Interview දැනුම

දෑස්මානයෙන් සඟවා රැල්ලෙන් සැරසූ සුන්දර තල්පේ

“කන්ද උඩරටයි පහත දුබරයි වටේම මුතුපර මුහුදයි…”

සැබැවින්ම මුතුපර මුහුද, මුතුධරණියට එක් කරන්නේ මහාර්ඝ වූ සුන්දරත්වයක්… ඩෙස්මන් ද සිල්වා මහතාගේ හඬින් ගැයෙන ඒ ගීතයෙන් ද  කියා පාන්නේ ලක්දිව වටා සුන්දරත්වය විදහා පාන ඒ වශීකෘත පෙරළියේ සුන්දරත්වය. 

සාගරය කියන්නෙ හරිම පුදුමාකාර, විස්මයජනක දේවල් ගොඩක් අපේ දෑස් මානයෙන් සඟවගෙන ඉන්න තැනක්. ඒ මොනදේ සඟවගත්තත් වෙරළක සුන්දරත්වය නම් අපි කාටත් විඳින්න පුළුවන්… 

ඉතින් අදත් අවසරයි මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදාගන්නට…

සතිගණනක් පුරාවට කඳු නැගලා, කෑම්පින් කරලා අපේ යාළුවොන්ට මහන්සිත් ඇතිනේ… අන්න ඒ නිසාම Colombo Beacon  රූ ධාරා අපේ කණ්ඩායම පස්වන පරිච්ඡේදයෙන්, අද ඔයාලව අරන් යන්නේ ලංකාවෙ තියෙන සුන්දත්වයෙන් අනූනම වෙරළ තීරයකට. 

එන්න, අපි ගිහිල්ලම බලමු… ඒ සුන්දරත්වය කොයි වගේ ද කියලා. 

ගාලු වෙරළ තීරය පහුකරගෙන මාතර පැත්තට එනකොට, හමුවෙන ලස්සනම ලස්සන Beach එකකට තමයි අද අපි මේ යන්නේ… ඒ තල්පේ Beach එකට. 

මේ ගමනෙ දි අහම්බෙන් මුණගැහුණු හරි අපූරු චරිතයක් ඉන්නවා. ඔහු වෘත්තියෙන් කිමිදුම්කරුවෙක්. අද රූ ධාරා අපත් එක්ක එකතු වෙන්නෙ ඒ සුවිශේෂී චරිතය. නමින් ඔහු  සුනිල් ශාන්ත මහත්මයා. 

මං එතුමන්වත් අපේ රූ ධාරා වෙනුවෙන් සාදරයෙන් පිළිගන්න ගමන්ම අපේ ඊළඟ ගමනාන්තය වෙනුවෙන් මුල පිරුවා. 

අද නම් වතුර ගොඩක් සීතලයි වගේ නේද මාමෙ?

ඔව්, අද වැස්ස දවස්නේ… ටිකක් විතර සීතල වැඩියි…

මාමා දක්ෂ කිමිදුම් ශිල්පියෙක්. මාමා  Diving කරන්න අරගෙන කොයි තරම් කාලයක් වගේ වෙනවද?

දැනට නම් අවුරුදු 30ක් විතර වෙනවා.

මාමාගෙ අත්දැකීම් එක්ක, මාමා ගොඩක් beach වල සුන්දරත්වය අත්විඳලා ඇති. මං මාමාගෙන් ඇහුවොත් අනිත් Beach වලට සාපේක්ෂව මේ තල්පේ Beach එකේ තියෙන සුවිශේෂත්වය කොයි වගේ ද කියලා…?

මේ Beach එක කිලෝමීටර් 4ක් විතර විහිදිලා ගියපු ස්වභාවික ගල්පරයකින් ආවරණය වෙලා තියෙන්නේ… විශේෂම දේ තමයි, මේ පරය පුරා හාරල තියෙන පොල්ලෙලි වලවල්.

ස්වභාවික ගල්පරය පුරා හාරපු මේ හතරැස් වලවල් මීට අවුරුදු ගානකට කලින් පාවිච්චි කරලා තියෙන්නේ සුදු පොල් කොහු පල් කරන්න. ලංකාවේ සුදු පොල්කොහු පල්කරපු එකම ස්ථානය. ඒත් අද වෙනකොට නම් තවදුරටත් පොල්ලෙලි වලක් නම් නෙවෙයි ඒවා.. අතිසුන්දර දිය තටාක බවට පත්වෙලා තියෙන්නෙ අද වෙද්දි නම්… 

මේ තටාක ගොඩක් ගැඹුරු ද මාමෙ?

මේවා පළලට ගැඹුරට පෙනුනට ලොකු පළලක් නෑ. හතර පස් දෙනෙකුට බැහැල එකපාර පීනන්න එහෙමත් අමාරුයි ටිකක්… ඒත් එක්කෙනුකුට නම් පුළුවන්… 

ගැඹුර ගැන කිව්වොත්, සාමාන්‍ය මනුස්සයෙකුගෙ කර ප්‍රමාණයට තරම් ගැඹුරක් තමයි තියෙන්නේ, ඒ කියන්නෙ අඩි 4ක් 5ක් වගේ…

මේ තටාක කොයිතරම් කාලයක් පරණ ද?

අපේ සීයගෙ සීයලගෙ කාලෙටත් වඩා පරණයි, මිටි කටු වලින් තමයි මේ වලවල් හාරල තියෙන්නේ… පරම්පරා හතරක විතර කාලයක් වගේ… 

මාමා කිව්ව විදිහට මේ තටාක අවුරුදු ගානක් පැරණියි. එච්චර පරණ මේ තටාකවල නාන එක ටිකක් අවදානම් සහගත නැද්ද…?

අවදානමක් නැතුවමත් නෙවෙයි, මොකද රැල්ල සැර කාලෙට, ඒ කියන්නෙ වාරකන් කාලයට නම් මේ තටාක සම්පූර්ණයෙන්ම වගේ රැල්ලෙන්ම වැහිලා යනවා. මේ තැන විනෝද වෙන්න ගිහින් සංචාරකයන් බොහෝදෙනෙකුට තමන්ගෙ ජීවිතවලින් පවා සමුගන්න වෙලා තියෙනවා. 

මේ තැනට විනෝද වෙන්න යන කෙනෙකුට තව සුන්දර පිරිසක් හමුවෙනවා… සොබාදහමේ හරි අපූරු සාමාජිකයින් පිරිසක් වෙන මෙයාලා, කොච්චර සුන්දර ද කිව්වොත් ඇනුනොත් නම් අහසෙ තරු  දවල්ටත් පේන තරම්… එයාලා නමින් ‘ඉකිරි’…

මාමෙ අපි මේ ඉකිරි ගැනත් පොඩ්ඩක් කතා කරමු ද? මෙයාලා ගොඩක් භයානක ද?

ඇත්තටම උන් පස්සෙන් පන්නගෙන ඇවිත් නම් අනින්නෙ නෑ… අපි ගල් පරය උඩ ඇවිදිද්දි පෑගුනොත් තමයි ඇනෙන්නේ… එයාලට අමතරව තව පුංචි පුංචි සත්තුන්ගෙ රජ දහනක් මේ තටාක…

මේකෙ විනෝදවෙන්න යන අය වගේම ඇවිදින්න යන අයත් එයාල ගැනත් ටිකක් විමසිල්ලෙන් හිටියොත් තමන්ට හොඳයි…

මේ හරියෙ, ඉකිරි විශේෂ කීයක් වගේ ඉන්නව ද මාමෙ…?

ඉකිරි වර්ග දහයක් විතර ඉන්නවා. මෝල් ඉකිරි, විදින ඉකිරි (long spined urchin) තමයි වැඩියෙන් ඉන්නේ…

මාමා අවුරුද්දෙ වැඩි මාස ගණනක් ඉන්නෙ මේ beach එකේනෙ. මං මාමාගෙන් ඇහුවොත් මේ Beach එකේ විනෝදවෙන්න අවුරුද්දේ හොඳම කාලය කොයි කාලෙ ද කියලා…?

නොවෙම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කාලය තමයි හොඳම… ඒ ඇයිද කිව්වොත්, මේ පරය ඒ කාලෙට සම්පූර්ණයෙන්ම වගේ මතුවෙනවා… ඉර අව්ව හොඳින්ම වැටෙන කාලයක් නිසා මේ තියෙන සේරම පාසි, ඇල්ගී ඔක්කොම මැරෙනවා…

මේ තරම් සුන්දර තැනක් රැකගන්න රජයෙන් උදව් එහෙම ලැබෙනවා ද..?

එහෙම රජයෙන් උදව්වක් නම් ලැබෙන්නේ නෑ… දවසින් දවස විනාශ වෙනව ඇරෙන්න මේ ගැන වගකිව යුත්තන්ටත් මග ඇරිලා… විනාශ වෙනව කියනවාට වඩා විනාශ කරනවා කිව්වොත් හරි… 

අපි පොඩි කාලේ මේ වෙරළ තාප්ප වලින්වත් ගල්බැමි වලින්වත් වැහිලා තිබුණෙ නෑ… දැන් හෝටල් හදලා, තාප්ප ගහල නිසා, රැල්ල සැර වැඩි කාලෙට වෙරළ හෝදගෙනම යනවා… අපේම අය තමයි මේවට වග උත්තරකාරයන්.

මේ Beach එකත් එක්ක මාමා දැන් අවුරුදු ගානක්ම ගණුදෙනු කරනවනේ… මෙච්චර සුන්දර පරිසරයක මෙච්චර ලොකු කාලයක් ඉද්දි විශේෂ අත්දැකීම් නැති වෙන්න නම් බෑනෙ. ඒ අවුරුදු ගානටම මාමාගෙ මතකයේ රැඳුණු ඒ වගේ අත්දැකීම් මොනා ද..?.

මැරෙනකන්ම අමතක නොවෙන අත්දැකීම් ගොඩක් තියෙනවා… මේ Beach එකේ නාන්න ගිහින් ගිලිලා මැරෙන්න ගියපු විදේශිකයෝ හතර දෙනෙක්ව මන් බේරගෙන තියෙනවා. ඒක තමා සුවිශේෂීම අත්දැකීම, මේ Beach එකත් එක්ක මං ලබපු. 

මේ ස්වභාවික ගල්පරය නිසා කෙනෙක්ව ඈතට ගහගෙන යන්න තියෙන අවස්ථාව ටිකක් අඩුයි නේද…? එහෙම තිබිලත් ඒ වගේ අනතුරු බහුලව වෙනවා ද?

ඔව්… රැල්ල සැර වැඩි කාලෙට, ඒ කියන්නෙ වාරකන් කාලයෙදි තමයි මේ අත්දැකීම් වලට වැඩිපුර මුහුණ දෙන්නේ… දැන් මේ ගල්පරය කොටස් දෙකක් තියෙනවනේ… අන්න ඒ කොටස් දෙක වෙන්වෙන තැන මුහුදට විවෘතයි. ඉතින් අන්න එතන ගැන එන අය විශේෂයෙන්ම විමසිල්ලෙන් ඉන්න ඕන.

දැන් ඉතින් තැන ගැන විස්තර කිව්වට, යන්නෙ කොහොමද කියල කියන්න අමතක වුනානේ… තියෙන ලස්සනට ඒකත් කියන්න අමතක වෙනව තවටිකෙන්. කොහොම ද මාමෙ කාට හරි එන කෙනෙක්ට මේ තැන හොයා ගන්න පුලුවන්..?

මාතර පැත්තෙ ඉදන් එන කෙනෙක් වගේම, ගාල්ල පැත්තෙ ඉදන් එන කෙනෙක්නම්, තල්පේ පැරගන් හෝටලය ළඟින් බැහැලා මීටර් පනහක වගේ දුරක් තමයි ඇවිදගෙන එන්න තියෙන්නේ… ඒ වගේම කෝච්චියේ එන කෙනෙක් නම්, එයාට පුළුවන් තල්පෙ දුම්රිය ස්ථානයෙන් බැහැලා මීටර් සීයක් වගේ දුරක් ඇවිදගෙන යන්න… වෙරළට යන ගොඩක් පාරවල් පතොක් වැටකෙයියා ගස් වලින් පිරිලා තියෙන්නේ… ළඟ පාත ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් පාර කියනවා…

ඉතින් යාළුවනේ අන්තිමටම ඔයාලට මතක් කරන්න තියෙන්නේ මේ සුන්දර ස්ථානයේ ලස්සන විඳිනවා වගේම ඒ සුන්දරත්වය රැකගන්නත් ඔයාලැ අමතක කරන්න එපා කියලා… ඔයාල ගෙනියන පොලිතින් ප්ලාස්ටික් වගේ විසිකරන දේවල් මේ සුන්දරත්වයට හරස් වෙනව කියල මතකයේ තදින්ම තියාගන්න… ඒ වගේම විනෝද වෙද්දි තමන්ගෙ ආරක්ෂාව අංක එක කියලත් අනිවාර්යයෙන්ම මතකයේ තියාගන්න…

ඉතින් නොදැනිම ගමනේ අවසානයටත් ඇවිත්… මාමාටත් සමුදෙන ගමන්ම මං ඔයාලටත් බැස යන හිරුගේ පහසින් දිලෙන වැල්ලේ හාදු දෙන්න රැල්ල අතරින් ඇවිදගෙන ගියේ ලස්සන දසුන් කැමරා කාච අතරෙ රඳව ගන්න…  

ඒත් මේ අවසානය නම් නෙවෙයි… ඊළඟ සතියෙත් අපි මුණගැහෙනවා තවත් ලස්සනම ලස්සන තැනකදි රැල්ල ධාරාත් එක්කම… එතෙක් රැඳී සිටින්න අප සමඟින්…  ඉතින් අවසරයි අදට සමු ගන්න…

මේ මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන, Colombo Beacon අපේ රූ ධාරා… 

Photo credit  : Ranmuni Nawoda
Photo edit     : Chathura Bandara
Design By      : Nisal Vimukthi

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්මුනි නවෝදා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment