දැනුම

දූරියන්

ඉංග්‍රීසි නාමය :- Durian
උද්භිද නාමය :- Durio zibethinus

මේ ජූලි මාසයයි. ඉතින් ජූලි අගෝස්තු යනු දූරියන් බහුලව දැකගත හැකි කාල වකවානුවකි. දූරියන් වල ගුණ අගුණ ගැන Colombo Beacon පාඨක ඔබට දැන ගැනීමට මේ සුදුසුම කාලය යි.

ලෝකයේ රුචිකත්වය අතින් පුළුල් වෙනසක් දක්වන පලතුර වන්නේ දූරියන් ය. එයට හේතුව වන්නේ දුරියන් වල පවතින අධික ගන්ධය යි . අයෙකුට එය වඩාත් අධික සුගන්ධයක් වන අතර තවත් අයෙකුට එය වඩාත් අප්‍රියජනක දුගන්ධයක් ය.

අග්නිදිග ආසියාතිකයන් විසින් “පලතුරු අතර රජු” ලෙස හඳුන්වන දූරියන් එහි විශාලත්වය දැඩි කටු සහිත ලෙල්ල සහ ඊටම ආවේණික සුගන්ධය නිසා විශේෂත්වයක් දක්වයි.

දූරියන් බෲනායි, මැලේසියාව සහ ඉන්දුනීසියාවට ආවේණික පලතුරක් වුවත්, වර්තමානයේ දී එහි ප්‍රධාන සැපයුම්කරුවා වන්නේ තායිලන්තය යි.

ලෝකයේ දූරියන් ප්‍රභේද තිහක් පමණ ඇත. එයින් නවයක් පමණ පරිභෝජනයට සුදුසු බව සනාථ කරගෙන ඇත. නමුදු වරින් වර සිදුකරපු බද්ධයන් හේතු කොට ගෙන දූරියන් ප්‍රභේද තුන්සියයක් පමණ මේ වන විට බිහි වී ඇත.

දූරියන් ශාක විශාල වන අතර එහි ප්‍රභේදය අනුව මීටර 25 – 50ත් අතර වර්ධනයක් දක්නට ලැබේ. දූරියන් ශාකයකට වසරකට මල් වාර දෙකක් පමණ පවතින අතර එහි ප්‍රභේදය, පවතින ප්‍රදේශය, ශාකයේ කුලය අනුව එම වකවානුව වෙනස් වේ. සාමාන්‍යයෙන් දූරියන් ශාකයකට වසර හතරකට පහකට පමණ පසු ඵල දැරීමට හැකියාව ඇත. දූරියන් පරාගනය වවුලන් විසින් සිදු කරනු ලබයි.

එහි වර්ගය අනුව හැඩයේ ස්වරූපය, මදයේ පැහැය සහ ලෙල්ලෙ වර්ණය වෙනස් වේ. හැඩය වටකුර ස්වභාවයේ සිට දිගැටි ස්වරූපය දක්වා ද, මදයේ පැහැය අතින් ලා කහ පැහැයේ සිට රතු පැහැයට ද, ලෙල්ලේ වර්ණය ළා කොළ පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා ද වෙනස් වේ.

දූරියන් ආහාරයට ගැනීම සඳහා හොඳින් ඉදී තිබීම අත්‍යවශ්‍ය නොවේ. දූරියන් මදය ඉදීම සිදු වන විවිධ අවස්ථාව අනුව ආහාරයට ගැනීම සිදු කරයි. සමහර අවස්ථාවල දී දූරියන් බීජ පිස ගැනීම ද සිදු කරනු ලබයි.

දූරියන් ගෙඩියක් ගසෙන් වැටුනු පසු දින දෙකත් හතරත් කාලයක් අතර දී ඉදීමට ලක් වේ. නමුත් දින පහක් හෝ හයක් ඉක්ම වූ පසු ඉදීම වැඩිවී අප්‍රසන්න තත්ත්වයට පත් වේ. කල්ගත වන විට දූරියන් නටුවෙහි තෙතමනය අඩු වන නිසා දූරියන් ගෙඩියක් මිලට ගැනීමේදී නටුවේ තෙතමනේ ගැන සැලකීම ඉතා වැදගත් ය .

ශ්‍රී ලංකාවේ පහත රට හා මැද රට තෙත් කලාපයේ දුරියන් හොඳින් වගා කළ හැක. තෙත් කලාපයේ දිස්ත්‍රික්ක අතරින් ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල, නුවර, කෑගල්ල සහ මාතර සමහර ප්‍රදේශත් දූරියන් වගාව සඳහා සුදුසු වේ .

දූරියන් අනුභව කරන අයට නම් දූරියන් වලින් ශරීරයට බොහෝ ගුණ ලබා ගත හැක.

මොළේට යන රුධිර ප්‍රමාණය වැඩි කිරීම, රුධිරය පිරිසිදු කිරීම, රුධිරයේ කැටි ගැසීම ඇතිවීම වැළැක්වීම ආදියට දූරියන් ආහාරයට ගැනීමෙන් ප්‍රයෝජන රැසක් ලැබේ.

අධික ඔසප් වේදනාවෙන් සහනය ලැබීමට, ලිංගික ශක්තිය වැඩි වීමට දූරියන් ඉතා යෝග්‍ය ය. උණ රෝග සහ පණු රෝග වල දී දූරියන් පලතුර ආහාරයට ලබා දෙයි.

ඉරුවාවාදයෙන් පීඩා විඳින්නන්ට දූරියන් හිතකර පලතුරකි. මානසික රෝගයක් යනු රෝගයක් වුවත් එය මතු පිටින් ඉස්මතු නොවේ. එබැවින් විෂාදය නම් මානසික රෝගී තත්ත්වයට දුරියන් යනු හිතකර පලතුරකි.

සුන්දර පැහැපත් සමක උරුමයට අප කවුරුත් ආසා කරයි. දූරියන් යනු සුන්දර පැහැපත් සමක උරුමය හිමිකර දීමට ඉස්තරම්ම පලතුරකි.

සුව නින්දකට සුදුසු ම පලතුරක් වන්නේ ද දූරියන් ය. අධි රුධිර පීඩනය පාලනයට, ශරීරයේ ලේ වල රතු සෛල නිපදවීමට හා වර්ධනය කිරීමට දූරියන්වල අපූරු ගුණයක් ගැබ් ව ඇත.

ආහාර ජීරණය අපහසු තත්ත්ව වලට මෙන්ම මල බද්ධය සඳහා ද බඩවැල් වල ඇතිවන පිළිකා තත්ත්ව වලට ද දූරියන් ගුණ ය.

නමුත් කෙතරම් ආසා කළ ද ඇදුම රෝගයෙන් පෙළෙන්නන්, සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳින්නන් දූරියන් ආහාරයෙන් වැළකීම ඉතාමත් සුදුසු ය. තවද ගර්භණී මාතාවන් ද සිය ගර්භණී සමයේ දූරියන් ආහාරයට ගැනී එතරම් හිතකර නොවේ.

තොරතුරු : මහරගම දේශීය වෛද්‍ය ආයතනයේ ප්‍රකාශනයක් ඇසුරිනි.

Design by Samith Khanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment