විශේෂ දිනයන්

දිවි පුදා රැක ගත් ලක් මව සුරකිමු

සෑම අතින්ම ස්වධීනව, ස්වයංපෝෂිතව තිබූ මගේ මාතෘභූමියට ඈත අතීතයේ සිටම රිදවීම් ඇති වූවා. එළාර,චෝල වැනි සොළී ආක්‍රමණ වගේම 1597-පෘතුග්‍රීසි, 1640-ලන්දේසි, 1815-ඉංග්‍රීසි ජාතිකයන්ගේ ආක්‍රමණ වලට යටත් වීමට සිදුවූවා.මෙම සියලු ගැටුම් බල අරගලය හේතුවෙන් ඇතිවූවන්. 1948 පෙබරවාරි 04 වෙනිදා නිදහස ලැබූවත් අපට පූර්ණවූත් ස්වධීනවූත් නිදහස හිමිවූයේ වීර දිනය නොහොත් ජනරජ දිනය ලෙස හඳුන්වන 1972 මැයි 22දා ය.

එදා පටන් නිදහස්ව නිවහල්ව පැවති ලක් මෑණියන් 1980 දශකයේ මුල් භාගයේ නැවතත් අඳුරට ඇද දමමින් යුද්ධයකට මුල පිරුවා. සාමයේ පරවියන් දවා අළුකරමින් යුද්ධයේ ගිනිදැල් මුළු රටම වසාගත්තා.මෙම යුද්ධය පෙර සිදුවූ සියලු ගැටුම් වලට වඩා සංවේදී වූවා.ඒ වෙන කිසිවක් නිසා නොව එකම රටක එකම මවකගේ දරුවන් විලස බැඳී සිටි ජාතීන් අතර ගැටුම් ඇතිකර තම බලලෝභී පටු අරමුණු මුදුන්පත් කරගැනීමට යම් කොට්ඨාසයක් කටයුතු කිරීම හේතුවෙන්.නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු නොවුනත් ඔවුන් විනාශකාරී වූ තම අරමුණු පසුපස හඹායෑම නොනවත්වාම සිදුකරනු ලැබූවා.

මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් රට මුදාගැනීමට කිසිදු අභියෝගයකට නොසැලී නොබියව මුහුණදෙන එඩිතර ශක්තිමත් මානුෂීය ත්‍රිවිධ හමුදාවක් සිටීම ලක්වැසි ජනයාගේත් මාතෘභූමියේත් වාසනාවක්.

පොදු ස්ථානවල බස් රථවල බෝම්බ පුපුරවමින් මරාගෙන ප්‍රහාර දියත් කරමින් බෞද්ධයාගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාව,ශ්‍රී මහා බෝධිය විනාශකිරීමට ප්‍රයත්න දරමින් ත්‍රස්තවාදීන් ගෙනගිය මහා ව්‍යසනකාරී ක්‍රියා පිළිවෙත්; මාවිල්ආරු සොරොව්ව වසා දැමීම වැනි ඉතා අමානුෂික ලෙස ජනතාව පීඩාවට පත්කල කිසිදු තෙතමනයක් නොමැති හදවත් මුළුමනින්ම තුරන්කර දේශය රැකගැනීමට මිහිපිට දෙවිවරුන් කල සේවය අමිලයි.

ඝන කැළෑ තුල සති ගණන් නිදිවරමින් හරිහැටි කෑමක්, වතුර පොදක් නැතුව විටෙක මඩ වගුරක ගහක් මුල රැය ගෙවා දමමින් තවත් වරෙක සතුරාට ඉව වැටීමට ඉඩ නොදී සිටි තැනම සිටි ලෙසම වරුගනන් කල් මරන හැටි; මොහොතක් සිතන්න.අපට හැකිද එවන් කැපකිරීමක් කරන්නට තම රට, තම ජනතාව වෙනුවෙන් නොව අවම වශයෙන් තමන් වෙනුවෙන්වත්? අවංකවම බැහැ නේද?.තම දෙමාපියන්ගෙන්, බිරිඳගෙන්, දරුවන්ගෙන් ඈත්ව තම රට රැකගන්න අනෙක් පවුල් රැකගන්න තම දිවිය පරදුවට තියන පරාර්ථකාමී හදවත් ඇති මිනිසුන් ලක්මවුන් සතු වීම කෙතරම් වාසනාවන්තද?

29000 ක් පමණ විරුවන් තම දිවිපුදා 40000 ක් පමණ විරුවන් තම රුධිරය වගුරුවා අත් පා මවුබිම වෙනුවෙන් දං දී කළ පරහිතකාමී කැපවීම අසමසමයි.

1983 ජුලි 23 ඇරඹි මෙම යුධ ගිනිදැල් වසර 25 කුත් මාස 9යි සති 3 යි දින 4 ක් පැවති අතර 2009 මැයි 18 දින වීරෝධාර රණවිරුවන් විසින් එම ගිනිදැල් නිවා එක් ධජයක් යටතේ එක් පවුලක් ලෙස අභිමානයෙන් යුතුව හිස එසවීමට උරැමකර දුන් නිදහස රැක ගැනීම යුතුකමක් සේම වගකීමක්.

ඉතින් තරුණ අපේ වගකීම රටක නැගුමට උර දෙමින් මේ ලැබූ නිදහස ආරක්ෂා කර ගැනීම නොවේ ද? සිතා බලන්න. අපේ මව්බිමේ සුරක්ෂිතතාව අපේ නිදහසයි. ඒ වෙනුවෙන් ඇප කැප වීම අපේ වගකීමයි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විහඟනී පෙරේරා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment