Interview දැනුම

දෑස් මානයෙන් සැඟවුණු විල්ලුව

ගවරවිල

රූ ධාරා සොබා චාරිකාවෙන් හරියටම සතියක විරාමයකට පස්සෙ ඔන්න අපි ආයෙමත් ඔබ හමුවට ආවේ තවත් සුන්දර චාරිකාවක වතගොත මතකාවර්ජනය කරන්න. ඉතින්, අද අපේ නවාතැන වෙන්නේ සුන්දර ගවරවිලතැන්න. නම නම් එච්චර හුරු පුරුදු නැහැ නේද? සමහරු නම් එහෙම තැනක් ගැන අහලවත් නැතුව ඇති. එහෙනම්… 
එකතු වෙන්න අපිත් එක්ක… 
මේ  සොඳුරු ඉසව්වේ නිම් වළලු සොයා යන අපේ නවාතැනේ රූ සිරි විඳින්න…

අද අපේ සොබා චාරිකාවත් සමඟින් අපිත් එක්ක නියමුවන් දෙදෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ අපේම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසරේ සිය අධ්‍යාපන කටයුතු හදාරන බුද්ධි ඔෂද අයියා සහ රන්දික සඳපා අයියා. ඉතින් ඒ අයියලා දෙන්නයි එයාලාගෙ තවත් යාළුවො පිරිසකුයි එකතු වෙලා ගොඩක් කාලෙකට කලින් ගිය ගවරවිලතැන්න චාරිකාව ගැන තමයි, අද අපි ඔබ වෙනුවෙන් මේ මතක පිටු පෙරළන්න හදන්නෙ. 

කතා බහට පෙරාතුව කණගාටුවෙන් වුනත් විශේෂයෙන්ම කියන්න ඕනි ඔබට මේ අත්දැකීම් විඳගන්න අවස්ථාවක් බොහෝදුරට නොලැබෙන බව. ඒ ඇයි කියලා අපි අපේ කතා බහ අතරතුරේදිම අයියලාගෙන් අහලා දැන ගමු. 

මේ මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන රූ ධාරා ගවරවිල ගමනාන්තය යි…

අයියලා දෙන්නවම ආදරයෙන් පිළිගන්නවා අපේ රූ ධාරා අලුත්ම අත්දැකීමට. ඉතින් අයියෙ මං මුලින්ම කැමතියි අයියලා මේ trip එක plan කරපු තැන ඉඳලම විස්තර කියනව නම්…

සඳපා අයියා: ම්ම්… ඒක ගැන කියනව නම් මෙහෙමයි නංගී. අපේ සෙට් එක සාමාන්‍යයෙන් වැකේශන් එකට trip එකක් organize කරනව කොහේ හරි ඇවිදින්න යන්න. අනික අපි ගොඩක් වෙලාවට ලොකුවට ප්ලෑන් කරනවා අඩුයි. Place එකක් හොයාගත්තොත් දිනයක් දාගෙන යනවා. සෙට් එකේ හැමෝම වගේ යනවා. අනික විශේෂම දේ තමා අපිත් එක්ක ගිය දුමිඳු, එයාට උණක් තියෙනවා සිරිපාද කන්ද ඈතට පේන කඳු වලට නැගල ඒ view එක capture කරගන්න. ඉතින් ඒ දේවල් ඔක්කොටම සෙට් වෙන place එකක් වුනා මේක. ඒ නිසා අපේ එක්සෑම් ඉවර වෙලා සෙට් කරගත්තා මේ ගමන.

මං කැමතියි දැන ගන්න මේ ගවරවිලතැන්න ගැන අයියලා දැනගත්තෙ කොහොමද කියන එක. මොකද මේ නමවත් අපිට වැඩිය ඇහෙන්නෙ නැති නමක් නෙ…

සඳපා  අයියා: ඔව්. ඇත්තටම අපි දෙන්නත් මේ ගමන යන්න කලින් විශේෂයෙන් මේ තැන ගැන දැනගෙන හිටියෙ නෑ නංගී. අපිත් එක්ක ගිය දුමිඳුගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් තමා අපි මේ place එක ගැන දැනගත්තෙ. ඒ අයියා කලින් ගිහින් තිබ්බ ප්ලේස් එකක්. ඊටපස්සෙ අපිත් පොඩ්ඩක් search කරල විස්තර හොයා ගත්තා. 

 එහෙම හොයාගත්ත විශේෂ විස්තර එහෙම තියෙනවා ද?

සඳපා අයියා: ඔව්. ඒ තැන්නට එහෙම නමක් වැටිලා තියෙන්නෙ ඉස්සර ගවරා කියන සත්ත්වයෙක් හිටිය කියල විශ්වාසයක් තියෙනව ලු. අනික අපේ ගමනාන්තය හරියට විල්ලුවක් වගේ. තණකොළ පිරුණු තණබිමක්. ඒ නිසා වෙන්න ඇති මේකට ගවරවිලතැන්න කියල නම වැටෙන්න ඇත්තෙ. 

හරි අයියෙ. අපි දැන් මේ අපූරු නම තියෙන තැනට අයියලා ගිය trip එක යමු නේ ද? .

බුද්ධි අයියා: අපේ සෙට් එක vacation එකේ ගිය නිසා කට්ටියක් කොළඹින් ගියා. අනිත් කට්ටිය බදුල්ලෙන් ආවා. අපි ගියේ කොළඹින්. අපි trip එක යන්න ප්ලෑන් කරගෙන හිටියෙ night mail එකේ. ඒත් මම කලින් දවසෙත් camping site එකක හිටියෙ. එතන ඉඳන් කොළඹට එද්දි මට පරක්කු වුනා. අපේ  සෙට් එක night mail එකෙ ගියා. මං හැටන් බස් එකක නැග්ගා. 

සඳපා අයියා: ඔව් බුද්ධි එද්දි තව පරක්කු වෙනව කිව්ව නිසා අපි night mail එකේ නැග්ගා. ඒ දවස් වල සිරිපා වන්දනා කරන වාරෙනෙ. අපිට කොටුවෙන් සිරිපාද වන්දනාවට දාපු හැටන් ස්පෙශල් සර්විස් එක සෙට් වුනා. රෑ 7.30ට වගේ තමා කොටුවෙන් අපි පිටත් වුනේ. මම, උදේන,  සුධිල් තමා කොළඹින් ගියේ. බදුල්ලෙන්  ආපු සෙට් එක ආවේ එහෙන් රෑ 8 night mail එකෙන්. 

 මට තව අමතර ප්‍රශ්නයක් තියෙනවා අයියෙ. දැන් අයියලා කෝච්චියෙ වගේම බස් එකෙත් ගියා. මේ ගමනට සුදුසුම පහසුම විදිය කොයිකද ඇහුවොත්? 

බුද්ධි අයියා: මං නම් හිතන්නෙ කෝච්චියෙ තමා හොඳ. මොකද බස් එක ඉක්මනට ආවාට පුදුම වේගෙකින් එන්නේ. ඒක ඇඟට ටිකක් අමාරුයි. 

 හරි අයියලා දැන් හැටන්වලට ආවානෙ… අයියලා කට්ටියම හැටන් වලදී එකතු වෙද්දී වෙලාව එතකොට කීයට වගේ ද?

බුද්ධි අයියා: මම බස් එකේනෙ ගියේ. මම මෙයාලට කලින් ගියා. මම නල්ලතන්නිය හන්දියේ හිටියෙ. පාන්දර 3ට වගේ. බදුල්ලෙන් ආපු සෙට් එකයි කොළඹින් ආපු සෙට් එකයි ඒ දෙගොල්ලො හැටන් වලට ඇවිත් මං හිටපු තැනට ආවා. 

ඊට පස්සෙ???

බුද්ධි අයියා: පස්සෙ අපි බස් ස්ටෑන්ඩ් එකේ හිටියා අපේ hike එකට යන්න තියෙන ඊළඟ බස් එක එනකම්. Gartmore යන බස් එක.  ඒ වෙලාවෙ පාන්දර නිසා මාර සීතලක් තිබ්බෙ. අපි කට්ටිය රෑටත් කාලා නෙවෙයි හිටියෙ. ඉතින් සීතලත් එක්ක බඩගින්නත් වැඩි. අපි කට්ටිය කඩයක් හොයාගෙන ඇවිද්දා ඒ කිට්ටුව. ඒත් කඩයක් හොයාගන්න වුනේ නෑ. පස්සෙ අපි ආයිමත් බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් හිටියා. සීතල දරාගන්න අමාරු නිසා එතන තිබ්බ පෝස්ටර් ටිකක් ගලවල අපි ගිනිමැලයක් ගැහුවා. ටිකකින් එතන එහාට වෙලා හිටිය වයසක අන්කල් කෙනෙකුත් අපි කිට්ටුවට ආවා. ටිකක් එයා එක්ක කතා කරහම තමා දැනගන්න ලැබුණෙ එයා තමා අපේ මුත්තයියා හොස්ටල් එකේ සෙකියුරිටි අන්කල් කියල. අපේ  බස් එක එනකම් අපි අන්කල් එක්ක කයියක් දාගෙන හිටිය. අපිට කියල තිබ්බෙ පාන්දර 5ට හරි 5.30ට හරි නල්ලතන්නියෙන් බස් එක අදිනවා කියලා. ඒ උනාට එදා බස් එක තිබ්බෙ නැහැ. ටිකක් එළිය වැටීගෙන එද්දි අන්කලුත් අපිට සමුදීලා ගියා. 

සඳපා අයියා: අපි එතන ගොඩ වෙලාවක ඉඳලා ඉන්න නිසා ද කොහෙද සී.ටී.බී. බස් ස්ටෑන්ඩ් එකේ වැඩ කරන දෙන්නෙක් අපිට කතා කරලා කොහෙටද යන්නේ ඇහුවා. එදා ඒ බස් එක නැහැ කියලා අපිව වෙන බස් එකකට නැග්ගුවා.

අයියලා දැන් ඊළඟ බස් එකේ කොච්චර වෙලාවක් වගේ ගියාද? 

බුද්ධි අයියා: එහෙම ගොඩ වෙලාවක් නැහැ නංගි. විනාඩි 20ක් වගේ තමා ගියේ අපිට. අපි පොඩි කඩයක් ගාවින් තමයි බැස්සේ. එතන මාර view එකක්. ලස්සනට ඉර පායලා. වටේට තේ වතු. මාරම ලස්සනයි. 

සඳපා අයියා: ඔව් බස් එකෙන් බැස්සම මාර ගති වටේම. අපි පට්ට බඩගින්නකනෙ හිටියෙ. එතන කඩේට ගියා කන්න. ඒත් කන්න දෙයක් තිබ්බෙ නැහැ. පස්සෙ අපි විස්කිරිඤ්ඤා කෑවා. එතනට ටිකකින් චූන් පාන් එකක් ආවා. ඒකෙන් අපි මාළු පානුයි රෑට කන්න පාන් ගෙඩි 4ක් 5කුයි ගත්තා.

බුද්ධි අයියා: අර පොඩි කඩෙන් අපි නූඩ්ල්ස් පැකට් හයකුත් ගත්තා. 

දැන් අයියලා අයියලගෙ hike එක පටන් ගන්න තැනට ඇවිත් ද මේ වෙද්දි ඉන්නෙ?

සඳපා අයියා: නෑ නංගී. තවම නෑ. මොකද අපි ආවේ වෙන බස් එකකනෙ. එයාල අපිව කිට්ටුවෙන් බස්සල ගියේ. අපි ඉතුරු ටික යන්න ඕන. අපි කට්ටිය ඒ දුර හිමින් හිමින් පයින්ම ගියා. මොකද ඒ පරිසරයත් හරිම ලස්සනයි. 

මේ වගේ ඇවිදින්නත් අපිට නිතරම චාන්ස් එන්නේ නෑනේ. සෙට් එකත් එක්ක කයියක් ගහගෙන ඉස්සරහට ගියා. ඔහොම යද්දී අපිට අර උදේ බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බෙ නැති බස් එක හම්බුනා. අපි ඒකෙ ගිහින් අපේ trip එකේ  අන්තිම බස් හෝල්ට් එකෙන් බැහැගත්තා. එතනත් තව එක කඩයක් තිබ්බා. අපි ඒකෙන් රෝල්ස් කාලා තේ බිව්වා. 

අයියලා දැන් කිව්ව විදියට හැටන් වලිනුත් බැහැල තව බස් දෙකක වගේ ගියා. වෙහෙසකර ගමනක්. එහෙම නේද?

බුද්ධි අයියා: ඔව් ටිකක් මහන්සියි. ඒත් මේක trip එකක්නෙ. කට්ට කාලා හරි යන්නයි උවමනාව තිබ්බෙ. මොකද මේකෙ photos දැක්කම යන්න තියෙන ආසාව වැඩි වෙනවා. කොහොමත් අපි කවුරුත් කැමතිනෙ සීතල පැති වල ඇවිදින්න. 

 අයියලා කාලා බීලා ඉවර වෙලා ඊටපස්සෙ?

බුද්ධි අයියා: අපි කඩේ ඉද්දි ඒ කඩේ මුදලාලි එක්ක පොඩ්ඩක් කතා කරා අපේ hike එක ගැන අහගන්න. මොකද අපි camping කරන්න බලාගෙනනෙ ආවේ. යන්න එන්න වෙලාව ගැන එහෙම. අපිට එයාලා කිව්වෙ පැය එකහමාරෙන් වගේ යන්න පුළුවන් කියල. ඒ නිසා අපි පහුවදා උදේට කෑමත් ඕඩර් කරල අතරමගදි කන්න බිස්කට් ටිකකුත් අරගෙන ඊටපස්සෙ කෙලින්ම ගියේ මාඋස්සාකැලේ ජලාශය බලන්න. ඒ කිට්ටුවමයි තිබ්බෙ. තව මරේ ඇල්ලයි ගාට්මෝර් දියඇල්ලෙ පහළ කෙළවරයි එහෙමත් බැලුවා. ජලාශයට දියඇළි හතරක්  විතර වැටෙනවලු. අපිට එතනට පේන්නෙ නම් මේ දියඇළි දෙක විතරයි.

මාඋස්සාකැලේ ජලාශයට වැටෙන එක් දියඇල්ලක්

අපිට ඒක  බලාගන්න එතන වෙනම view point එකක් තියෙනවා. මාරම ලස්සනයි.  අපේ රටේ එහෙම දියඇළි හතරක් ජලාශයකට එකතු වෙන තැනකට තියෙන්නෙ මේ මාඋස්සාකැලේ ජලාශය විතරයි. 

මාඋස්සාකැලේ ජලාශය

සඳපා අයියා: ඔව් එතන මාරම ලස්සනයි. වචනෙන් කියන්න අමාරුයි. අපි එතන ලස්සන photos ටිකකුත් ගත්තා. එතන හරියට film එකක ඉන්නව වගේ අපි. මාර ලස්සනයි. 

 ඇත්තටම ගිහිල්ල නැතිවුණත් අයියල මේ අත්දැකීම් ගැන කියද්දී මං හිතන්නෙ ඕනම කෙනෙක්  මේක කියවද්දී ඒ ලස්සන විඳිනවා. අයියල ඒ අත්දැකීම ඇත්තටම විඳල තියෙනව. ඒකත් ජීවිතයේ  එක සුන්දර මතකයක් වෙයි කවදහරි…

සඳපා අයියා: ඔව් ඇත්තටම. ඒ camping trip එක නම් සුන්දරම මතකයක් තමා. ලස්සන වටපිටාවක් එක්ක තමයි අපි ඒ දවස් දෙක ගෙව්වෙ.

 හරි… දැන් අයියලා ජලාශය බලලා ඊටපස්සෙ hike එක පටන් ගත්තා ද

සඳපා අයියා: ම්ම් තවම නෑ. මොකද තව ටිකක් යන්න ඕන.  අපි ඒ ටික නම් ගියේ ත්‍රීවිල් වල. රු 400ක් වගේ අපෙන් එක ත්‍රීවිල් එකකට ගත්තෙ. 

මං හිතන්නෙ දැන් තමයි trip එක පටන් ගන්නෙ?

බුද්ධි අයියා: ඇත්තටම කිව්වොත් ඔව්. අපි ත්‍රීවිල් වලින් ගිහින් බැස්සේ කෝවිලක් ළඟ. එතනම එක යායට තේ වත්ත. කන්දක් වගේ නගින්න තිබ්බෙ අපිට. තේ වත්ත මැද්දෙන් අපි photos ගගහා කෑම කකා ඉස්සරහට ගියා. කඩේ මුදලාලි පැය එකහමාරෙන් යන්න පුළුවන් කිව්වට අපිට පැය එකහමාරට තේ වත්තෙ අවසානෙටවත් එන්න බැරි වුනා. 

 ඒ කියන්නේ අයියල දැන් ගොඩක් දුර ඇවිල්ලා?

බුද්ධි අයියා: ඔව් අපි සෑහෙන්න දුරක් ඉස්සරහට ආවා. ඒත් අපේ ගමනාන්තය නම් පේන මානෙකවත් තිබ්බෙ නැහැ. හරියට අපි අතරමං වෙලා වගේ දැනුනෙ එවලෙ. 

 ඒ කියන්නේ අයියල කවුරුත් හරියට පාර දැනගෙන හිටියෙ නැහැ? හැමෝම පළවෙනි පාරට යන ගමනක්?

සඳපා අයියා: ඔව්… අපි කවුරුත් පාර දැනගෙන හිටියෙ නැහැ. අපි ගියේ දුමිඳුගෙ යාළුවගෙන් විස්තර අහගෙනනෙ. ඉතින් අපි ඉස්සරහට ගියා මිසක් දැනගෙන ගියේ නෑ.  ඒත් ඔහොම ඉස්සරහට යද්දී එක තැනකදී තේ වත්ත ඉවර වෙලා ලස්සන පොකුණක් එක්ක ලොකු කැළයක් ඉස්සරහ තිබ්බ. 

බුද්ධි අයියා: ඔව්. කැළයක්. ඒත් ඒ කැළේ අපට යන්න තිබ්බෙ ප්‍රපාතයක් අයිනෙන්. මං ළඟ ලණුවක් තිබ්බා. එතනින් නිකම්ම යන එක dangerous කියල හිතුනා. අපි අර ලණුව අල්ලගෙන එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා හිමින් ඉස්සරහට ගියා. 

 ඒ කියන්නේ මේක ඇත්තටම dangerous hike එකක්? 

සඳපා අයියා: ඔව්. ටිකක් dangerous. මොකද ප්‍රපාතයක් අයිනෙන්නෙ යන්න තියෙන්නෙ. ඔහොම ඉස්සරහට යද්දී අපිට දඬු ලේනෙක්ගෙ හිස් කබලකුත් හම්බුනා. අපිත් එක්ක ගිය උදේන අයියට කැළේ ගැන, සත්තු ගැන ලොකු දැනුමක් තිබ්බ. අපි පස්සෙ තමා දැනගත්තෙ ඒ දවස් වල කතාබහ වුන කළු දිවියා පවා මේ කැලේ ඉඳල තියෙන්නෙ කියල. ඔහොම ඉස්සරහට යද්දී අපිට සත්තුන්ගෙ අඩි සලකුණු එහෙමත් දකින්න තිබ්බ. 

 ඇත්තටම මේක හරියට adventure story එකක් වගේ. අයියල තවමත්  මේ කැලේ මැද්දෙන් යනවද?

බුද්ධි අයියා: ඔව් අපි දැන් පැය ගාණක ඉඳන් කැළේ මැද්දෙන් යනවා. ඔහොම යද්දී එක පාරට අපිට මාරම ලස්සන පොකුණක් හම්බෙනවා. 

නිල් කැටේට වතුර. හරිම පිරිසිදුයි. අපි එතනින් වතුරත් පුරවගත්ත. වතුර සීතලම සීතලයි. 

 තවමත් අයියලට අයියලගෙ camping site  එක ගැන අවබෝධයක් නැද්ද?

සඳපා අයියා: ඇත්තටම නැහැ. අපිට දැන් එපා වෙලා හිටියෙ. කැළේ ඉවරයක් වෙන්නෙත් නෑ. හවස් වෙලාත් එක්ක. අපි හැමෝම අතරමං වෙලා කියල හිතාගෙන හිටියෙ. දුමිඳුගෙ යාළුවට කෝල් කරන්න විදියක් තිබ්බෙත් නෑ සිග්නල් නැති නිසා. හැමෝම හිතුවෙ තැන හොයාගන්න බැරි වෙයි කියල. 

 ඊටපස්සෙ?

සඳපා අයියා: අපිට දුමිඳුගෙ යාළුවා කියල තිබ්බ ටිකක් පරණ ගහක් වැටිල තියෙනවා. එතනින් පාර දෙකට බෙදෙනවා. වමට යන්න කියල. ඒත් අපිට කඩන් වැටුන ගස් ගොඩක් හම්බුනා. අපිට හිතාගන්න බැරි වුනා පාර මොකක්ද කියල. අපි ඔහේ ඉස්සරහට ගියා. හැබැයි එක තැනකදී අපට හම්බුනා ටිකක් පරණ ලොකු ගහක් වැටිල තියෙනවා. අපි වමට ගියා. අපිට එතකොට පොඩ්ඩක් ඇඟට ලේ ටිකක් ඉනුව පාර හරි ඇති කියල හිතල. ඊටපස්සෙ ඔහොම යද්දී එක පාරට නිකන් වතුර හිඳුන දොළක් වගේ හම්බුනා. 

බුද්ධි අයියා: ඔව් එතනදී නම් අපිට නිකන් දැනුනා පාර දැන්නම් හරි ප්ලේස් එකට ළඟ ඇති කියල. ඇත්තටම හිතුව වගේ එක පාරට කැළේ ඉවර වෙලා අපි වැටුනේ තනිකරම පිට්ටනියකට. හරියට සුරංගනා කතාවක වගේ. බලන බලන හැම පැත්තම තණබිම. හරියට කවුරුහරි තණකොළ වවලා වගේ. අච්චර ලොකු කැළයක් ඉවර වෙන්නෙ පඳුරක්වත් නැති පිට්ටනියකින් කියල අපි කවුරුත් හිතුවෙ නෑ. පැය පහක් විතර එක දිගට ආපු මහන්සියත් අමතක වෙලා ගියා අපට එක පාරට දැක්ක view එක නිසා. වටේටම ලස්සනට කොළ පාටට පේනව. ඒ විතරක් නෙවේ වටේටම කඳු වළල්ලක්. මාරම ලස්සනයි. අපි එකපාරට දැක්ක දේත් එක්ක අපිට මාර සතුටක් දැනුනෙ. හරියට දිව්‍ය ලෝකයක් දැක්ක වගේ.  අපි හැමෝම එතන කෑගහල මාර චියර් එකක් දුන්නේ. අපේ මහන්සියත් නැති වුනා වගේ.

ගවරවිලතැන්න

 ඔන්න අපි එහෙනම් අපේ  ගමනාන්තයට ඇවිත් ඉන්නෙ. ඊටපස්සෙ අයියල මොකද කළේ කියල කියමුකො.

සඳපා අයියා: අපි එතනින් ඉස්සරහට ආවා. එතන ටිකක් එරෙන ගතියකුත් තිබ්බ. විල්ලුවක් වගේ. තැන්නෙ මැද හරියෙ වගේ තමා අපි ටෙන්ට් ගහන්න තීරණය කළේ. අපි ගියේ ටිකක් හවස් වෙලා නිසා ටක් ගාලා ටෙන්ට් දෙක ගහගත්තා. දැන් දැන් සීතල එහෙම අපිට දැනෙන්න පටන් අරන් තිබ්බෙ. අපිට එරංග ජෑම් ගාලා පාන් හදල දුන්නා කට්ටියට. මොකද අපි දවල්ට කාලත් නෑනේ. කාලා ඉවර වෙලා බුද්ධි ටිකක් නිදාගත්තා එයා කලින් දවසෙත් නිදි මරල හිටිය නිසා. 

අපි අහල තියෙනවා කෑම්පින් ගියහම සාමාන්‍යයෙන් ගිනි මැළයක් ගහල සීතල අඩුකරගන්නවා කියල

සඳපා අයියා: ඔව් අපිත් ගිනි මැලේට දර හොයන්න ගියා. ආහ් තව දෙයක්, අපි හිටපු තැනම එහා පැත්තේ පොඩි ඇළක්. කට්ටියක් ඇළෙන් වතුර ගන්න ගියා. මායි තව කෙනෙකුයි ගියා දර හොයන්න ඇළ දිගේ උඩහට. ඒ යද්දී සර්ප හැව කීපයක්ම අපට දකින්න තිබ්බ. ඒකෙන් අපි හිතුවා මේකෙ සර්පයින් නම් ගොඩක් ඇති කියල. අපි ඒ නිසා කෝට්ටකින් පොළවට ඇන ඇන තමා ගියේ. අපි ඇළ දිගේ උඩහට යද්දී ලොකු  වේළුණු දර නම් හොයාගන්න බැරි වුනා. කෝටු කෑලි ටිකක් හොයාගෙන ආවා. තව දෙයක් ඇළ දිගේ උඩහට යද්දී අපි දැක්ක. ඒ තමයි ලොකු ලොකු වළවල් කපල තිබ්බ. 

බුද්ධි අයියා: ඔව් සාමාන්‍යයෙන් ලොකු ගැඹුරු වළවල් තිබ්බෙ. අපිටත් එවලෙ ඒක හරිම ප්‍රශ්නයක් වුනා. ඇළ දෙපැත්තේ මෙහෙම වළවල් කපන්නෙ කවුද, හේතුව මොකක්ද කියල. පස්සෙ අපි පහළට බැස්සම දැනගන්න ලැබුනා මේ ගවරවිලතැන්නට බලංගොඩ ඉදල පොඩි වෙලාවකින් කැලේ මැද්දෙන් එන්න පුළුවන් කියල. ඒ කැලෙන් ආපු මිනිස්සු තමා පතල් හාරන්න ඒ වළවල් කපල තියෙන්නෙ. මොනව උනත් ඒ වැඩේ නිසා සෑහෙන පරිසර හානියක් සිද්ධ වෙලා තිබ්බ. මොකද වළවල් එකක් දෙකක් නෙවේ පනහක් සීයක් විතර. මේක සත්තු ඉන්න තැනක්. උන් මේවයෙ නිදහසේ ඇවිදිනවා. මේ වළවල් ගැන උන්ට අවබෝධයක් නෑනේ. ඇත්තටම ඒ වැඩේ නම් විනාශයක් කරල තිබ්බෙ එතන පරිසර පද්ධතියට. 

හැමතැනක්ම විනාශ කරන්නේ මිනිස්සු. ඇත්තටම අපි පරිසරය විඳින්න විතරක් පුරුදු වුනා නම් මේ වගේ හානි සිද්ධ වෙනව අඩුයි. ගමනේ සුන්දරත්වය දැකල සතුටු වුනා වගේම මේ වගේ දේවල් ඇහෙද්දි කළකිරීමක් ඇති වෙන්නෙ. 

බුද්ධි අයියා: ඔව් ඇත්තටම ගවරවිලතැන්න කියන්නේ වචනයෙන් කියන්න අමාරු මාරම ලස්සන තැනක්. ඒ වගේ තැන් මෙහෙම විනාශ කරන්න ගත්තොත් නම් මහ අපරාධයක්. ඒ ගමේ මිනිස්සු උනත් වැඩි කැමැත්තක් නැහැ මෙතනට සෙනඟ ඇදෙනවට. එයාලට ඕන මේක රැක ගන්න. බයක් ඇත්තේ මිනිස්සු ඇවිත් විනාශ කරයි කියලා. 

 හරි අයියෙ. අපි කතාව ඉතුරු ටිකක් කියමු. අයියල දැන් අර ඇළෙන් නාන්න එහෙම ගියේ නැද්ද?

සඳපා අයියා: මොකද නැත්තේ! අපි හැමෝම නාලා මහන්සියට තැන් තැන් වලින් ඇලවෙලා හිටිය. අපිට දන්නෙම නැතුව කට්ටියටම නින්ද ගිහින්. එකපාරට අපේ ප්‍රනීත්ට  ඇහැරිලා. එයා බලද්දී වටේම කළුවරයිලු. රෑ 7.30ට වගේ. ගෙදර වගේ නෙවෙයිනේ කැළේ.  කට්ට කළුවරයි. එයා අපිවත් ඇහැරවල කට්ටියත් එක්ක ඉක්මනටම ගිනි මැලේ ගහගත්තා. ඒ වෙද්දී මාර සීතලක් ඇඟට දැනුනෙ. 

ගවරවිලතැන්න හරහා ගලන ඇළ

දැන් අයියලා තවම රෑට කෑම හදාගෙනත් නෑ නේද?

බුද්ධි අයියා: නෑ. අපි මුකුත්ම නොකරනෙ නිදාගත්තේ. පස්සෙ අපි අපේ ගෙනාපු ස්වීටර් එහෙමත් ඇඳගෙන නූඩ්ල්ස් ටික හදාගත්තා කන්න. අපි හොඳටම බඩගින්නේ හිටියෙ එවලෙ. උදේ ගත්ත පාන් තව ඉතුරු වෙලා තිබ්බ. අපි පානුයි නූඩ්ල්සුයි කෑවා. සීතලෙ බඩගින්නට ඒක ගානට මැච් වුනා. ඊටපස්සෙ අපි සෙට් එක රස කයියක් දාගෙන රෑ වෙනකන් හිටිය. දුමිඳු උදේ sun rise එක capture කරගන්න ඕන නිසා alarm එකත් තියල අපි කට්ටිය නිදාගත්තා. 

 මේක නම් අයියලට අමතක නොවන රැයක් වෙන්න ඇති. කැළයක් මැද්දෙ ටෙන්ට් එකක් ඇතුළෙ රැයක්!

බුද්ධි අයියා: ඔව් නංගී ඒක මාර experience එකක්. මට නම් කවදාවත් ඒ camping trip එක අමතක වෙන එකක් නෑ. 

අයියලට පාන්දර වෙද්දී සීතල එහෙම දැනුනද ගොඩක්? මොකද කන්දක් උඩ වගේනෙ ඉන්නෙ. 

සඳපා අයියා: ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. පාන්දර 12 පහුවුනාම වගේ පට්ට සීතලක් ඇඟට දැනුනෙ. ඒක දරාගන්න බැරි සීතලක්. අපි අන්තිමට හැමෝම ගුලි වෙලා නිදාගත්තේ. මාරම සීතලක් ඒක නම්. මං නම් අඳින්න අරන් ගිය ඔක්කොම ඇඳුම් ඇඳගත්තා. ඒ තරම් සීතලක් තිබ්බෙ. 

බුද්ධි අයියා: ඔව් ඒක නම් පට්ටම සීතලක්. දරන්න අමාරුයි. ගැහි ගැහි නිදාගත්තේ. ඔයාලා සිරිපාදෙ උඩ ඉඳල තියෙනවා නම් රෑට ඊටත් වඩා සීතලක් තමා අපිට එදා දැනුනෙ.

 දැන් අයියලා ඉන්නෙ සත්තු ඉන්න කැළයක් මැද. ඉතින් සත්තු එහෙම දැක්කෙ නැද්ද? අයියල රැයක් එතන ඉද්දි සත්තු එහෙම එයි කියල හිතුනෙ නැද්ද? 

බුද්ධි අයියා: අපි එන්න කලින් අර කෑම කාපු කඩේ මුදලාලි එහෙම කිව්වා කොටි, දිවියො එහෙමත් ඉන්නව කියල. අපිත් එන පාරෙ අඩි සලකුණු එහෙමත් දැක්ක. ඒත් එහෙම ලොකු බයක් තිබ්බෙ නෑ. ඒත් මරු වැඩක් වුනා. එතකොට පාන්දර 1ට 2ට වගේ ඇති. අපිට ඇහුනා ටෙන්ට් එක වටේ මොකෙක් හරි ඇවිදිනවා. අපි සද්ද බද්ද නොකර හිටිය. 

සඳපා අයියා: ඔව් මොකෙක්හරි ආවා. මට නම් ඒක හොඳටම තේරුනේ ඌ ටෙන්ට් එක වටේ ඉව කර කර ගියා. අපි දන්නෙ නෑ මොකෙක්ද ආවේ කියල නම්. 

ඊටපස්සෙ?

බුද්ධි අයියා: ඊටපස්සෙ උගේ සද්දෙ නැති වුනාම මම ටෙන්ට් එක අයිනෙ හිටිය නිසා  යන්තම් ඇරල ඔලුව දාලා බැලුවා. එවලෙ නම් මං මොකෙක්වත් දැක්කෙ නැහැ. මට එක පාරට උඩ බැලුනා. සාමාන්‍යයෙන් එහෙමනෙ. බිම නිදාගෙන ඉද්දි ඉබේටම උඩ බැලෙනවනෙ. හැබැයි එවලෙ මං එකපාරටම දැක්කෙ කියාගන්න බැරි තරම් ලස්සනක් අහසේ. මට හිතාගන්න බැරි වුනා. තරු ඉහලා වගේ. පුදුම ලස්සනක්. මුළු අහස පුරාම තරු පිරිල මාර ගති. මං කවදාවත් අහස එහෙම දැකල නෑ.  ඒ trip එකේ ඔය වගේ excited දේවල් තමා ගොඩක්ම වුනෙ. 

අයියල කලින් කිව්වා දුමිඳු අයියා photographer නිසා එයා සන් රයිස් එක ගන්න ආසාවෙන් හිටිය කියල. කන්ද උඩ නිසා අයියලට ඒක ලස්සනටම බලා ගන්න පුළුවන් වෙන්න ඇති?

සඳපා අයියා: ඇත්තටම නංගී ඒ සීතලත් එක්ක අපට sun rise තියා නැගිටගන්නවත් බැරි වුනා. අපිව ගල් වෙලා වගේ. පාන්දර 4ටනෙ අපි alarm එක තිබ්බෙ. ඒ වෙලාවෙ එළියට ගියා නම් ගල් වෙලා මැරෙනවා. එවලෙ අපි temperature එක බලද්දී සෙල්සියස් 5ක් වගේ තිබ්බෙ. ඉතින් සීතල කොහොමද කියලා හිතාගන්න පුළුවන්නෙ! අපි කට්ටිය ගුලි වෙලා නිදාගත්තා උදේ 8 විතර වෙනකම්. 

අපි දැන් hike එකේ ගොඩක් ලස්සන දේවල් කතා කරා. ඒ  වගේම  උදේට   ගවරවිලතැන්නෙ තියෙන සුන්දරත්වයත්  අපි අහන්න කැමති

බුද්ධි අයියා: ඔව් හරිම ලස්සනයි එතන. සද්ද බද්දයක් නැති වටේම කොළ පාටයි. චිත්‍රයක් ඇඳල වගේ. තණකොළ වලට පින්න වැටිල ඒක හරිම අමුතු feeling එකක්. වෙනම ලෝකෙක ඉන්නව වගේ. ආහ් තව දෙයක්. උදේ නැගිට්ටම තමා ඒක දැක්කෙත්. තණකොළ උඩ අයිස් මිදිලත් තිබ්බා. ඒ තරම් සීතලක් තිබ්බෙ රෑ. 

තණපියළි මත වතුර මිදී තිබීම

ගවරවිලතැන්න තව ඇවිදින්න තැන් එහෙම නැද්ද අයියෙ?

සඳපා අයියා: තියෙනවා නංගී. අපි උදේට මූණ කට එහෙම හෝදලා  ලෑස්ති වුනා ටිකක්  ඇවිදින්න. අපි කලින් කිව්වෙ අපි ටෙන්ට් එක ගහපු තැන එහා පැත්තේ ඇළක් යනව කියල. ඒ ඇළ රවුමට වගේ යන්නේ. අපි ඇළ මැද්දෙ තියෙන තැන්න දිගේ ගියා. අපිට එතනත් පොඩි කැළයක් හම්බුනා. 

බුද්ධි අයියා: ඒ කැළේ ගැන කිව්වොත් හරියට අපි චූටි කාලෙ අහල තියෙන සුරංගනා කතාවල කැළයක් වගේ. මාර ලස්සනයි. ලස්සන ලස්සන මල් පිපිලා. මං කලින් කිව්වෙ මේ hike එකේ අපිව එකපාරට excite කරන දේවල් තිබ්බෙ කියල. ඉතින් මේ කැලෙත් ඒ වගේ තමා. අපි ඉතින්  ඔහොම ඉස්සරහට ගියා. ඒ අතරමග අපි ලස්සන photos ටිකකුත් ගන්න අමතක කළේ නැහැ. 

ඇත්තටම දැකල නැති වුනාට මටත් ඒ ලස්සන මැවෙනව වගේ.  අයියලට මේක අමුතුම අත්දැකීමක් වෙන්න ඇති

සඳපා අයියා: ඇත්තටම මේක මාරම අත්දැකීමක් තමා.  තව ඉස්සරහට යද්දී තමා මේකෙ තවත් ලස්සන දෙයක් හම්බුනෙ අපිට. 

 ඒ මොකක්ද?

සඳපා අයියා: අපි කැලේ ඉස්සරහට යද්දී එක පාරටම ගස් කොළන් අඩු වෙලා open area එකකට ආවා. එතන පොඩි දියපාරක් වගේ යනවා. පොඩ්ඩක් ඉස්සරහට යද්දී තමා දැක්කෙ ඒ දිය පාර එක පාරටම දිය ඇල්ලක් වෙනවා. අපි දැන් ඉන්නෙ හරියටම දියඇල්ල මුදුනේ. හරියටම අංශක 90ක වගේ හෙල. 

එතනින් තමා දිය ඇල්ල කඩන් වැටෙන්නෙ. එතන වටේට ම පේනවා.

අපි ඉන්නෙ සිරිපාද අඩවියෙනෙ. ලස්සනට සිරිපාද කන්ද පේනවා. ඒත් එක්කම බල්ලන් බැඳි හෙලත් එතනට නියමෙට පේනවා. අපි එතනත් ලස්සන photos ටිකක් අරගෙන ආපහු අපේ ටෙන්ට් තියෙන තැනට ආවා. 

 අයියලා කිව්වා කලින් ඔයාලා අර පහළ කඩේ උදේට කෑම එහෙමත් ඕඩර් කරා කියල. ඒත් අයියලට නගින්න පැය පහක් වගේ ගියා. එතකොට අයියලට උදේට කෑම වෙලාවට යන්න අමාරුයි ආපහු. අයියලට මේ වෙද්දී කෑම වතුර ඉතිරි වෙලා තිබ්බද?

බුද්ධි අයියා: අපිට කෑම ගොඩක් තිබ්බෙ නෑ. අපි හිතුවෙ නෑනේ ගොඩක් දුර යන්න තියෙනවා කියලා. කෑම වුනත් පොඩ්ඩනෙ ගත්තේ. නූඩ්ල්ස් පැකට් දෙකක් ඉතිරි වෙලා තිබ්බා. ඒ දෙක හදාගෙන කට්ටිය එක්කම පොඩ්ඩ පොඩ්ඩ කාලා අපේ බඩු ටිකත් අස් කරන් යන්න ලෑස්ති වුනා. 

 අයියෙ මං ගොඩක් දැකල තියෙනවා ඔහොම trip ගිය අය කියන දෙයක් තමා පරිසර හානිය. මිනිස්සු ගිහින් ඒ තැන්වල කුණු එහෙම දාලා විනාශ වෙලා තියෙනවා. ගවරවිලතැන්නත් ඒ ගොන්නෙම ද තියෙන්නෙ?

සඳපා අයියා: නෑ නංගී. මේ තැන එහෙම ලොකු ප්‍රසිද්ධියක් නෑනේ. අනික ඒ ගමේ මිනිස්සු පවා කැමති නෑ මෙතන වැඩිය ප්‍රසිද්ධ කරන්න. ඉතින් මෙතන එහෙම පොලිතින්, ප්ලාස්ටික් වලින් විනාශ වෙලා නැහැ. අපිත් අපේ හැම දෙයක්ම ආපසු අරගෙනයි ආවේ. අපි කොහෙ ගියත් පොඩි දෙයක්වත් දාලා එන්නේ නැහැ. ඉතින් අපිට සතුටුයි කියන්න ගවරවිලතැන්න නම් අරගොඩට අයිති නෑ. 

ඊටපස්සෙ අයියලගෙ ආපහු ආපු ගමනත් කියමු.

බුද්ධි අයියා: ඔව් අපි ඉතින් කලින් පාරෙම ආපහු ආවා. Photos ගත්තා. අර අපි කලින් කිව්වෙ අපි මුලින්ම තේ වත්තක් දිගේ ආවා. එතන ඉවර වෙනම තැන වගේ ලස්සන පොකුණක් තිබ්බ කියල. අපි එතන  නාන්න හිතන් ගියේ. එතන නාන්න ගියාම තමා  තේරුනෙ ඒකෙ වතුර මාර සීතලක්.

ඒත් ඉතින් අපි පොඩි වෙලාවක් නෑවා. ගොඩක් වෙලා වතුරෙ ඉන්න අමාරුයි. සීතල නිසා. 

සඳපා අයියා: අපි ඒ හරියෙත් ෆොටෝස් ටිකක් අරන් ආපහු  පහළට බැස්සා.

 අයියලට යන්න පැය 5ක් වගේ ගියා කිව්වා. අයියල ආපහු එද්දිත් ඒ වගේ වෙලාවක් ගියාද?

බුද්ධි අයියා: නෑ බහිද්දි නම් පැය තුනක් වගේ ගියේ. අපි බහිද්දී  උදේ 11ට 11.30 ට වගේ ඇති. 

අයියලා කලින් කිව්ව ඔතනට ආවේ ත්‍රීවිල් වල කියලා. ආපහු යන්න අයියලට ත්‍රීවිල් තිබ්බ ද නැත්නම් පයින් ද ගියේ?

සඳපා අයියා: අපි බහින්න ළං වෙලා ඒ ආපු ත්‍රීවිල් දෙකටම කෝල් කරල ගෙන්න ගත්තා. ඒකෙන් අර කෑම ඕඩර් කරපු කඩේ ගාවට ආවා. එතනින් කෑමත් කාලා හැටන් වලට යන්න බස් එකට නැග්ගා. එතනින් අපි කොළඹ ආවා. 

ඒ කියන්නේ අපේ ගවරවිලතැන්න චාරිකාව එතනින් ඉවරයි. මං කැමති තව දෙයක් දැනගන්න. අයියල මේ trip එකේ එක එක අපහසුතාවලට මුහුණ දීලා තිබ්බ. මේ වගේ hike එකක් යද්දී තව කෙනෙක්ට උපදෙසක් දෙන්න තරම් අයියලට මේකෙන් අත්දැකීමක් ඇති කියල මන් හිතනවා. 

බුද්ධි අයියා: ඔව් අපිට වෙලාව ගැන හරි අවබෝධයක් තිබ්බෙ නෑ උඩට යනකම්. ඒ නිසා මේ වගේ ගමනකදී උදෙන්ම පටන් ගන්න එක හොඳයි යන එක. නැත්නම් කළුවර වැටුනම කැළේ ඉන්න එක අවදානම්. තව දෙයක් තමයි අපිට කෑම එහෙමත් මදි වුනා. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත අනුව අරගෙන යන්න. ඒ වගේම තමන්ට අවශ්‍ය හැමදේම අරගෙන යන්න මතක ඇතුව. මොකද කැළයක් මැදනෙ ඉන්න යන්නේ. ඒ වගේම මේ වගේ සීතල පැති වලට යද්දී අනිවාර්යයෙන්ම සීතලට හරියන ඇඳුම් අරගෙන යන්න. මොකද මට අරගෙන යන්න අමතක වුනා. සඳපාගේ වැඩිපුර එකක් තිබ්බා වෙලාවට.  තව දෙයක් තමයි  තමන් අරන් ගිය හැමදේම අරගෙන එන්නත් අමතක කරන්න එපා. අපිට මගදී එද්දි අපේ එක ටෙන්ට් එකක් නෑ කියල තේරුනා. ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිළිමත්  වෙන්න. 

සඳපා අයියා: ටෙන්ට් එක නම් නැති වුනේ එරංගට සිහියක් නැති නිසා තමා! අපි එනකම්ම බැන බැන ආවේ සිහියෙන් නෙවේ ඉන්නෙ කියලා. 

මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අයියෙ. අයියල කිව්වා අයියල කැලේ ඇතුළෙන් යද්දී එක පාරට කැළේ ඉවර වෙලා තණ පිට්ටනියක් හම්බුනා කියල. ඒක හරි අමුතු සිදුවීමක්. මොකද කැළයක් මැද්දෙ එක පාරට තණබිමක් තියෙන එක ස්වාභාවිකව වෙන්න අමාරුයි නේද? 

සඳපා අයියා: ඔව් නංගී ඔය ප්‍රශ්නෙ අපිටත් තිබ්බ. මන් පස්සෙ ඔය ගැන පොඩ්ඩක් හොයල බැලුවා. අපි කිව්වෙ රෑට එතන පුදුම සීතලක් කියල. පාන්දරට ඒ සීතලට පැළවල වතුර, පින්න මිදෙනවා. අපි කිව්වෙ අපිත් දැක්ක කියලා. ඒ වතුර මිදුනම ගස් මැරෙනවලු. ගස්වල වර්ධනයක් නෑලු. ඒ නිසා තමා ලු එතන ගස් නැතුව එක යායට තණබිමක් තියෙන්නෙ. තණකොළ ඒවාට මොකක්හරි අනුවර්තනයක් වෙලා ඇති. 

 මේ trip එක ගැන අයියලට අවසානයේ කියන්න තියෙන්නෙ මොනවද?

බුද්ධි අයියා: ඇත්තටම සුපිරි trip එකක්. කොච්චර කට්ට කාගෙන ගියත් ආයෙමත් යන්න ආසයි මතක් වෙද්දී. ඒත් කොච්චර ආස වුනත් දැන් ආයිමත් එහෙ hike යන්න බැහැ. තහනම් කරලා.  මිනිස්සු ඇවිත් ඒ පරිසරය විනාශ කරයි කියලා. ඒක නම් ඇත්තටම දුකයි. ඒත් අපිට ජීවිත කාලෙටම ඇති වෙන්න ලස්සන මතක ගොඩක් ගවරවිලතැන්නත් එක්ක තියෙනවා. ඒ අතින් අපි සෙට් එක ගොඩක් lucky වුනා ඒ ලස්සන ඇත්තටම විඳගන්න.

අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ පරිසරයෙ ලස්සන විඳින්න. ඇවිදින්න. ඒත් විනාශ කරන්න එපා. රැකගන්න. මොකද මේවා අපිට අයිති නැහැ. ඒවා සත්තුන්ට තමා අයිති. ඒ නිසා අපි ඒ ලස්සන විතරක් විඳින්න පුරුදු වෙමු. 

එහෙනම් ඔන්න අපේ රූ ධාරා චාරිකාවේ  අද දවසේ ගමනාන්තයට ඇවිත් ඉන්නෙ. ලංකාවේ ලස්සන තැනක් වුන ගවරවිලතැන්න ගැන අද අපිත් එක්ක සුන්දර මතකයන් බෙදා ගත්ත බුද්ධි අයියට වගේ ම සඳපා අයියටත් ගොඩක් ස්තූතියි. අපි තවත් ලස්සන තැනක් ගැන කතා කරන්න ඉදිරියේ දී අයියල දෙන්න එක්ක නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුදෙනවා.

එහෙනම් ඉදිරි සතියෙත් සුන්දර ගමනාන්තයකට ඔබව රැගෙන යන පොරොන්දුවෙන් අදට රූ ධාරා අපි  ඔබෙන් සමුගන්නවා. 

සතියක විරාමයක්…

විශේෂ ස්තූතිය

  • රන්දික සඳපා
  • බුද්ධි ඔෂද
  • සුදිල් සන්දීප
  • උදේන කල්හාර
  • ප්‍රනීත් නිමේෂ්එ
  • රංග රන්දිල්

සේයා රූ

  • දුමිඳු ආරියවංශ

Design By  Nisal Vimukthi

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මාධවී ප්‍රියංගිකා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment