සාමාන්‍ය

දිවි සැරියට සමු දුන් මහාචාර්ය කාලෝ ෆොන්සේකයාණනි

ඔබට නිවන් සුව!!!

වාග් කෞශල්‍යයේ අභිමානයක් වූත්,
ලාංකීය දේශපාලනයේ මහා මේඝ පර්වතයක් වූත්,
ලාංකීය විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ අමරණීය නාමයකට උරුම ලද්දා වූ දේශ හිතෛෂී යුග පුරුෂයෙකු වූත්,
සුප්‍රකට ගීත රචකයෙකු වූත් අද්විතීය සොඳුරු මිණිසාණෝ සිය දිවි සැරිය, ජීවන ගඟේ තොටුපල වෙත පදවා ස්වයං මාවතක් ඔස්සේ නික්ම ගොස් හමාරය.

ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්, ශාස්ත්‍රීය හා දේශපාලන ක්‍රියාකාරිකයෙක්, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙක් වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වර්ෂ 2019 ක් වූ බිනර මස දෙවන සඳු දින හිරු අවරට හැරෙත්ම තම ජීවන ගමනේ අවසන් හුස්ම පොද සිය නිවසේදීම වාතලයට එක් කරමින් අප අතරින් සඳහටම සමු ගතතේය. මිය යන විටත් ඔහු 86 වන විය ගත කරමින් පැවතුනි.

1933 මාර්තු මස සිව්වන දින කොළඹ ද සොයිසා මාතෘ නිවහනේ දී ජන්ම ලද මෙතුමා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය හදාරා, සිය ද්වීතිය අධ්‍යාපනය උදෙසා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට ප්‍රවේශ වන ලදී. එහිදී ද සාර්ථක අධ්‍යාපන කාලයකින් පසු කොළඹ විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලත් මෙතුමාණෝ එහිදී තම සරසවි සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්නා ලදී. පසුව සිය පශ්චාත් උපාධිය උදෙසා එංගලන්තයේ පිහිටි එඩින්බරෝ විශ්ව විද්‍යාලය බලා පිටත් වූ මෙතුමාණෝ නැවතත් සිය මාතෘ භූමිය උදෙසා සේවය පිණිසම සිය මව් භූමිය කරා සැපත් වීය.

ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙසින් දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ පටන් සුවහසක් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශිල්ප ඥානය ආලෝකමත් කළ මෙතුමාණෝ වර්ෂ 2012 සි‍ට 2017 දක්වා කාල පරාසය තුල වෛද්‍ය සභාවේ ද ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන ලදී.

ට්‍රොට්ස්කිවාදී සම සමාජ පක්ෂයේ (එල්එස්එස්පී) ප්‍රමුඛ සාමාජිකයෙක් වූ මොහු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ ද සාමාජිකත්වය දරමින් කෝට්ටේ ශාඛාවට ද නායකත්වය සපයන ලදී. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දැඩි විවේචනාත්මක මතධාරියකු වූ මෙතුමාණෝ වර්ෂ 1980 දශකයේ පූර්ව භාගයේදීත්, ගෙවී ගිය පසුගිය වසර කිහිපය තුලත් ලාංකීය දේශපාලනය සමඟ උරෙන් උර ගැටෙමින්, රජයන් විසින් රැගෙන ආවා වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කෙටුම්පත් සියල්ලකටම එරෙහිව, පුරෝගාමී සටන්කරුවෙකු ලෙස මූලිකත්වය ගනිමින් ලාංකීය නිදහස් අධ්‍යාපනයේ ස්වෛරීතාවය උදෙසා මහත් වූ පරිශ්‍රමයක් දරන ලදී. එහි ප්‍රතිඵලයන් ලෙස විවෘත කලා වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන් සඳහා ද ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතියට සමු දෙමින් දොරඟුලු ලා සඳහටම සමු දී අත වැනීමට සිදු විය.

අවිද්‍යාව මූලික කොටගත් චින්තනයන් කෙරෙහි ප්‍රබල ලෙස පහර එල්ලකළ මහාචාර්ය කාලෝ ෆොන්සේකයාණෝ මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් සමාජය මුදවාගනු වස් සිය අවසන් හුස්ම පොද තෙක්ම සටන් අත් නොහැරීය.

උත්තම ගණයේ ගත් කතුවරයෙකු මෙන් ම, සුප්‍රකට ගීත රචකයෙකු ද වූ මොහු, කාලෝචිත ගී (1992) රත්තරන් දුවේ (2006) නමින් නම් ලද්දා වූ ස්වයං රචනයන් ඇතුළත් ගීත ඇල්බමයන් ද්විත්වයක්ද නිකුත් කරන ලදී.

විජය කුමාරතුංග, රන්ජන් රාමනායක ඇතුළු කලාකරුවන්ගේ සමීපතම ඥාතිවරයකු වූ මෙතුමාණෝ සිය අවසන් කටයුතු තම මරණයෙන් පැය 8 ක් ඇතුළත සිදුකරන ලෙස සිය අවසන් කැමැති පත්‍රයෙන් ඉල්ලා පැවතිණි. දිරා යන කුණු කයද ඵල රහිත නොවන සේ දැනුම පෝෂණය කරනු වස් රාගම වෛද්‍ය පීඨයට ලබා දීමට මෙතුමාණන් සිය අවසන් කැමැත්තෙන් ඉල්ලා පැවතුණි. ඒ අනුවම කටයුතු කරලීමට එකඟතාවය ඵල කරමින් රතු කමිසයකින් හා සුදු කලිසමකින් හැඩ ගැන්වූ දේහය ඥාතීන් විසින් රාගම වෛද්‍ය පීඨයට ලබා දීමට නියමිතය.

ලක්දිව ඉතිහාසයේ ස්වර්ණමය ගෙත්තමින් සිය නාමය බැබළ වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයකුගේ ජීවන ගමන, දැවැන්ත යුග මෙහෙවරකට නැවතීමේ තිත තබමින් ම මෙලෙසින් සමාප්තිය සනිටුහන් කරවීය.

අමරණීය නාමයක උරුම කරුවකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාණනි, කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් Colombo Beacon අපි ඔබට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment