දැනුම

නර්තනයට අතිදක්ෂ ලොව කඩවසම්ම බොලිවුඩ් තරුව

“King of Dance” සහ “The Greek God of Bollywod”  ලෙසින් හඳුන්වන මොහු 2018 වර්ෂයේ ලොව කඩවසම්ම නළුවන් ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිමි කර ගනී. අද දිනට වයස අවුරුදු 48 ක් සපිරෙන මුත් වයස යනු, හුදු ඉලක්කමක් පමණක් බව පසක් කරමින් මොහු තවමත් එම ලැයිස්තුවේ ඉහළින්ම වැජඹේ. තම ආකර්ෂණීය පෙනුමින් හා අපූරු නර්තන රටාවන්ගෙන් රසික සිත් වසකරන්නට සමත් මෙම සුපිරි තරුව කවුරුන්ද? යන වග සිනමාලෝලී ඔබට නම් තවදුරටත් නොරහසකි. බොලිවුඩ් සිනමාවේ අතිදක්ෂ නළු, රිතික් රෝෂන් ගැනයි මේ සටහන.

වර්තමානය වන විට බොලිවුඩයේ අතිසාර්ථක නළුවෙක් වන රිතික් ජන්මය ලබන්නේ  1974 ජනවාරි මස 10 වන දින ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නගරයේ දී යි. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන රාකේෂ් රෝෂන් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සේම නිෂ්පාදකවරයෙක් වන Jay Om Prakash ගේ දියණිය වූ පිංකි රෝෂන් රිතික් ගේ ආදරණීය මවුපිය දෙපළයි. ඉන්දීය චිත්‍රපට නිෂ්පාදිකාවක් වන සුනයිනා රෝෂන් ඔහුගේ සෙනෙහෙබර සොහොයුරිය යි. රිතික් රෝෂන්  ලෙස ප්‍රසිද්ධ වුව ද ඔහුගේ සැබෑ නම රිතික් රාකේෂ් නග්‍රත් ය. මව්පිය දෙපාර්ශවයම සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම රිතික්ගේ සිනමාගමනයට හේතුවක් වුව ත් මුල් කාලයේ ඔහු චිත්‍රපට ව්‍යාපෘතින් හි පිළිගැනීමට ලක් නොවූ සහයකයෙකි. ඔහු තමන්ගේම කැපවීම හා උත්සහය තුළින් පියවරෙන් පියවර සාර්ථකත්වයට පත් නළුවෙක් ලෙස හැඳින් විය හැකි ය.

නළුවෙකු ලෙස සුප්‍රකට වුව ද රිතික් වාණිජවේදී උපාධිධරයෙක් ද වේ. මුම්බායේ Bombay Scottish පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය සඳහා මුම්බායේ Sydenham College වෙත පිවිසුණු ඔහු එහිදී තම උපාධිය ලබා ගත්තේ ය. ඇමරිකාවේ ශාස්ත්‍රපති උපාධි ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප කළ රිතික් චිත්‍රපට කෙරෙහි වැඩි අවධානය දෙන්නට විය. චිත්‍රපට ශිල්පය හැදෑරීමට  කැමරාකරණය, අධ්‍යක්ෂණය සහ සංස්කරණය යන ක්ෂේත්‍රයන් හි වෙහෙස වී කටයුතු කළ ඔහු, ඉන්පසු වසර හයක කාලයක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන තම පියාගේ සහායකයකු ලෙස කටයුතු කළේය.

රිතික් නළුවෙකු ලෙස බොලිවුඩ් සිනමාවට අතපොත් තබන්නේ වයස අවුරුදු හයේ දී යි. ඒ 1986 දී Aasha චිත්‍රපටයේ ළමා නළුවකු ලෙසිනි. 2000 වර්ෂයේ අතිශයින් ජනප්‍රිය වූ වාණිජමය ලෙස අතිසාර්ථක චිත්‍රපටයක් වන ‘Kaho Naa… Pyaar Hai’ චිත්‍රපටයේ දැක් වූ අතිදක්ෂ රංගනය වෙනුවෙන් ඔහු සම්මානයට පවා පාත්‍ර වෙයි. රිතික් රංගනයෙන් දායක වූ  කරන් ජොහාර්ගේ අධ්‍යක්ෂයෙන් නිර්මාණය වූ ‘Kabhi Kushi Kabhi Gham’ ටෙලි චිත්‍රපටය ඉන්දියාවේ පමණක් නොව විදේශයන් හි පවා ඉමහත් ජනතාකර්ෂණයක් දිනා ගන්නට සමත් වූ නිර්මාණයකි.

2003 වර්ෂයේ “India’s Most Complete Actor” ලෙස විරුදාවලී ලද රිතික් එම වසරේ දී ම රෝහිත් නම් ආබාධිත පිරිමි ළමයෙකු ගේ චරිතයට පණ පොවමින් Koi Mil Gaya චිත්‍රපටයේ  කළ අති දක්ෂ රංගනයෙන් බොලිවුඩ් සිනමාවේ එකල ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වීය. ඉන්පසු ඔහුට බොලිවුඩ් සිනමා නිෂ්පාදකවරුන්ගේ ඇල්ම බැල්ම නොමදව ලැබෙන්නට විය.

ඉන්දීය සිනමාවේ පළමු සුපිරි වීරයා කවුරුන්ද? ඇසුවොත් ඔබට නිතැතින්ම ක්‍රිෂ්  ව සිහියට නැගෙනු නොඅනුමානයි. එකල ක්‍රිෂ් ගේ චරිතයට පණ පොවන්නේ රිතික් ය. ඒ  ‘Koi Mil Gaya’  චිත්‍රපටයේ  ඉදිරි දිගහැරුම ‘Krrish’ ලෙසින් 2006 වසරේ තිරගත වීම හරහා යි. ‘Koi Mil Gaya’  හි රෝහිත්ට පරස්පර විරෝධී මෙම චරිතය ඔහුගේ බහුකාර්ය රංගන කුසලතාව මැනවින්  ප්‍රකට කරයි. ආබාධිත පියා රෝහිත් ලෙසත් ඔහුගේ පුතු ක්‍රිෂ් හෙවත් ක්‍රිෂ්ණා ලෙසත් රිතික් මෙහි ද්විත්ව චරිත නිරූපණය කරයි. අපූරු නර්තන චලනයන්ගෙන් චිත්‍රපටයට ආලෝකයක් ගෙන එන රිතික් අවසානයේ රසික හදවත් වල සුපිරි වීරයා බවට පත් වෙයි. 

රිතික් 2006 දී ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘Doom 2’  හි සොරෙකුගේ චරිතයට පණ පොවමින් ක්‍රියාදාම තරුවක් ලෙසින් ඉන්දීය සිනමාව තුළ ඒ වන විට ස්ථාවර වේ. මෝගල් අධිරාජ්‍යයේ මහා අක්බර් රජුගේ චරිතය ජීවමාන කරමින් 2008 දී ජෝදා අක්බර් චිත්‍රපටයේ කළ රංගනය ජාත්‍යන්තර වශයෙන් සම්මාන රාශියකට හිමිකම් කියන්නට සමත් වේ. ඔහු දැනට චිත්‍රපට 37 ක ට පමණ රංගනයෙන් දායක වී ඇති අතර ඉන් බොහොමයක් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමට සමත් විය. 

2012 දී තිරගත වූ ‘අග්නිපත්’ ආරම්භක දිනයේ දී පමණක් කෝටි 25 ක දැවැන්ත ආදායමකට හිමිකම් කියන්නේ රිතික්ගේ රංගනයේ සාර්ථකත්වය මල් ඵල ගන්වමිනි.

රිතික්ගේ රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටි අවස්ථාව උදා වූයේ 2013 දී යි. ඒ  ‘Krrish’ චිත්‍රපටයේ තුන්වන දිගහැරුම තුළින් ඔහුව නැවතත් සුපිරි වීරයාගේ භූමිකාවෙන් දැක ගැනීමේ අපේක්ෂාව මුදුන්පත් වීමෙනි. ඒ අනුව වසර හයකට පසු නැවතත් ඔහු සුපිරි  වීරයාගේ රුවින් කරළියට පැමිණේ.

2014 දී ‘Bang Bang’ චිත්‍රපටිය අතිසාර්ථකව තිරගත වන්නේ  කත්‍රිනා කයිෆ්  සමඟ රිතික් කළ අපූරු රංගනය හේතුවෙනි.  රසික සිත් සංවේදී කරමින් 2017 දී තිරගත වූ ‘Kaabil’ චිත්‍රපටය ඉහළ පැසසුම් දිනාගත් නිර්මාණයකි. රිතික් එහි අන්ධ තරුණයෙක් ලෙස කළ රංගනය රසික හද සංවේදී කරන්නට හේතු වූවේය.

පෙර සඳහන් කළ චිත්‍රපට වලට අමතරව 1980 සිට වර්තමානය තෙක් සලකා බැලීමේ දී,

  • Aap ke Deewane (1980)
  • Aas Paas (1981)
  • Aasre Pyaar Da (1983)
  • Bhagwaan Dada (1986)
  • Khudgarz (1987)
  • King Uncle (1993)
  • Kaaran Arjun (1995)
  • Koyla (1997)
  • Fiza (2000)
  • Mission Kashmir (2000)
  • Yaddein (2001)
  • Na Tum Jaano Na (2002)
  • Mujhse Dosti Karoge (2002)
  • Lakshya (2004)
  • I See You (2006)
  • Om Shanti Om (2007)
  • Krazzy 4 (2008)
  • Luck by Chance (2009)
  • Kites (2010)
  • Guzaarish (2010)
  • Zindagi Na Milegi Dobare (2011)
  • Don 2 (2011)
  • Main Krishna Hoon (2013)
  • Hey Bro (2015)
  • Mohenjo Daro (2016)
  • Hrudayantar (2017)
  • Super 30 (2019)
  • Waar (2019)

යන චිත්‍රපට තුළින් රිතික් බොලිවුඩයේ තරු සලකුණ තබා ඇත.

අවුරුදු දෙකකට පමණ පසු නැවතත් ඔහුව නොබෝ දිනකින් ‘Vikram Vedha’ සිනමා පටය ඔස්සේ දැක ගැනීමට අවස්ථාව ලැබේ. ඊට අමතරව 2023 වර්ෂයේ දී තිරගත වීමට නියමිත Fighter චිත්‍රපටය ඔස්සේ  දීපිකා පදුකෝන් සමඟ රිතික්ගේ අපූරු චරිත නිරූපණයක් දැක ගැනීමට සිනමාලෝලීන් ම බලා සිටී. 

වෘත්තීය ජීවිතයෙන් මදකට මිදී ඔහුගේ පෞද්ගලික ජීවිතය දෙස හැරී බැලීමේ දී ඔහු පුතුන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි.  2000 වර්ෂයේ  ඔක්තෝම්බර් මස 20 වන දින නළුවකු වන සංජේ ඛාන්ගේ දියණිය වූ සුසේන් ඛාන් සමඟ විවාහ දිවියට එළඹි රිතික් අවුරුදු 13 ක විවාහ දිවියට තිත තබමින් දෙදෙනාගේම කැමැත්ත මත දික්කසාද වීමට තීරණය කරයි. ඒ අනුව 2014 දී ඔවුන් නීත්‍යානුකූලව වෙන්වන මුත් රිතික් තම පියාගේ භූමිකාව මැනවින් ඉටු කරන බව සමාජ ජාල හරහා සංසරණය වන ඔවුන්ගේ ඡායාරූප වලින් ප්‍රකට වේ. තම කාර්යබහුල ජීවිතයෙන් මිදෙමින් නිවාඩුවක් ලැබුණු විගස තම දරුවන් දෙදෙනා වන Hridaan Roshan සහ Hrehaan Roshan සමඟ කාලය ගත කරන රිතික්, එම ගමන් වලට සුසේන්වත් සම්බන්ධ කර ගනී. විවාහ ජීවිතය දෙදරා ගිය ද තම දරුවන් දෙදෙනාට මවගෙන් සහ පියාගෙන් ලැබිය යුතු රැකවරණය හා ආදරය ඔවුන් නොඅඩුව ලබා දෙයි.

රිතික්  අද වන විට සුපිරි තරුවක් ලෙසින් සිටිය ද කුඩා කාලයේ දී මිතුරන්  ඔහු ව මග හරින්නට විය .ඒ මන්ද යත් ඔහු උපත ලැබුවේ ඔහුගේ දකුණු අතේ එක් මහපටැඟිල්ලකට අමතරව තවත් ඇඟිල්ලක් බද්ධ වීමෙන් නිසාවෙනි. එසේ වුවත් අද වන තෙක් ඔහු එය සැත්කමක් කිරීමෙන් හෝ ඉවත් කර නැත. ඔහු තම ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව මෙසේ සටහන් කරයි.

“I am lucky. Not cause I got voted sexiest. Cause I just noticed God gave me a piece of ugly to carry with me to remind myself n others of how beautiful our imperfections make us. My thumb used to repel people in school. Today I am posting it to millions like you who I know are just like me. Beautifully imperfect. Thank you God for this wonderful life. Make your weaknesses your strength. Be proud. U are beautiful. Trust me.”

ඒ සිතුවිල්ල කෙතරම් අපූරු ද?  ඔහු  දෙවියන්ට ස්තූති කරයි. ඔහුට මේ වගේ අවලස්සන බවක් දුන්නට. දුර්වලතා ශක්තියක් කරගන්න, ආඩම්බර වෙන්න, ඔයා ලස්සනයි, මාව විශ්වාස කරන්න… කියලත් අවසානයේ කියයි. මෙහෙම කියන්නෙ බොලිවුඩයේන් බිහිවූ ලොව කඩවසම්ම තරුව යි. ඉතින් එය මෙවන් ලක්ෂණ ඇති අයට පමණක් නොව, සියලුම දෙනාට රිතික්ගේ දිවියෙන් ලැබුණු ඉතාමත් වටිනා පණිවිඩයකි. 

රිතික් වර්තමානය වන විට මෙවන් ප්‍රශ්න හා අභියෝග රැසක් ජයගෙන තම වෘත්තියේ හිනිපෙත්තටම ගොස් ඇත. Film Fare සම්මාන 6 ක්, IIFA (International Indian Film Academy Awards) සම්මාන 8 ක්, Zee Cine Awards 6 ක් ඇතුළු තවත් සම්මාන රාශියකට හිමිකම් කියන ඔහු හොඳම නළුවා ලෙසින් කිහිප වරක්ම සම්මානයට පාත්‍ර වී ඇත. සම්මාන උත්සවයන් හි රිතික් රෝෂන් යන නාමය සුලබව ඇසෙන්නක් බවට පත් විය.

රිතික්ගේ රංගන හැකියාවට අමතරව ඔහු සතු අපූරු නර්තන හැකියාව  නිසා සම්මාන සන්දර්ශන සඳහා ඔහුගේ නර්තනාංගයන් ට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඔහුගේ මේ හැකියාව නිසාම ඉන්දියාවේ ‘Just Dance’ රියැලිටි නර්තන තරගාවලියේ  විනිසුරුවරයකු ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබුණේ ය. එය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වූ රියැලිටි තරගයක් බවට පත් විය.

රිතික් අවංක හා නිහතමානී තරුවක් වීම නිසා විශාල රසික පිරිසකගේ ආදරය ඔහුට හිමි ය. දක්ෂතාවය සහ කැපවීම තුළින් සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් තබා ඇති ඔහු අද දින තම ජන්ම දිනය සමරයි. අවසාන වශයෙන් මේ විශේෂ දිනය හේතුවක් කරගනිමින් Colombo Beacon අප ඔහුට ප්‍රීතිමත් හා නිරෝගිමත් දිවියකටත්, සිනමා ක්ෂේත්‍රයේ තවත් දීර්ඝකාලීන සාර්ථක ගමනකටත්  හදවතින්ම සුභාශිංශන එක්කරන්නෙමු.

Design by : Pramodya Madhushani

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කවීෂා පූර්ණි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment