කඳු පන්ති සිසාරා මීදුම් බිඳිමින් එන සිසිල් සුළං ගත දැවටෙද්දී හදවතට දැනුණේ අමුතුම සිසිලසක්… ඇත්තටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා මේ ලක්ද්වීපය විරුධාවලි ලැබුවේ නිකන්ම නෙවෙයි කියලා මට සිතුනේ ඒ වෙලාවේ. අරුම පුදුම සුන්දරත්වයක්. මා සිටින්නේ කොහිදැයි පවා සිතාගත නොහැකි චමත්කාරයක්.
සතියක විරාමයක් ඉවර වෙලා, අදත් රූ ධාරා අපි සූදානම් වෙලා ඉන්නේ ඔයාලව ලස්සනම ලස්සන තැන් කීපයක් බලන්න එක්කන් යන්න.
මේ රූ ධාරා 17 වන පරිච්ඡේදය…
අද අපි ඔයාලව අරගෙන යන්නේ සුන්දරත්වයෙන් අනූන ‘ඇල්ල’ ප්‍රදේශයට.
එන්න අපි ගිහිල්ලම බලමු, ඒ සුන්දරත්වය කෙබඳු ද කියලා.
අද අපේ ගමනට ඒ පළාත ගැන හොඳටම දන්න අක්කා කෙනෙක්ව සම්බන්ධ කරගන්නවා. වෘත්තියෙන් කුඩා ප්‍රමාණයේ වෙළඳාමක් ඇල්ල ප්‍රදේශයේම පවත්වාගෙන යන ඇය මේ සංචාරක පාරාදීසය ගැන නොදන්නා දෙයක් නැති තරම්. නමින් ඇය උදේනි. මාව ගන්න ඇය බදුල්ල දුම්රියපොළට පැමිණ සිටියා. රූ ධාරා වෙනුවෙන් උදේනි අක්කව සාදරයෙන් පිළිගන්න අමතක කළේ නැහැ. ඒ දුම්රිය අත්දැකීම විනෝදජක එකක් වුණා.
ඒ යන අතරමග හමුවූ අරුම පුදුම දෙයක් තමා “දෙමෝදර රේල් වේ ලූප්” කියන්නේ.
අක්කේ මේ දෙමෝදර රේල් වේ ලූප් එක බලන්නම ඕනි නිසාම ගොඩාක් මිනිස්සු කෝච්චියේ එනවා නේද?
ඔව් නංගි, කොළඹ – බදුල්ල රේල් පාරේ කෙලවරක මේ ලූප් එක තිබ්බත්, ගොඩාක් මිනිස්සු අතරමගදී හරි නැගලා කෝච්චියේ යන්න එන්නේ මේ පුදුම උපදවන දෙමෝදර ලූප් එක බලන්න.
ලංකා දුම්රිය සිතියමේම මේ වගේ පුදුම තැනක් තියෙනවා කියන්නේ මෙතැන විතරයි නේද?
ඔව් නංගි, මෙහෙමයි, අද වෙද්දි ලංකාවේ විතරක් නෙවෙයි, පිටරට සුද්දෝ පවා මේ ගැන අපිට වඩා හොඳට දන්නවා. ඇල්ලට එන ගොඩාක් සුද්දෝ එහෙම, කෝච්චියේ බදුල්ලට එනවා මේ ලූප් එක බලන්න.
මට නම් මේක හිතාගන්නවත් බැරි පුදුමයක්
ගොඩාක් අය මේක විශ්වකර්මයක් කියලා තමා කියන්නේ. සුද්දා රට පාලනය කරපු කාලේ පවා මේක දුලභ ගණයේම කෝච්චි පාර වෙලා තියෙනවා කියලා අපේ අම්ම්ලා මට කියලා තියනවා. බලන්නම ඕනි දෙයක් මේක. අපි මේ පුංචි රටේ දැකපු නැති තැන් ගොඩාක් තියෙනවා නංගි. මිනිස්සුන්ගේ කාර්‍යබහුල ජීවිත එක්ක මේවා මගහැරෙනවා.
මේක හැදුන හැටි අක්කා දන්නවද?
හෙන්රි වෝඩ් කියලා ආණ්ඩුකාරවරයෙක්ලු ලංකාවේ කෝච්චි පාරවල් හදන්න පටන් ගත්තා කියන්නේ. ඒ මහත්තයට පස්සෙ ආපු ගොඩාක් මහත්වරු බදුල්ල – කොළඹ කෝච්චි පාර හදන්න ගොඩාක් දුක් වින්දලු.
ඒ කාලේ අද වගේ මැෂින් එහෙම තිබ්බේ නෑලු නේ නංගි. සිල්පර කොටන්, බර යකඩ පීළි එහෙම මිනිස්සුම තමා එහාට මෙහාට ඇදලා තියෙන්නේ. අද වගේ නෙවෙයි නේ, ඒ මිනිස්සුන්ට හොඳ හයිය හත්තිය තිබිලා තියෙනවා ඉතින්. අපේ සීයා තමා මට මේවා කිව්වේ.
සුද්දෝ ඕවා කළාට කුලී වැඩ බැලමෙහෙවර කරලා තියෙන්නේ අපේම රටේ සිංහලයෝලු නේ. පනමක දෙකක බදු ගෙවාගන්න බැරි වුණාම කුලී වැඩට අරන් ආපු අහිංසක මිනිස්සු.
ඔන්න ඔහොම කොළඹ ඉඳලා කිලෝමීටර් 270 ක් වගේ මගෙ මතකෙ හැටියට, එද්දී ඉන්ජිනේරුවරුන්ට ඇස් උඩ ගිහින් තියෙන්නේ.
මට තව ටිකක් පැහැදිලි කළොත්?
මෙහෙමයි, බාධකයක් කියන්නේ ලොකු කඳු බෑවුමක්ලු. මේ පැත්තේ කොහොමත් කඳුනේ තියෙන්නේ. තැනිතලා හොයාගන්නම නැති තරම් නේ. ඉතින් මේ බෑවුමෙන් කෝච්චිය ගන්න බෑනේ. එතකොට කෝච්චියට එන්න වෙන්නේ තව කිලෝමීටර් 4 ක විතර රවුමක් ගහලලු.
මේ නිර්මාණය කරන්න මුල් වුණු අදහස ගැනත් මතක් කළොත්?
දැන් මෙතැනදී හිර වුනාලුනේ මේක හදාගන්නේ කොහොමද කියලා. සුද්දා දැන් කල්පනා කරකර ඉන්නවලු මොකක්ද මේකට කරන්නේ කියලා. එතකොට සුද්දා දකිනවලු හරක් බලාගන්න සීයා කෙනෙක්, ගොපල්ලෙක් ඔලුවෙ සුම්බරේ බඳිනවා.
එතකොටම අදහසක් ආවලු මේ සුම්බරේ බඳින විදියට, කන්ද වටේ කෝච්චිය යන විදියට පාර හදන එක තමා හොඳම කියලා.
කතාවෙන් කතාව අපි කොහොම හරි ඇල්ල දුම්රිය පොළටම පැමිණ සිටියා.
“ආරුක්කු නවයේ පාලම” එහෙමත් නැත්නම් “නයින් ආර්ච්” සංචාරක ආකර්ෂණය නොමදවම දිනාගත් ස්ථානයක්.
අක්කේ, මෙතැන ඉඳලා කොහෙටද අපි යන්නේ?
කෝච්චි පාර දිගේ දිගටම යමු නංගි.
ගොඩාක් දුර පයින් යන්න ඕනිද? අක්කේ?
ඇයි නංගිට මහන්සිද? හැබැයි කිලෝමීටර් 1 ½ ක් වගේ පයින් යන්න තියෙනවා.
කෝච්චි පාර දිගේ ඇවිදන් ගිය අත්දැකීමත් මහ පුදුමාකාර අත්දැකීමක්.
සුළු මොහොතකින් අපි අපේ ගමනාන්තයට ළඟා වුණා.
අක්කේ, අවුරුද්දේ හැම කාලෙකම වගේ මේ විදිහටම සෙනඟ ඉන්නවද මේ පැත්තෙ?
ඔව් නංගි, දැන් හරි ප්‍රසිද්ධයි. ලංකාවේ වගේම පිටරට මිනිස්සු පවා සෑහෙන්න එනවා හැම කාලෙකම වගේ.
දෙමෝදර ලූප් එක ගැන වගේම මේ නයින් ආච් ගැනත් ඔයා විස්තර දන්නවා ඇති නේද හොඳට?
ඔව් ඉතින් අපි මේ පැත්තෙම මිනිස්සුනේ… අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලාගෙන්ම දැනගෙන මේ දිහාව ගැන නොදන්න දෙයක් නැති තරම් ඉතින්.
මෙතැන විශේෂත්වය ගැන පොඩ්ඩක් කිව්වොත්?
මම ඔයාට කලිනුත් කිව්වා වගේ මේ බදුල්ල කෝච්චි පාර හදන්න ගොඩාක් අමාරු වෙලා තියෙනවා. හැබැයි, අපේ සීයා කියලා තියෙනවා මට මේ කෝච්චි පාර හදන්න ඔක්කොම බඩු ගෙනාවේ බ්‍රිතාන්‍යයෙන් කියලා.
මේ පාලම හදන්න කම්බි අනම්මනම් කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. තනිකරම කොන්ක්‍රීට් අච්චු ගල් තමා පාවිච්චි කරලා තියෙන්නේ.
මේ පාලමේ උස පළල ගැන එහෙම ඔයාට අදහසක් තියෙනවාද?
මගෙ මතකේ හැටියට, උස අඩි 300 ක් පළල අඩි 25 ක් වගේ වෙනවා. ආරුක්කු 02 ක් අතර දුරත් අඩි 30 ක් වගේ වෙනවා ඇති.
වංගුවක් එක්කම නේද මේක නිර්මාණය වෙලා තියෙන්නේ?
ඔව්. පාලමයි, කෝච්චි පාරයි එකම දශම ගාණක ආනතියකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
පාලම නිර්මාණය වෙලා තියෙන හැටි පොඩ්ඩක් කීවොත්
කඳු දෙකක්නේ තියෙන්නේ නංගි මෙතැන. ඒ අතර තියෙන මඩ ගොහොරුවක තමා පාලම හදලා තියෙන්නේ. ලොකු කුළුණු 10 ක් ආධාර කරගෙන තමා පාලම හදලා තියෙන්නේ.
ආහ්! ඒක විතරක් නෙවෙයි නංගි පොඩි කතාවක් තියෙනවා මේ පාලම හදද්දී වුණ සිද්ධියක් ගැන.
ඒ මොකක්ද අක්කේ ඒ?
මේක හදන්න දායක වුණ ඉන්ජිනේරුවා, මොකක්ද නම… අහ්, “චාන්ලී”, එතුමා පාලම හදද්දී පලංචියෙන් වැටිලා මිය ගිහින් තියෙනවා. බදුල්ලේ ‘ශූ මාර්ක්’ දේවාස්ථානයේ එතුමාගේ දේහය ආදාහනය කළා කියලත් කියනවා.
මේ තරම් වටිනා දෙයක් රැකගන්න රජයෙන් ලැබෙන දායකත්වය ගැන කතා කළොත්?
මෙහෙමයි නංගි, රජයෙන් දායකත්වයක් ලැබෙන්නේ නෑ කියන්නම බෑ. හැබැයි ලැබෙන දායකත්වය මදි කියලයි මට නම් හිතෙන්නේ.
කතාවෙන් කතාව හොඳටම දවල් වුණා නේද? අක්කේ අපි මොනවාහරි කාලා ඉමු. ඒ ළඟම තිබුණු බංකුවක වාඩි වූ අපි කෙටි ආහාර වේලක් ගත්තා.
ඉතින් මගෙ යාලුවනේ, මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මේ වගේ සුන්දර ස්ථානයකට ආවම සුන්දරවත්වය නරඹන්න ඒත් සුන්දරත්වයට හානි වන දේවල් කරලා යන්නෙපා. අපි ඊළඟ පරම්පරා ගණනකට මේ දේවල් ඉතිරි කරලා යන්න ඕනි.
ඉතින් නොදැනීම අපේ රූ ධාරා 17 වන පරිච්ඡේදයට සමුදෙන්න වෙලාව ඇවිත්.
නමුත් මේ අවසානයම නොවේ උදේනි අක්කාත්, තව විශේෂ කෙනෙකුත් එකතු කරගනිමින් ඊළඟ පරිච්ඡේදයෙන් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
විශේෂ ස්තූතිය:
- උදේනි වත්සලා ගජනායක
සේයා රූ:
- කෝකිලා සනෝජි
- උදේනි වත්සලා ගජනායක
- ලක්ෂාන් ජනිත් අනුරාධ
- සචිනි දිසානායක
Design by : Pathum Lakshan
Images :
- https://bit.ly/2YUZJak
- https://bit.ly/2XnU7EE
- https://bit.ly/3BOVjQs
- https://bit.ly/3pcaj7d
- https://bit.ly/3n0oxWc
- https://bit.ly/3FTftuU
- https://bit.ly/3lVR8wN
- https://bit.ly/3DLCWwc
- https://bit.ly/3FXI6qL
- https://bit.ly/3DPtUOY
- https://bit.ly/30u9WL3
- https://bit.ly/2XkVxQh
- https://bit.ly/3jbmrBF
- https://bit.ly/2XixdhM
Leave a Comment