සාමාන්‍ය

දුවන්න හොද නෑ, බබා සිල් අරන්!

අද වෙසක් පුන් පෝ දිනයයි. සැවොම පහන් වූ සිතින්,ශාන්ත ගමනින් එක් රැස් වන්නේ ගමේ පුංචි පන්සලටය. හිරු පායා හෝරාවක්වත් ගෙවී ගොස් නැති බැවින් දැඩි හිරු රශ්මියක් තිබුනේද නැත.

පන්සලට පැමිණෙන වැඩිහිටියන් අතරේ, හිස බිමට බර කරගෙන, ඉතා සන්සුන් ලීලාවෙන් පන්සලට පැමිණෙන පුංචි අමුත්තෙක්ද විය.ඒ දොඩම් ගෙඩි දෙකක් තරම්වත්  උස නැති පොඩි කොලු පැටියෙකි.ඔහු නමින් සිරිමල් වේ. ඔහු ගමේම හුරතලාය. ඔහු ගමේම සිටින වස වර්තියාය. වයස අවුරුදු 4ක් පිරුනෙත් මේ ඊයේ පෙරේදාය. සුදුම සුදු සරමයි කමිසෙයි දාගෙන, කොලුවටත් වඩා ලොකු උතුරු සළුවකුත් දාගෙන, සුපුරුදු දින චර්යාවෙන් බැහැර වි, පන්සලට පැමිණෙන්නේ ඔහුගේ ආච්චි අම්මා සමග සිල් ගැනීමටය. දකින දකින සැවොම ‘ ෂෝක් කොලු පැටියා’ යැයි කියන්නේ අද සිරිමල්ගේ තියන පින් පාට නිසාය.

ගමේ පන්සල උපාසක උපාසිකාවන්ගෙන් පිරි යනවාත් සමගම සිල් සමාදන් වීම ආරම්භ කළා.

හැබැයි අපේ සිරිමල් උපාසක මහත්තයටනම් සිල් සමාදන් වීමට වඩා හිත තිබ්බේ පන්සල් වත්තේ දුවන්නටය, පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ටෝෆියක්, චොක්ලට් කැල්ලක් ඉල්ලා කෑමටය. ආච්චි අම්මා මදක් තරවටු ස්වරුපයෙන් ඔහු දෙස බැලුවේ මේ දැගලීම දැකපු නිසා. එත් හැමදාම ආච්චි අම්මගෙන් බැනුම් අහන මේ කොලුවටනම් ගානක්වත් උනේ නෑ.

ආච්චි අම්මාගෙත් සීලය නැති වෙන ලකුණු පහල වෙන නිසා, ආච්චි අම්ම සිරිමල්ව ලගට ගෙන සීලය, සිල් ගන්නේ ඇයි, අපි ඉන්න ඕන කොහොමද කියල ඒ පුංචි හිතට තේරෙන විදියට කියල දුන්නා. මේ හුරුබුහුටි කොලුවට ආච්චි අම්මා කියලා දුන්න ඔක්කොම දේවල් තේරුනාද දන්නේ නැ. හැබැයි “ආච්චි අම්මේ අද මම පොඩි උපාසක මහත්තයෙක් වෙනවා” යැයි කියල ආච්චි අම්මා ගාවින්ම වාඩි උනා. ආච්චි අම්මා එක්කම සිල් සමාදන් උනා.

පස්සේ ආච්චි අම්මා එක්කම මල් පහන් පුජා කරන්නත් ගියා. “පුතේ මේ මල් ටික දෝවනය කරන එන්න”ආච්චි අම්මා කිව්ව සැනින් මල් පොකුර අතට ගත් සිරිමල් පැන් ඉසින ස්ථානයට දුවන්නට පටන් ගත්තේ දියයට දැමු රබර් බෝලයක් මෙන් ඔහුගේ ළමා ගතිය ඉස්මතු කරමින්ය.. එත් අඩි දෙක තුනක් දිව්ව සිරිමල් එසැනින් නතර වී,

“දුවන්න හොද නෑ, බබා සිල් අරන්” යැයි තමාටම කියා ඉතා සන්සුන්ව සෙමෙන් අඩිය තබමින් පැන් ඉසින ස්ථානයට යන්නට වුයේ එතැන සිටි හැමෝගෙම මුවගට සිනහවක් එක් කරමිනුයි.  එදෙස බලා සිටි ආච්චි අම්මාද, සිල් රෙද්ද පෙරෙව්වත් පොඩි එවුන් පොඩි එවුන්මය කියන්නාක් මෙන් සිනාසුණාය.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නෙත්මි දයාරත්න

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment