විශේෂ දිනයන්

නත්තලේ සැබෑම අරුත ලොවට පසක් කරන “සාන්තුවර නිකලස් මුනිතුමා”

නත්තල් සමයේ ආරම්භයත් සමඟම ලොකු පොඩි කවුරුත් නත්තලට ආදරේ කරන සියලු දෙනාගේ අවධානය දිනා ගන්නා පුද්ගල චරිතයකි “නත්තල් සීයා”. ඉංග්‍රීසි බසින් “Santa Clause” ලෙසත්, පැරණි බ්‍රිතාන්‍ය බසින් “Father Christmas” යන අනුවර්ත නාම වලින් හැඳින්වෙන කිතුනු රදගුරුවරයෙකු වූ මෙතුමන් ගේ සැබෑම ජීවිත කතාව,  එතුමන්ගේ මංගල්‍ය දිනය ඊයේ දිනයට (දෙසැම්බර් 06 වන දින) යෙදී තිබු බැවින් එය සිහිපත් කිරීම වැදගත් යැයි මම සිතමි.

පෙර සටහන් කළ පරිදි Santa Clause යන ඉංග්‍රීසි නාමයට පසුබිම් වන්නේ “Saint. Nicholas” යන නාමයයි. සිංහලෙන් සාන්තුවර නිකලස් ලෙස හැඳින්වේ. සාන්තුවරයෙක් වනාහි කතෝලික සහ වෙනත් පෙරදිග කිතුනු සභාවන් මනුෂ්‍ය වර්ගයා උදෙසා සුවිශේෂි කැපකිරීම් කෙරු පුද්ගලයන් උසස් කොට සැලකීමට ලබා දෙන ගෞරව නාමයක් ලෙස සරලව පහදන්න පුළුවනි. නිකලස් තුමා ද එලෙස අපට හමුවෙන ඉතා වැදගත්, කිතුනුවන් වගේම අනෙකුත් ආගම් අදහන බොහෝ දෙනකෙු පාහේ ඉතා ආදරය කරන චරිතයකි. එතුමාගේ ජිවීත කතාව මම මෙසේ ආරම්භ කරමි.

නිකලස් තුමා උපත ලබන්නේ නිරිතදිග තුර්කියේ පැටාරා නම් ප්‍රදේශයේ දී ය. ඒ,  ක්‍රි.ව 270 දී යැයි සැලකේ. එකල මෙම පැටාරා ප්‍රදේශය රෝම අධිරාජ්‍යට යටත්ව තිබිණි. නමුදු මෙම ප්‍රදේශය ග්‍රීකයන් බහුතරයක් සිටි, ග්‍රීක සංස්කෘතිය මුල් බැසගත් ප්‍රදේශයකි. නිකලස් තුමා උපත ලබන්නේ ‘එපිෆේනියස්’ සහ ‘යොහැනා’ යන ධනවත් යුවලකට දාවයි. නමුදු එතුමා කුඩ වයසේ දී ම දෙමව්පියන් අහිමි වු බව සඳහන් වේ. රදගුරුවරයෙකු වු එතුමන්ගේ මාමා කෙනෙකු විසින් නිකලස් තුමා ඉතා හොඳින් රැක බලාගත් බවටත්, එතුමාට ඉතා හොඳින් දහම් කරුණු ඉගැන්වු බවත්, කිතුනු පොතපත පරිශීලනයට සහ සංරක්ෂණයට ඉගැන්වු බවත් සඳහන් වේ. මෙම පසුබිම තුළ නිකලස් තුමා පසු කලෙක එතුමා උපන් පැටාරා ප්‍රදේශයට ආසන්නම ප්‍රදේශක් වන “මයිරා” නම් ප්‍රදේශයේ රදගුරුතුමෙකු බවටද පත් විය. අදටත් එතුමන්ව කිතුනු සභාවන් බොහෝමයක් හඳුන්වන්නේ ‘මයිරා හී සාන්තුවර නිකලස්’ යන නමිනි. 

ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරන නත්තලේ සැබෑම අර්ථය පරිත්‍යාගය බවට, අපට සිහිපත් කරන්නේ මනුෂ්‍යයෙකු ලෙස මෙලොවට පැමිණි ක්‍රිස්තුස් වහන්සේම වූව ද, නිකලස් මුනිතුමා නත්තල් සමයේ කාගෙත් මතකයට එන පරිත්‍යාගශීලී චරිතයක් බවට පත් වී හමාරය. එය අද ඊයේ නොව, සියවස් ගණනාවකට පෙර පටන්ම පවතින මතයකි. එතුමන් කිතුනු ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙකු බවට පත් වී ඇත්තේ දුප්පතුන් උදෙසා කළ අසරණ සරණ සේවාවන් නිසාය. විශේෂයෙන් උපකාර අවශ්‍ය නිවෙස් වෙත රාත්‍රී කාලයේ ගොස් එලියේ ඇති ඇඳුම් සහ වෙනත් වස්ත්‍ර වල සාක්කු වලට කාසි, මුදල් දැමීම එතුමන් සිදු කළේය. පසුව උපකාර අවැසි අය එලිමහනේ මේස් එල්ලා තැබීමට පුරුදු විය. නත්තල් දා රාත්‍රීයේ නත්තල් සීයා තෑගි රැගෙන එන බවට වන සුප්‍රසිද්ධ ජන මතය සමාජ ගත වන්නේ මේ අකාරයෙනි.

නිකලස් තුමන් දරුවන් ගැන විශේෂ සැලකිල්ලක් සහ දයාවක් දැක් වූ  පුද්ගලයෙකි. විශේෂයෙන් දෙමව්පියන් අහිමි දරුවන්ට ජීවත් වීමට සහ ඉගෙනීමට අවශ්‍ය කාරණා වල දී එතුමන් තම ධනවත් දෙමව්පියන්ගෙන් උරුම වු ධනයෙන් මුදල් සහ වෙනත් පරිත්‍යාගයන් විශාල ප්‍රමාණයක් දරුවන් උදෙසා සිදුකර ඇත. නත්තල් දා රාත්‍රියේ දරුවන් සිටිනා නිවෙස් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය දෑ එලිමහනේ එල්ලා තැබූ මේස් තුළට රහසිගතව දමා අවේය. දරුවන් අතර නත්තල් සීයා යන පුද්ගල චරිතය ආදරණීය චරිතයක් ලෙස ස්ථාපනය වන්නේ මේ ආකරයටයි. නිකලස් තුමා ද කුඩා කල දී ම තම දෙමව්පියන් අහිමි වීමේ වේදනාවට මුහුණ දුන් කෙනෙකු වීම, එතුමන් කුඩා දරුවන් ⁣⁣කෙරෙහි  විශේෂයෙන් සොයා බැලීමට මුලික හේතුව විය. 

ක්‍රි.ව 311-312 අතර කාලයේ දී නිකලස් තුමන් ජීවත් වූ තුර්කියේ මයිරා ප්‍රදේශයට මහත් වූ දුර්භික්ෂ කාලයකට මුහුණ දීමට සිදු විය. එකල මයිරා හී වරායට පැමිණි කොන්ස්තන්තිනෝපල් වරාය බලා ගමන් කරන ආහාර ද්‍රව්‍ය රැගත් නැවක් පැමිණ ඇත. නිකලස් තුමන් ඔවුන්ගෙන් ප්‍රදේශයේ පවතින තත්වය ගැන පවසා ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස ඉල්ලූවත් නැවියන් එයට එකඟ නොවී ඇත්තේ එම නැව එකල රෝම අධිරාජ්‍යයා වූ මහා කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාට අයත් වූ බැවිනි. නමුත් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමා බාරගන්නා බව පවසා නිකලස් තුමන් තම ප්‍රදේශයේ ජනතාවට කලකට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය මිලයට ගෙන මයිරා හී ගබඩා කර ඇත. කොන්ස්තන්තිනෝපල් වරායට පැමිණි පසු නැවියන්ට පෙනි ගොස් ඇත්තේ මයිරා වැසියන්ට ආහාර වලින් කොටසක් ලබා දුන්න ද නැවත තිබු ආහාර ප්‍රමාණයම නැවේ ඇති බවත්ය. මෙම කතාව නිකලස් තුමන් සම්බන්ධව පැරණි කිතුනු සාහිත්‍යයේ සඳහන් වන ප්‍රාතිහාර්යය සම්බන්ධ කතාවකි. මෙතුමා ක්‍රි.ව 343 දී පමණ ජීවන ගමනට සමුදුන්න ද, පළමුව පෙරදිග කිතුනු ලෝකයෙත්, පසුව මුළු මහත් ලෝකයෙත් අදටත් නත්තල් කාලයේ දී සිහිපත් කරන ආදර්ශවත් චරිතයක් ⁣බවට පත් වී ඇත.

ඒ කෙසේ වූව ද නත්තල යනු ‘පරිත්‍යාගයේ සංකේතයක්’ බවට ලෞකික සැප-සම්පත් රැස් කිරීමට දැඩි සේ වෙලි සිටින නූතන සමාජයට නත්තල් සීයා නොහොත් “සාන්තුවර නිකලස් තුමන්ගේ” ජීවිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය. මේ වන විට අප ගත කරමින් සිටින ආගමන කාලය තුළ දී රටේ පවතින දුෂ්කර වාතාවරණය හමුවේ එකිනෙකාට වගේම අසරණයන් වෙනුවෙන් සරණ වීමට කදිම අවස්ථාවක් ලැබී ඇති බවට ද මතක් කිරීම අවැසිය. “ආගමන කාලය” (Season of Advent) යනු,  කිතුනු ජනයා ක්‍රිස්තුස් වහන්සෙගේ උත්පත්තිය සැමරීමට තමන් සහ තම නිවාස සුදානම් කිරීම ලෙස සරලව හැඳින් විය හැක. මෙහිදි තමන් සූදානම් වීම යනු, පිරිසිදු හදවතක් ඇතිව, විශේෂයෙන් පරිත්‍යාගශීලී ක්‍රියාවන්ට යොමු වෙමින් නත්තලට සූදානම් වීමයි. එම නිසා නත්තල් සීයා, කවුරුත් ආදරය කරන සාන්තුවර නිකලස් තුමන් වැනි ආදර්ශවත් පුද්ගලයෙකු වීමට මටත්, ඔබටත් හැකි බව පසක් කරමින්, නිකලස් තුමන් සම්බන්ධ මෙම ලිපිය මම අවසන් කරමි.

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

යොහාන් රොමේෂ් සොයිසා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment