පිණිවැටෙන හිමිදිරියේ සිඹ ඔබ මගේ හිස
හිරු බසින සැඳෑයම වනතුරු ම දුක් විඳින
කාන්සිය මහන්සිය සඟවමින් සිනහසෙන
මහමෙරක් තරම් වූ විරාගී නුඹේ පෙම
පියාණනි සුවඳ දෙයි පුරා මගෙ දිවි ගමන…
ආදරය, සෙනෙහස යනු මනුෂ්‍ය ජීවිතයකට අත්‍යවශ්‍ය ම සාධකයක් බව මා පැවසුවහොත් ඔබ මා සමග විරුද්ධ නොවේ යැයි මම සිතමි. ඉතින් මේ සෙනෙහස අපට විවිධ ස්වරූපයන් හමුවේ විඳගැනීමට මේ සොඳුරු ලොව තුළ ඕනෑ තරම් ඉඩ හසර අපට ලැබී ඇත. මවක් දරුවකුට දක්වන සෙනෙහස, පියෙක් දරුවකුට දක්වන සෙනෙහස, සහෝදර සෙනෙහස ආදී විවිධාකාරයෙන් අපට ආදරය විඳීමට මේ කුඩා ජීවිතය තුල ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ හරි අපූරුවට ය. දස මසක් මව්කුස තුළ පෝෂණය ලබමින් මෙලොව එළිය දකින අපි කුළුඳුල් ආදර සෙනෙහස ලබන්නේ අපේම ආදරණීය අම්මාගෙන් ය. නමුත් ඒ ආදරයේ පසුපස යෝධ සවියක් වෙමින් සෙවනැල්ලක් සේ හිඳ නිබඳවම අප හට නිහඬ ආදරයක් දක්වන්නේ අපේම ආදරණීය පියාණන් ය. ඔහුගේ ආදරයට සීමා මායිම් නැත. එලෙසම එයට මව් සෙනෙහස මෙන් හැඩයක්, මුහුණුවරක් නොමැත. ඇත්තෙන්ම පිය සෙනෙහස යනු අපේ දිවිය පුරාවටම සුවඳ දෙන්නා වූ ලොවෙන් සැඟවුන සදාදරණීය විරාගී ආලයකි. ඒ උත්තරීතර මහමෙර තරම් වූ පීතෘ සෙනෙහස යළි යළිත් මෙලොව ජීවමාන කිරීමේ සංකේතවත් දිනය නම් අද ය.
ජුනි මස තුන්වන ඉරුදින ලෝක පියවරුන්ගේ දිනය නමින් වෙන් කිරීම පිටුපස කථාන්තරය ඉතාම දුක්ඛදායී සංවේදී එකක් බව බොහෝ දෙනා දැනුවත් නොවන කාරණාවක් යැයි මම සිතමි. වර්ෂ 1907 දී ඇමරිකා එකසත් ජනපදයෙහි මොනොන්ගාහි ෆෙයාර්මොන්ට් අඟුරු කර්මාන්තශාලාවේ සේවයේ නියුතුව සිටි 367 ක් වූ සේවකයන් අතරින් කර්මාන්තශාලාවේ සිදු වූ හදිසි පිපිරීමක දී 362 දෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙව්වේ අසුරු සැනෙකෙනි. දිවි ගලවා ගත් 5දෙනා ද පසුව මරණයට පත් වූයේ සිදු වූ බරපතළ තුවාල හමුවේ ය. ඉතාම අවාසනාවන්ත ඛේදනීය අයුරින් සේවක ජීවිත සියල්ලම පාහේ මේ පිපිරීමෙන් බිලි ගත්තේ මුළු මහත් ඇමරිකාවටම දරුණු ඛේදනීය පුවතක් ඉතිහාසයට එක් කිරීමෙනි. මේ අතිශය දුක්ඛදායී කටුක සිදු වීම හමුවේ දරුවන් දහසකට පමණ සිය පියවරුන් අහිමි වීම මේ ඛේදවාචකයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඉතිරි වූයේ ලොව සියලු දෙනාගේම ඇසට කඳුළක් එක් කරමිනි. පිය සෙනෙහස හිටි හැටියේ අහිමි වුණු අසරණ දරුවන් දෙස සානුකම්පිත දෑසින් බැලූවන් අතර එම මියගිය පියවරුන් සදා අනුස්මරණය උදෙසා දිනයක් වෙන් කිරීමේ උදාරතර අදහස ඉදිරිපත් කරනු ලැබුවේ විලියම්ස් අනුස්මරණ මෙතෝදිස්ත බිෂොප්වරියක වූ ග්‍රේස් ගෝල්ඩන් ක්ලේටෝන් විසිනි. සිය පියා අහිමිව හැදි වැඩුණු ඇයට මේ ඛේදවාචකයෙන් අසරණ වුණු දරුවන්ගේ සංවේදී සිත මනාව තේරුම් ගැනීමට අපහසු නොවන්නට ඇත. වර්ෂ 1908 දී ජූලි මාසයේ ඇයගේ අදහස අනුමත කරමින් ආරම්භ වූ ලෝක පියවරුන්ගේ දිනය අද දක්වාම අප අනුස්මරණය කරන්නේ ගෞරවය මුසු භක්තියකිනි.
කුඩා අවධියේ පටන් බහ තෝරන අවධිය, පාසල් අවධිය අප වැඩිපුරම කාලය ගත කරන්නේ අපේ මවත් සමඟ ය. උදෑසන නිවසින් පිටව යන ඔහු අප දකින්නේ සැඳෑ යාමයේ දී ය. ඔහු සමග ගත කරන අල්ප කාලය මා සිතන්නේ අපට එකල ඒ නිහඬ සෙනෙහස තේරුම් ගැනීමට ප්‍රමාණවත් නොවුවා සේ ම එයට සුදුසු මානසිකත්වයක් ද නොවුන බව මගේ හැඟීම ය. නමුත් වයසින් අද වන විට තරුණ වියට එළඹ සිටින අපට මේ පීතෘ සෙනෙහස පිටුපස ඇති කටුකත්වය, කැපවීම, දහදිය, මහන්සිය මොනවට නම් අවබෝධ වන්නේ ද?
දුක් කම්කටොලු සඟවා නැති බැරි කම් සඟවා වෙහෙස මහන්සිය එක් සිනා රැල්ලකින් මකා දමා අපේ ජීවිතය රෝස මල් යහනාවක තැබීමට ඔහු නොගත් වීර්යයක් නොමැති බව තරුණ වියට පත් අපට තවදුරටත් එය රහසක් නොවනු ඇත. නමුත් ඔහු අදත් අප වෙනුවෙන් වෙහෙසෙන්නේ ය. දහදිය කදුළු වගුරන්නේ ය. ඒ සියල්ල සඟවා අදටත් සිනා මුසු මුහුණින් හැකි සැමදෙයක්ම අඩුවක් පාඩුවක් නොතබමින් ලබා දීමට නිරතුරුවම ඇප කැප වී සිටියි. ලොවක් බිහි වන්නේ මවගේ කිරිවලින් හා හිරු රශ්මියෙන් යැයි පවසන අපට ඇත්තෙන්ම මේ සොඳුරු මිනිසාගේ ආදරය අමතක වීද? මවගේ සෙනෙහස පිළිබඳ මහ ඉහළින් වැනුම් කරන අපට මේ සොඳුරු ආදරය අමතක වීද?
ගෙදර බුදුන් අම්මා යැයි පවසන අප පිය පදවිය ගැන කතා කරන්නේ ඉතාම අල්ප වශයෙනි. අඩුවෙන් කතා කරන සැම දෙයක් ගැනම උපේක්ෂා සහගත දෑසින් බලන විටෙක මවටත් වඩා අතිශය සංවේදී චරිතයක් වන අප්පච්චි යනු අප අමතක නොකළ යුතු අම්මා තරම්ම වූ ආදරණීය මිනිසෙකි.
සිය ලේ ධාතුව මවගේ කුස තුළ පිළිසිඳ ගත් දවස පටන් අප්‍රමාණ සතුටට පත් වන ඔහු එදා පටන් සිය වෙහෙස මහන්සිය නොතකා දිවා රෑ නොබලා තම දියණියගේ පුතාගේ අනාගතය පිළිබඳ සොඳුරු සිහින මවන්නේ ඔවුන්ට සැබැවින්ම සැපවත් ජීවිතයක් ලබා දීම උදෙසාම ය. සිය ලේ කැටියා මෙලොවට ආ දා පටන් උස් මහත් වී ජීවිතය ජය ගන්නා තුරුම මව මෙන්ම යෝධ සවියක් වෙමින් අත දෙන්නේ මේ නිහඬ ආදරයම ය. මවක් තරම් සිය දරුවන් සමඟ කුළුපග නොවුන ද, ආදරය එළිපිට නොපෙන්වුව ද, උත්තරීතර පීතෘ සෙනෙහස රාත්‍රිය මෙන් නිහඬ, මහමෙර තරම් සුවිසල්, සප්ත මහ සාගරය තරම් ගැඹුරු, සම මස් ඇට නහර දක්වා කිඳා බැසුනු ලෙය හා බැඳුණු උත්තරීතර ස්නේහයකි.
ඉදින්, කාඩ්බෝඩ් වීරයන් පරදා අපේ ජීවිතවල සැබෑ ම වීරයා වුණු අපේම ආදරණීය පියවරුන් සමරන අමිල පිය සෙනෙහස ජීවමාන වන අද දිනයේ Colombo Beacon වෙතින් සියලූම පියවරුන්ට පිදෙන ගෞරවනීය උපහාරයයි මේ!
Design by Bimal Navin
Leave a Comment