගාව සඳහා සුදුසුය.

* බිම් සැකසීම:-
මේ සදහා ගැඹුරට බිම පෙරලා කැට පොඩි කරගන්නා අතර ඉඩමෙහි ජලය රැඳීමේ අවදානමක් පවතී නම් උස් පාත්ති හෝ වැටි හා කානු ආකාරයට බිම සකසා ගත යුතුය.

* බීජ සිටුවීම:-
බීජ සිටුවීම වර්ෂා කාලය ආරම්භයත් සමඟ සිදු කෙරෙන අතර සෙන්ටිමීටර් 75 X සෙන්ටිමීටර් 60 පරතරයකින් යුතු සෙන්ටිමීටර්  2 -5  පමණ ගැඹුරු වලවල් සාදා වරකට බීජ 2/3 පමණ සිටුවා ගනී.

* පොහොර යෙදීම:-
බීජ සිටුවීමට පෙර, හොදින් දිරාපත් වූ කාබනික පොහොර වලවල් සඳහා එකතු කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය. තවද මූලික පොහොර ලෙස N.P.K – 20 :100 : 40 අනුපාතයෙන් එකතු කිරීම සිදු කරයි.( යූරියා – 45 Kg , ත්‍රිපල් සුපර් පොස්පේට් – 215 Kg, මියුරේට් ඔෆ් පොස්පේට් – 65 Kg)  ඉහල අස්වනු ලබා ගැනීම සදහා දඹල සිටුවා සති 4 කින් සහ 10 කින්, යූරියා පොහොර 20 Kg බැගින් එකතු කිරීම සිදු කරයි. (මෙම පොහොර ප්‍රමාණ හෙක්ටයාරයකට නිර්දේශ කර ඇති ප්‍රමාණයන්‍ ය.)

* ආධාරක සිටුවීම:-
වගාව සඳහා සකසා ගත් වලවල් අසලින් සිටුවා ගත් කණු සදහා වැල් පුහුණු කර ගනී.

* ජල සම්පාදනය:-
වියළි කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවලදී සතියට දවසක් පමණ බැගින් වගාවට ජලය සපයන අතර වැලි සහිත පස් අධික ඉඩමක වගා කර ඇති නම් මෙයට වඩා අඩු කාල පරතරයක් සහිතව ජලය එකතු කල යුතුය.

* වල් පැළෑටි පාලනය:-
ආරම්භයේදී දඹල බෝගය ඉතා සෙමින් වර්ධනය වන බැවින් එම අදියරේදී වල් පැළෑටි පාලනය ඉතාම වැදගත් වේ. අනතුරුව බීජ ප්‍රරෝහණය වී සති 1, 3, 5, 7, සහ 12 දී වල් පැළෑටි පාලනය නිර්දේශ කරනු ලැබේ.

* කෘමි සහ රෝග පාලනය:-
දඹල වගාවට විශාල වශයෙන් හානි පමුණුවන රෝග හා කෘමීන් පිළිබඳ වාර්තා වී නොමැත. ඇතැම් අවස්ථාවලදී ශාක පත්‍ර ආහාරයට ගන්නා දළඹුවන් සහ කරල් විදින පණුවන් නිසා සුළු හානි ඇතිවේ.  රෝගයක් ලෙසින් බහුලව දැකිය හැක්කේ බැක්ටීරියා හිටුමැරීමේ තත්ත්වයයි. එබැවින් බෝග සනීපාරක්ෂාව ඉතාම වැදගත් වේ. එවැනි අවස්ථාවකදී බෝග මාරුව සුදුසුය.

* නිර්දේශිත ප්‍රභේද:-
1)  S.L.S 44 – කරල් කොල සහ බීජ සුදු පැහැ වේ.
2) S.L.S 40 – කරල් කොල සහ බීජ දුඹුරු පැහැ වේ.
3) U.P.S 122 – කරල් දම් සහ බීජ තද දුඹුරු පැහැ වේ.
4) ක්‍රිෂ්ණා

* අස්වැන්න:-
නිවැරැදි ක්‍රමවේද අනුගමනය කරමින් වගාව සිදු කලහොත් හෙක්ටයාරයකට ටොන් 15 – 20 ක් පමණ අස්වැන්නක් ලබා දෙන බෝග විශේෂයකි.
S.L.S 44 ප්‍රභේදය 1997 වසරේ දී කෘෂිකාර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති අතර දින 75 කදී පමණ පළමු  අස්වැන්න  ලබා දේ. ඉතිරි ප්‍රභේද දින 90 – 100 කාලයේ දී පළමු අස්වැන්න ලබා දේ. එතැන් සිට සති 6 – 7 ක් පමණ කාලයක් තුල දින 3 – 4 කට වරක් බැගින් ළපටි කරල් අස්වනු ලෙස නෙලා ගත හැකිය.

ක්‍රිෂ්ණා නම් නව දඹල ප්‍රභේදය දින 50 – 55 ක් පමණ කාලයක් තුල අස්වනු ලබා දෙන දින 125 ක පමණ ආයුකාලයක් සහිත කෙටිකාලීන වගාවකි.

මෙසේ වාණිජමය වශයෙන් මෙන්ම ගෙවතු වගාවක් ලෙසද ඉතා පහසුවෙන් වගා කරගත හැකි මෙම බෝගය ඔබත් ඔබේ වගාවට එකතු කරගන්න. ඉන් නෙලාගන්න නැවුම් පෝෂ්‍යදායි අස්වැන්නෙන් ඔබේ ආහාර වේලත් රසවත් කරගන්න.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දුල්මිණී දේශප්‍රිය

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment