සාමාන්‍ය

දෘෂ්ටියෙන් ඔබ්බට…

ඒකකාර ජීවන රටාව, මානසික සන්තෘෂ්ටිය නිශේධනය කරමින්, දීර්ඝ නින්ද්‍රාවක් ඒක දෘෂ්ටික කර ගනිමින්, මනෝ චින්තනික කළම්ඹනයක නියැලී ඇත්තේ චෛතසික අභ්‍යන්තරය සමඟ ද්වන්ත සංග්‍රාමයකට අර අදිමිනි. පවතින්නා වූ වෙහෙසකර විභාග මානසිකත්වයෙන් මිදෙනු වස් ස්වයං විචාරයක නියැළීමේ අභිලාෂයෙන් මා, මාගේ අභ්‍යන්තරයම පිරික්සීමට තීරණය කළෙමි. එහි අවසන් ප්‍රතිඵලය, රචිත වන්නා වූ හැඟීම් සමුදායක් ලෙසින් මෙතැන් පටන් මෙලෙසින් ඔබ හමුවේ දිග හැරෙනු ඇත.

දෘෂ්ටි ගතවන සිද්ධීන් හා වස්තූන් කෙරෙහි මනෝ අභ්‍යන්තරිකව පැන නගින්නා වූ ප්‍රශ්නාවලියක් උදෙසා තමා විසින්ම ප්‍රශ්න කර ලැබ ගන්නා වූ පිළිතුරු කෙරෙහි ස්වයං තෘත්තිමත්භාවයකට පත්වන්නා තුරුම සංසන්දනාත්මක ස්වයං විචාරයක නිරත වීම, බහ තෝරන කුඩා අවධියේ වූ ළදරුවා කෙරෙන් විද්‍යාමාන වූවත්, වයසින් මුහුකුරා යත්ම, ලබන්නා වූ ඒ ආභාෂය, පරිණත වන ශිෂ්‍යයා කෙරෙන් අතුරුදහන් වී යනුයේ කාලානුරූපීයව ය.

පවතින්නා වූ තරඟකාරීත්වය හමුවේ විචාරශීලී අධ්‍යන ක්‍රමය මගහැර, ගිරා පෝතක අධ්‍යන ක්‍රමයක් අනුගමනය කිරීමට වර්තමාන ශිෂ්‍යයා නමැති ජෛවීය සංකල්පය පෙළඹීම, ඊට බලපවත්නා වූ ප්‍රධානතම සාධකය විය යුතුය. එහි අවසන් ප්‍රතිඵලය, සමාජ ගත වන්නා වූ බොහෝ චරිතයන් දැනුමෙන් මුහුකුරා ගියා වූත්, අධ්‍යාත්මික වශයෙන් තවමත් ළදරු අවධිය ගත කරන්නා වූත්, පුද්ගල චරිතයන් බවට නිරායාසයෙන්ම පත්වීම ය.

දැනුමෙන් ස්වයංපෝෂිත චරිතයක් තුල ආධ්‍යාත්මිකව හීන පුද්ගලයකු නිර්මාණය වීම අනාගත ලෝකයා කෙරෙහි කිනම් නම් ආකාරයකින් බලපෑම් කරනු ඇති දැයි, මදක් අවධානය යොමු කළහොත්, පසක් වන්නා වූ, රැසක් කරුණු, පහසුවෙන්ම ඔබටත් අවබෝධ කර ගත හැකි වනු නිසැකය.

දැනුම යනු හුදෙක් පුද්ගල චරිතයක් උදෙසා පිරිනැමිය හැක්කා වූ එක් සාධනීය මට්ටමක් පමණක් ම වන බව වත්මන් සමාජය විසින් අවබෝධයෙන් ම පසක් කර ගන්නා තුරු, ඔවුනොවුන් විසින්, දීර්ඝ ලෙස පවත්වා ගෙන ආ, උක්ත කථනයට හසු වූ සමාජ ක්‍රමයම, බිහි වන්නා වූ අනාගතයටත් මේ ලෙසින්ම වර්ධනය කරමින්ම පවත්වා ගෙන යනු ඇත. ප්‍රතිඵලය, ඉදිරියටත් මෙය තුන්වන ලෝකයේ දූපත් සමූහයන් ගෙන් එකක් පමණක් ම ලෙස ලෝකය හමුවේ ඉදිරියටත් වැජඹීම ය.

දැවැන්ත ලෝක සංග්‍රාමයක අවසානයේ, නටඹුන් ලෙසින් ඉතිරි වූ හිරෝෂිමා නාගසාකි වන් නගරයන් උරුම කරගෙන ද, අද අද්විතීය සාර්ථකත්වයක් හිමි කොට ගෙන, පවතින ලෝකයේ දැවැන්තයන් බවට පත් වන්නට ජපානයට හැකියාව ලැබී ඇත්තේ, දැනුමට සාපේක්ෂව ආධ්‍යාත්මික ගුණ වගාවක් ද කුඩා අවධියේ පටන් ජපන් ළදරුවා තුල සශ්‍රීකව වගා කිරීමේ නියැලීම කරණ කොට ගෙනය. මහ මග ඇවිද යාමේ පටන් ලෝකයක් හමුවේ පෙනී සිටින එකී නොකී සෑම අවස්ථාවකම තම ජාතිය විසින් උරුම කර දුන්නා වූ සභ්‍යත්වය ජපනා නම් සංකල්පයත් සමඟ ඔවුනටම අනන්‍ය වූ විලාසයකින් ලෝකය හමුවේ නිරූපණය වන්නේ එබැවිනි.

දීර්ඝ ඉතිහාසයක් මෙන්ම පෞඪ සංස්කෘතියකට ද උරුම කම් කියන්නා වූ ජාතියක් වශයෙන් ලාංකීය ජනී ජනයා තුලද කිසිදු ජාතියකට නොදෙවෙනි වන්නා වූ සභ්‍යත්වයක් හා ශිෂ්ටත්වයක් ජානමය වශයෙන්, උරුමයෙන් රැගෙන ආවද නිර්මාණශීලී චින්තනය ඔපමට්ටම් කර නොගැනීම නිසාවෙන් ලෝකයා හමුවේ තවමත් අප සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ලේබල් ගතව පවතියි. පුද්ගලානුබද්ධව ඇති කර වන්නාවූ මානසික වහල්භාවය පසෙකලා, දැන්වත් අප රටක් වශයෙන් දියුණු වන්නට මගක් පාදා ගැන්ම අත්‍යවශ්‍ය කරුණක් වන්නේමය. නැතහොත් කෙතරම් උගත් මතු පරපුරක් ලෝකයා හමුවට දායාද කළ ද පවතින තත්වය ඉදිරියටත් මේ ආකාරයෙන්ම ගොඩ නැගෙනු නවතාලිය හැක්කක් නොවන්නේය .

දෛනික දේශපාලනයෙන් යමක් බලාපොරොත්තු වනවාට වඩා වර්තමානයේ ඵලදායි වනුයේ ඒක පුද්ගල ස්වයං චින්තන ආධ්‍යාත්මික ගුණ වගාවක් ආරම්භ කරලීමය. වර්ධනය වන එක් චින්තන මනෝභාවයක් ආධාර කර ගනිමින් දහසක් ආධ්‍යාත්මයන් පෝෂණය කරලීමට හැකි වීම උක්ත කරුණ ඉදිරිපත් කරලීම සඳහා බලපැවැත්වූවා වු ප්‍රධානතම අරමුණ වන්නේය.

එබැවින් ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් මෙතැන් පටන්වත් තරඟකාරී දැනුම පොදි බැඳීමේ ක්‍රියාවලියට සමපාතවම ආධ්‍යාත්මික උසස් වූ මානව ගුණයන්ගෙන් පෝෂණය වූ ශිෂ්‍ය පරපුරක් ලෙසින් සමාජ ගත වන්නට ක්‍රියා කරලීම උගත් අප සියල්ලකගේම වගකීමක් වන්නේය. එවිට ආත්මාර්ථකාමී ලෝකයක් හමුවේ පරාර්ථකාමී චරිතයන් අතලොස්සක් හෝ සමාජ ගත වනු ඇත.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment