දැනුම සාමාන්‍ය

දහසකුත් චරිත පණ ගැන්වූ කැමරා කාචය වැසී ගොසිනි…

රඟපෑම ජීවිතය කරගත්තවුවන්ගේ චරිත වලට පණ ලැබෙන්නේ කැමරා කාචයෙනි. එවන් කැමරාවක් අත දරා , ජීවිතය රඟපෑමක් කර නොගනිමින් , රඟපෑම ජීවිතය කරගත්තවූවන් දහසකුත් පණ ගැන්වූ ඔහු…. වෙන අන් කිසිවෙකුත් නොව , සර්. ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. ‍ශ්‍රී ලාංකික සිනමාව ප්‍රථම වරට අන්තර්ජාතික තලයේ ලෙලවන්නට සමත් වූ ඔහු පසුගිය අප්‍රේල්  29 වනදා වසර 99ක් අායු වළඳා අප අතරින් නික්ම ගියේය. මේ සටහන ඔහු පිළිබඳවයි.

ශ්‍රී ලාංකික චිතපට 28කට වැඩි ගණනකට දායකත්වය ලබා දෙමින් චිතපට අධ‍්‍යක්‍ෂකවරයෙක්, තිර රචකයෙක් හා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන් ශ්‍රී ලාංකික අභිමානය ලොවට ගෙනහැර පෑ එතුමා “ශ්‍රී ලංකාභිමාන්‍ය ” යන ගරු නාමයෙන් හැඳින්වීම අතිශයෝක්තියක් නම් නොවේ. වර්‍ෂ 1919 අප්‍රේල් මස 5 වනදා දෙහිවල ප්‍රදෙශයේ මෙලොව එළිය දුටු එතුමාගේ පියා සර්. ජේම්ස්  ෆ‍්‍රැන්සිස් පීරිස් ද , මව ඒ.පී. විනිෆ්‍රඩ් ජයසූරිය මැතිණිය ද වූවාය. කුඩා කල පටන්ම ඉංග්‍රීසි පරිසරයක හැදී වැඩුනු මෙතුමා සිංහල භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ දැනුමක් ලබා ගත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව එතරම් ප්‍රිය නොකළ ,සැමවිටම සිංහල භාෂාව කථා කළ තම මිත්තණියගේ ආභාෂයෙනි. එකොළොස් වයසේදී තම පියාගෙන් ලැබුනු ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් විදේශීය චිත්‍රපටි මාලාවන් නැරඹීමට යොමු වූ කුඩා ජේම්ස් වයස 17දී  ” The times of Ceylon” පුවත්පතේ දිනපතා පුවත්පත් රචකයෙක් ලෙස ප්‍රථම වරට සේවය කළේ ය.

කෙසේ හෝ තම මවගේ ඇවෑමෙන් එංගලන්තය බලා යාමට අවස්ථාව ලබා ගත් ජේම්‍ස් , එහිදී හමුවූ ශ්‍රී ලාංකිකයෙකු වූ  Hereword Jansz  සමඟ එක් වී වර්‍ෂ 1949 දී   ” Soliloquy”  නම් කෙටි චිත්‍රපටය නිර්මාණය කළේය. ඒ සඳහා  “The best technical proficiency” යන තේමාව යටතේ සම්මානලාභියෙකු වීමට වාසනාවන්ත වූලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා , වර්‍ෂ 1952 දී නැවත ශ්‍රී ලංකාව බලා පැමිණියේය. එතැන් පටන් තම ජීවිතයේ ස්වර්ණමය අවධියට පා තැබූ එතුමා කැමරාව අතට ගත්තේ ශ්‍රී ලාංකික චිත්‍රපට ක්‍ෂේත්‍රය මෙන්ම ඒ ඔස්සේ චරිත රැසකටද අන්තර්ජාතික තලයේ නම් දරන්නට අවස්ථාව සලසමිනි.

කුඩා කල පටන් නාගරික , නවීන පරිසරයක හැදී වැඩුනද සර්.ලෙස්ටර් ජේම්ස්පීරිස් මහතා වඩාත් උත්සුක වූයේ ශ්‍රී ලාංකික ගැමි සංස්කෘතිය හා සරල බව ඉස්මතු වන්නා වූ සාමාන්‍ය ජීවිත අරගලයක යෙදී සිටින්නවුන් අලලා ගැට ගැසෙන කථා තේමාවන් කැමරා කාචයට කොටු කරගන්නටය. වර්‍ෂ 1956 එතුමා විසින් අධ්‍යක්‍ෂණය කළ ” රේඛාව ” චිත්‍රපටය එළිමහනේ රූගත කිරීම් කළ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය ලෙස නම් දරයි. 1946 – ගම්පෙරළිය , 1966 – දෙළොවක් අතර , 1968 – ගොලු හදවත . 1970 – නිධානය , 1983 – යුගාන්තය එතුමා විසින් අධ්‍යක්‍ෂණය කළ සහ දායකත්වතය දුන් විශිෂ්ඨ නිර්මාණ කීපයකි. මේ චිත්‍රපට ඔස්සේ ප්‍රේක්ෂකයන් රැසකගේ ආදරය හා ගෙෳරවයට පාත්‍ර වීමට එතුමා වාසනාවන්ත විය.

ශ්‍රි ලාංකික කලා ක්ෂේත්‍රය  වෙනුවෙන් සර්.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මහඟු සේවය උදෙසා සම්මාන රැසකින් පිදුම් ලැබීමට එතුමාට අවස්ථාව ලැබුණි. වර්‍ෂ 2000 දී ඉන්දියාවේ පැවති 31 වන අන්තර්ජාතික සිනමා උළෙලේදී “LIFETIME ACHIEVEMENT AWARD” යන තේමාව යටතේ පිදුම් ලැබූ එතුමා වර්‍ෂ 2007 දී   “THE HIGHEST CIVIL HONOUR OF SRI LANKA”  යන තේමාව යටතේ සම්මානයට පාත්‍ර විය.

කෙසේ වෙතත් තම ජීවිතයෙන් අඩකටත් වැඩි කාලයක් ශ්‍රී ලාංකික සිනමා ක්‍ෂේත්‍රය වෙනුවෙන් අතිමහත් සේවයක් ඉටු කළ සර්.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කැමරා කාචය අද වැසී ගොස් තිබුනද , එතුමා විසින් තිරයකට කොටු කරගත් රූපරාමු දසදහස් ගණනක් , මිනිස් සිත් කීයක් තුළ නම් ජීවමාන වී සිටින්නේද යන්න ඔබට..මට..පමණක් නොව , මෙලොව කාට නම් කිව හැකිද?

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සොනාලි හංසිකා

විද්‍යා පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment