දැනුම

දියවන්නා කුමාරියේ

ගීතයක ගැඹුර හා රසමුසු තැන් සොයායන තවත් අරුත්බර ගීතයක සොඳුරු නවාතැන් පොළ, ඉරේෂ් වන්නකුකෝරලගේ පද සංකල්පනාව හා ඔහුගේම අලංකාරවත් තනු සංකලනයෙන් හැඩ වූ චන්දික ලිලන්, දුමාල් වර්ණකුලසූරිය, ප්‍රකාශ් රණසිංහ, සංජය උදය කුමාර, සුපුන් පීරිස් හා නාද ගායන මාධූර්යයෙන් ඒකාළෝක වන වර්තමාන ලාංකේය රසික හදවත් තුළ නවාතැන්ගත් අරුත්බර ගීතයක අර්ථාන්විත දිගහැරුම දියවන්නා කුමාරියේ…

වර්තමාන ලාංකීය ජන ජීවිත තුළ සැඟවී ඇති සැමට නොරහසක් වූ රහසක අර්ථාන්විත දිගහැරුම අයුක්තිය ඉදිරියේ දණ නැමෙන නීතියක අයුරු දිළිඳු කමෙන් පීඩිත ජනයාගේ කරමතින් රජ වී උදම් අනන ස්වර්ගයට යන්න පාර අහන රජුන්  කළු සල්ලි ඉදිරියේ වාමනයන් විලස වැරදිකරුවන් රකින අයුරු කියාගත නොහැකි හද තුළ සිරව ඇති ශෝකාලාපයේ පද ගැළපුම…

 “දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පලුව එබෙනවා”

 දියවන්නාව කියූ සැනින් කුඩා දරුවන් පවා හොඳින් හඳුනන පාර්ලිමේන්තුව සිහියට එනවා නොඅනුමානය. බොහෝ විට ලාලිත්‍යය, අලංකාරය, කළමනාකරණය ආදී කරුණු පාදක කොටගෙන සොබාදහම, දුම්රිය, බස් රථ ආදී දේවල් වලට කාන්තා නම් යොදා ගැනීම තුළින් ස්ත්‍රීත්වයක් ආරෝපණය කරනු ලබයි.

මෙම ගීතයේද එවැනිම ස්ත්‍රීත්වයක් ආරෝපණය කර ඇති බව දියවන්නා ඔය මත විරාජමානව වැජඹෙන දියවන්නා කුමරිය ලෙස උත්තරීතර පාර්ලිමේන්තුව හඳුන්වනු ලැබීමෙන් පෙනීයයි.

රටක පැවැත්ම, චිරස්ථිතිය හා භෞමික අඛණ්ඩතාවය රඳා පවතින්නේ ව්‍යවස්ථාදායකය හා විධායකය මනා වූ සංකලනයත් සමඟ ය. ව්‍යවස්ථාදායකය හෙවත් සැවොම දන්න පරිදි නීති හදන තැන වන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවයි. මෙය අඳුරු වළාවලින් වැසී ගියහොත් රටකට ඇතිවන ව්‍යසන මොනවාදැයි සිතා ගැනීමට නොහැකිවනු ඇත. ලෝකයේ සමහර රටවලට අත්ව ඇති ඉරණම ගැටුම් වලින් තොර දිනයක් සොයාගත නොහැකිවන පුවත් අසන්නට ලැබෙන්නේ ද එවැනි අඳුරු වළාවලින් වසා ගැනීම නිසා බව තේරුම් ගත හැකිය.

දියවන්නා කුමරිය නැත්නම් නීති හදන උත්තරීතර පාර්ලිමේන්තුව නිහඬව නිසොල්මන්ව නිදා සිටින අතරතුරේ සඳ පලුව මූලික කරගත් ජන සමාජය තුළ සිටින මානුෂිකත්වය පසෙකලා තම ආශාවන් ඉටු කර ගැනීමට පොදිකන ත්‍රස්තවාදී ජනකොටස් මේ රට විනාශ කිරීමට ප්‍රයත්න දරන බව නිසි නීති සකසා අදාළ පරිදි ක්‍රියාත්මක නොකළහොත් නුදුරු අනාගතයේ දීම අත්විඳීමට සිදුවන බව මෙන්ම සිදුවීමට මූලාරම්භය ගෙන ඇතිබව සහෘදයාට ඒත්තු ගන්වයි.

“හීනගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා”

මොනවද මේ ගීතයේ කියන සීනි බෝල අපි කියන රස කැවිලිමද? නෑ. මොකද මේ සීනි බෝල වලින් සිහින ලෝකයකට ගෙනියනවා. “හීනගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා” විවිධ මත්ද්‍රව්‍ය මත්පෙති ආදී දේවල් අඩංගු සීනිබෝල යොදාගෙන ජීවිතය ජයගන්න අකුරු කරන පුංචි මල් කැකුළු ආකර්ෂණය කර ගැනීමට පාසල් වට කරගෙන මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයින් උකුසු ඇස් යොමා බලා සිටිනවා. මේ සඳහා අදාළ නීති ක්‍රියාත්මක හරි හැටි ක්‍රියාත්මක නොවන බව ‘සුවට නිදන්නේ සිතුවිලි යහනේ’ යන පද පෙළින් අර්ථ ගැන්වේ. රටට එල්ලවෙන තර්ජන ද මත්ද්‍රව්‍ය වෙළඳාම ආදියට රට තුළම පසු පස සිටින බලකණු අදිසි හස්ත විසින් වැරදිකරන පුද්ගලයින්ට නිදහසේ සැරිසැරීමට කුමන වරදක් වුවද නිදන් රකින වාමනයින් නිදන් රකින්නා සේ ඔවුන්ව ආරක්ෂා කරනු ලබයි.

“හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසිවෙලා
ඉඩෝරයට හේතු හොයනවා”

 කුඩා දරුවා පවා දන්නා පරිදි ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබාදීම හා චක්‍රවල සමතුලිතතාවය පවත්වා ගැනීම සුවිසල් ගස් මහඟු දායකත්වයක් ලබාදෙයි. ශාකවලින් ඇති වටිනාකම ජීවිත තරන්ම වටිනා බව නොදන්නා හෝ දැන නොදන්න ලෙස හැසිරෙන පුද්ගලයන් බොහෝමයක් අප ජීවත්වන ජන සමාජය තුළ මුණගැසී ඇති අහන්නට ලැබෙන ප්‍රකාශ තුළ ඒ බව ගැබ්වී ඇති බව නම් නොරහසකි. වටිනා ශාක ඝනත්වයන්ගෙන් යුත් වනාන්තර කපා, ජල උල්පත් සුරක්ෂණයට මහඟු දායකත්වයක් ලබාදෙන රූස්ස ගස් යායවල් පිටින් කපා දමා මුදල් බවට පත් කර ජල උල්පත් සිඳීයාම නිසා ඇතිවෙලා තියෙන ඉඩෝරයට හේතු මොනවද කියලා හැමතැනම සෙව්වට ඵලක් තියේද. ගසක් කපන්න යන්නෙ විනාඩි කිහිපයක් විතරයි ඒ වුනාට අපිට සෙවණ දෙන රූස්ස ගස් හැදෙන්න අවුරුදු ගණනාවක් යනවා.

“දළ දිළිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා”

ගොඩබිම වාසය කරන වනසිව්පාවුන්ගේ විශාලතම සත්වයා දළඳා කරඬුව වැඩම වීමට පවා ජන්ම වාසනාව ලද්දා වූ ඇ‍ත් පරපුරේ දළ ඇතුන් මරණයට පත්කර ඇත්දළ ලබාගෙන භාරහාර ඔප්පු කිරීමට, අපල දුරුවෙන්න, දිව්‍යලෝකයට ස්වර්ගයට යන්න කටයුතු කරන අයුරු ගීතයෙ පද අරුතෙන් මනාව ඉස්මතුකර දක්වයි. මේ සඳහා අදාළ නීති හරි හැටි ක්‍රියාත්මක නොවන බව සුවට නිදන්නේ සිතුවිලි යහනේ යන පද පෙළින් අර්ථ ගැන්වේ. ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ නිසා අදිසි හස්ත විසින් වැරදිකරන පුද්ගලයින්ට නිදහසේ සැරිසැරීමට කුමන වැරද්දක් වුවද නිදන් රකින වාමනයින් නිදන් රකින්නා සේ ඔවුන්ව ආරක්ෂා කරනු ලබයි.

“පත්තිනියේ නුඹ නාඬන් ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසි රජුන් තනනවා
රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා”

මේ සැම එසේ සිදුවෙද්දී පතිවතේ උත්තරීතර සංකේතය වූ පත්තිනියද හඬවමින් ගමට කලින් මුලුතැන්ගෙට වඩිනා හිරු ඇය අද මුලුතැන්ගෙට වඩින්නේ නැත රට විරුවන් ලෙස එතෙර රටවල සිට දුක්විඳ වැඩිම විදේශ විනිමය උපයාදෙන විට මෙතර රජුන් සුවසේ බැබළෙනවා. අතීතයේ තිබූ පාරිශුද්ධ දැහැමි පාලකයින් රජුන් ලෙස බිහිනොවන බව පත්තිනියගෙ කඳුළු වලින් ප්‍රත්‍යක්ෂ වේ. ළමා අපරාද, ස්ත්‍රී දූෂණ, මිනීමැරීම සියල්ලම සිදුකළද තෙල් මල් දෝත දරා ගෙන පස්පවින් වැළකුණ අය ලෙස නිර්වාණය සාක්ෂාත් කරගන්න සුදු ඇඳුම්වලින් සැරසී පන්සලේ මල් පෝළින්වල පෙරමුණේ ගමන් කරමින් සිටින බව පැදිපෙළන් මනාව ඉස්මතුකර‍යි.

ගීතයේ කිහිපවරක්ම යෙදී ඇති “සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා” යන්නෙන් වාමනයින් මේ රටට පිළිලයක් බවත් ඔවුන් පිළිබඳ ඇති හද කකියවන කළකිරීමද මනාව පසක් වේ.

දියවන්නා කුමාරිය ද සුවසේ නිදන, නිසි පරිදි අදාළ නීති හරි හැටි ක්‍රියාත්මක නොවන අදිසි හස්ත විසින් වැරදිකරන පුද්ගලයින්ව වාමනයන් සේ ආරක්ෂා කරන තාක්කල් මෙවැනිම සිදුවීම් අනාගතයේදී ද අපගේ සවනට ඇසෙනවා නොඅනුමාන ය.

Design By Ravindu Sandeep

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ජයාත්‍රි උදිශ්‍යා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment