ඇල්මෙන් අකුරු උගනින අපේම සහෝදර සහෝදරියන් පිරිසකට අත්වැලක් වෙමු
තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වළ නොයනා
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා
උගත මනා සිල්පය මයි මතු රැකෙනා
අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා
කල් ගිය රෙදි වැරළි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිවූ ඉදිරි වැඩ තකා
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ අත්තරගම බණ්ඩාර පඬිතුමන් විසින් රචිත යයි සැලකෙන වදන් කවි පොතේ එන ඉගෙනීමේ අගය ගැන කියවෙන කවි දෙකකින් ඇරඹුවත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඔබට ඉගෙනීමේ අගය අපි අමුතුවෙන් කිව යුතු නොවේ යයි සිතමු.
ඔබ සමාජයේ විවිධ කොටස් වලට වෙන් කරගත් පාසල් පද්ධති වලින් (ගම්බද පාසල්, නගරබද පාසල්, මිශ්‍ර පාසල්, දුෂ්කර පාසල්, ජනප්‍රිය පාසල් ආදී වශයෙන්) විශ්ව විද්‍යාලය වෙත පැමිණෙන්නට ඇත. නමුත් විශ්ව විද්‍යාලයේදී එවැනි බෙදීමක් නොමැතිව සියල්ලන්ම එකම පියසක් යට නවීන පහසුකම්, ඉගෙනුම් ආධාරක හා ගුරුවරු සහිතව තම තමන්ගේ අනාගත වෘත්තියන්ට මං පෙත් විවර කර ගන්නවා ඇත.
ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක ඉහත කී පහසුකම් සියල්ල සමඟින් අධ්‍යාපනය ලබන අප දිනක මේ තාවකාලික නවාතැන හැරයන අතර අපගේ තැන නවක සිසු දරු දැරියන්ගෙන් පිරෙනු ඇත. අප මෙන්ම ඔවුන්ද මෙතනට එන්නට දහසකුත් බලාපොරොත්තු ඇතුව සිටිනවා විය හැකියි.
එසේ දහසක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇතත් ඒවා ඉටු කර ගැනීමට තරම් හැකියාවක් නොමැති දරුවන් කොතෙකුත් අප රටෙහි සිටිනවා ඇත්ද? එවැනි කතා ලෝකයා දැනගන්නටත් මත්තෙන් කැලයේ පිපී කැලයටම පරව යන මල් සේ වියැකී යන්නට ඉඩ දිය යුතුද යන්න මදක් නැවතී සිතා බලන්නට ඔබට හැකිනම්, එවන් දහසකුත් දුක්බර කතා අතරින් එකකට පිළිතුරු සැපයීමට අප හා එක්වන්නට ඔබට අවස්තාවක් ලබා දෙන්නට කැමැත්තෙමු.

ශාක විද්‍යා අධ්‍යයන අංශයේ ශාක විද්‍යා සංගමය විසින් සෑම වසරකම පවත්වන සුභසාධක කටයුත්ත 2015 වසරේදීත් කිරීම මෙවර නිලධාරී මඬුල්ලේ අපට පැවරුන වගකීම් අතරින් එකකි. මෙවර අපගේ උදවු අවශ්‍ය අයවලුන් සොයා යන ගමනක ඇල්මෙන් අකුරු උගනින්නට වෙර දරන දැරණියගල දෙමැද කනිටු විදුහලේ පුංචි පැටවුන් ගොන්නක කඳුළු කතාව අප නතර කරන්නට සමත්විය.
ඉටිකොළ ගැසූ පන්ති කාමර තුල වැසි දවසට තෙමෙමින් ඇතැම්විට පහනක් දල්වන්නට විදුලි ආලෝකයවත් නැති අඳුරු පන්ති කාමර තුළ දිරියෙන් අකුරු කරන මේ පොඩි උන් හරි අපුරුය. ඔවුන් ඉගනීමට ඇති ඇල්ම කුමන බාධකය ආවත් නවත්වන්නට සුදානම් නැත. හොඳම පාසලකට තම දරුවන් දමාගන්නට විශාල තරඟයක් ඇති සමයක ඔවුන් ඉල්ලන්නේ උසස් පාසලක් හෝ ජනප්‍රිය නොව තමන්ට ශිල්ප ලබාදෙන පාසලේ පහසුකම් දියුණු කර දෙන ලෙසයි. නව ලොව විද්‍යා දැනුම ලබන්නට ඔවුනට අවශ්‍ය වුවද ඒ සඳහා සුදුසු විද්‍යාගාරයක් නොමැති වීම අඩුපාඩුවකි. ක්‍රීඩාවට දක්ෂ දරු දැරියන්ට ප්‍රමාණවත් ක්‍රීඩා උපකරණද හිඟයක් පවතී. තවද ඇතැම් පන්ති කාමර දැනට ඉතා අබලන් තත්වයේ පවතින අතර විදුලි සැපයුමද ක්‍රමවත් ලෙස නොපවතී. පුස්තකාලයටද ප්‍රමාණවත් තරම් පත පොත නොමැත.
පළමු ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය තෙක් පන්ති පැවැත්වෙන දැරණියගල දෙමැද කනිෂ්ඨ විද්‍යාලයේ දැනට ළමුන් 150ක් පමණ අධ්‍යාපනය ලබති. ඔවුන් හමුවන්නට ගිය අපගේ ශාක විද්‍යා සංගමයේ කණ්ඩායමෙන් ඔවුන් ඉල්ලා සිටියේ ඉහත අඩුපාඩු වලට සුළුවශයෙන් හෝ ආධාර උපකාර කරන ලෙසයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශාක විද්‍යා සංගමය මෙවර ව්‍යාපෘතිය ලෙස මේ දිරිය දරුවන්ට අත්වැලක් වන්නට තීරණය කෙරුවෙමු. ඒ සඳහා අපට සවියක් වන්නට ඔබට ආරාධනා කිරීමට කැමැත්තෙමු. අපගේ ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වෙන අතර කාරුණික ඔබගේ මුල්‍යමය ආධාර හෝ ද්‍රව්‍යමය ආධාර ලබා ගැනීමට කැමති බව දන්වා සිටීමට කැමැත්තෙමු.
ඔබගේම සහෝදර සහෝදරියන් ලෙස සලකා මේ පුංචි පැටවුන්ගේ බලාපොරොත්තු මිය යන්නට නොදී රැක ගන්නට තම තමන්ට හැකි පමණින් උත්සාහයක් ගැනීම වටින්නේ නොවේද? අමතක නොකළ යුතු වැදගත්ම කරුණ නම් මේ එවැනි මල් කැකුළු දහස් ගණනකගේ කතා වලින් එක් කතාවක් පමණි. මෙවැනි දුක් කතා වල අවසානයක් දැකීමට නම් ඇරඹුමක් තිබිය යුතුය. එවන් ගමනක ඇරඹුමට අඩිතාලමක් දමන්නට ශාක විද්‍යා සංගමයේ අප සමග එක්වන්න ඔබට නැවතත් ඇරයුම් කරමු.

මෙයට,
අපි
ශාක විද්‍යා සංගමයේ 2015 නිලධාරී මඬුල්ල,
ශාක විද්‍යා අධ්‍යයන අංශය,
කොළඹ විශ්ව විද්‍යාලය.
විද්‍යුත් ලිපිනය [email protected]
දුරකතන රිෂාන් 0712673860 නිපුන 0714358559
Leave a Comment