දැනුම

නව දැක්මක තාරුණ්‍ය ස්වර මුද්‍රාව

“නිරිඳුන් නුඹේ ආලෙ නිසා
බෝ විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලය පසෙක ලා හිඳිමි මෙමා”

‘කුවේණි’ ගීතයේ මේ පද පෙළ කියවූ සැණින් මේ සටහන කවුරුන් වෙනුවෙන් දැයි බොහෝ දෙනෙකුට නොරහසකි. නව යොවුන් පරපුර මුවග නිතර රැඳුණු මෙවැනි ගේය පද වර්තමානයේ බිහිවන්නේ ඉතාමත් අතළොස්සකි. මොහු එවැනි ගුණාත්මක සංගීත නිර්මාණ තුළින් මිනිස් හද ස්පර්ශ කරන්නට සමත් අතළොස්සක් වූ සංගීතවේදීන් අතුරින් දේශපාලනීකරණය නොවූ, නිහතමානී කලාකරුවෙකි. තමන්ටම ආවේණික වූ ස්වර නාද රටා තුළින් රසික සිත් වශීකෘත කරන ඔහු නමින් චරිත රක්ෂිත අතලගේ වේ. සමාජයීය දෘෂ්ටි කෝණයෙන් ඔහු ඇත්තෙන්ම “බ්‍රෑන්ඩ් එකක්” නැතිනම් “ලෙජන්ඩ් කෙනෙක්” කීමේ කිසිදු වරදක් නැත. ඔහුගේ නිර්මාණයන් වරක් සවන් දුන් පසු නැවත නැවත සවන් දෙන්නට පොළඹවනසුළුය. රසිකයින් විසින් ඔහුගේ නිර්මාණ ‘අධි මාත්‍ර මත් පෙති’ යනුවෙන් හඳුන්වන්නේ ද එම නිසාවෙනි. අද දින තම දිවි සැරියේ 32 වන ජන්ම දිනය සමරන ඔහු වෙනුවෙන් Colombo Beacon තබන විශේෂ සටහනයි මේ.

සංගීත රචකයෙක්, නිශ්පාදකයෙක්, මිශ්‍ර ඉංජිනේරුවෙක්, පටිගත කිරීමේ ඉංජිනේරුවෙක් සහ ගීත රචකයෙක් වන චරිත රක්ෂිත අතලගේ මෙලොව එළිය දකින්නේ 1989 ඔක්තෝම්බර් මස 6 වෙනි දින ප්‍රංශයේදීය. ඔහු සුජාතා අතලගේ මැතිණියගේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රාහුල අනුර අතලගේ  මහතාගේ බාල පුතුයි. දිනූ අතලගේ ඔහුගේ සොහොයුරියයි.

6 ශ්‍රේණිය දක්වා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ද ඉන්පසු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබන ඔහු, කැලිෆෝනියාවේදී සංගීත තාක්ෂණය පිළිබඳ පශ්චාත්  උපාධිය සම්පූර්ණ කළේය. ඔහු සිංගප්පූරුව, ලන්ඩනය, ජපානය, ඇමරිකාව සහ කැලිෆෝනියාව තුළ කාලය ගත කරමින් සංගීත නිර්මාණකරණයට අවශ්‍ය  තාක්ෂණය පිළිබඳ ඉගෙනගත්තේය. කුඩා කාලයේදී ඔහු හැදී වැඩෙන්නේම ඉන්දියානු සම්භාව්‍ය සංගීතයට නිරතුරු සවන් දෙමිනි. කුඩා චරිත ඉන්දියානු සංචාර වල නිරත වන තම පියාට කියා කැසට් පට ගෙන්වා ගැනීමට පුරුදුව සිටියේය. ඒ  අතරින් සකීර් හුසේන් මහතාගේ ගීත වලට සවන් දෙන්නට ඔහු මහත් සේ ඇලුම් කළේය. තබ්ලාවට ප්‍රිය ඔහු අභාවප්‍රාප්ත විජයරත්න රණතුංගයන් යටතේ තබ්ලා වාදකයෙකු ලෙස පුහුණු විය. මොහුට සංගීතය පිළිබඳ මෙතරම් ආසාවක් ඇති වන්නේ කුඩා කාලයේදීමය. ඒ සඳහා හේතු වන්නේ එකල ඔහු අසන දකින කාටූන්, දැන්වීම්, චිත්‍රපට සහ ගීත නිර්මාණ නිසා කුඩා චරිතගේ සිතේ ‘මේවා නිර්මාණය වන්නේ කොහොමද?’, ‘මේවා නිර්මාණය කරමින් තිරය පිටුපස සිටින්නේ කවුද?’ ආදී වශයෙන් නැගුණු  ප්‍රශ්න සමඟ උපන් කුතුහලයයි.

සංගීතයට පමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවට ද ඇල්මක් දක්වන ඔහු පාසල් කාලයේදී ඒ සඳහා පළාත් මට්ටමින් සංචිත වලට තේරී පත් වූවෙකි. ගණිත විෂයෙන් උසස් අධ්‍යාපනය ලැබීමෙන් ලද පන්නරයෙන් සංගීතය දෙස විද්‍යාත්මක ඇසකින් දකින්නටත් වෙනස්ම නිර්මාණ තුළින් රසික සිත් ආකර්ෂණය කර ගන්නටත් ඔහු සමත් විය. මෑතකදී චන්ද්‍රසේන තලංගම සූරීන්ගේ තෙලිතුඩින් රචනා කෙරුණු,

“පොඩි එවුන් ගේ දමා
උන්ගෙ අප්පත් මෙදා
රහමෙරේ කිමිදිලා
උන්ට අතවර කලා” 

පදවැල් වලට ජීවය දෙමින් ‘දුවේ’ ගීතය මොහු ගායනා කළේය. සමාජයීය ඛේදවාචකයක් ගීතයක් තුළින් ගෙන එමින් රසික සිත් සංවේදී කරන්නට එතුළින් ඔහුට හැකි විය. චන්ද්‍රසේන තලංගම සූරීන් විටෙක මොහුව හඳුන්වන්නේ ‘සැහැල්ලු තාරුණ්‍යයේ ගැඹුරු දැක්ම‘ යනුවෙනි.

මුල් කාලයේ දී ‘daddy’ සංගීත කණ්ඩායම සමඟ සහයෝගයෙන්  එක්ව ‘ටිකෙන් ටික’ ගීතය සංගීතවත් කරන ඔහු තම දීර්ඝ කාලීන ආශාවක්ව තිබූ ගයාන් පෙරේරා සමඟ නිර්මාණකරණයේ යෙදීමේ අභිලාෂය මල්ඵල ගන්වමින් ‘ඇය කියලා නෑ’ ගීතය 2020 වර්ෂයේ දී එළි දැක්වූයේය. තවද, ශිහාන් මිහිරංග ගායනා කරන ඉතාමත් ජනප්‍රිය වූ ‘හතර කේන්දරේ’ ගීතය සඳහා ද තම දායකත්වය ලබා දීමට ඔහුට හැකි විය.

”හිටිහැටියේම ඇදහැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහි වෙද්දි හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියල හිතෙයි”

මේ චරිත අතලයන්ගේ ගීත අතරින් රසික සිත් ආකර්ෂණය කළ අසීමාන්තික හැඟුම් දනවන ‘දුර ආකහේ’ ගීතයේ පද පෙළකි. ගලන ග, සඳවතියේ, සොයා ආවා, සංසාරයේ මා, රාධාවණී, නාඩගම් ගීය, සොඳුරු සිත්තම්, සුරත් සුවය, හීන මකා, සැළලිහිණි, රහත් හිමිවරුන්, පුංචි අත්තටු, කම්පා නොවන් මහමායා, නැවුම් කළේ, සක් දෙවි වැනුම, මොන ආලවන්තකම්, ඩෝලේ, සකුරා ඔහුගේ නිර්මාණයන් අතර වේ. මේ නිර්මාණ වර්තමානයේ නිතරම ඇසෙන ඒකාකාර පද මාලාවන්ට වඩා අර්ථවත් වූත්, වෙනස්ම රසයක් සහිත විශිෂ්ට ගණයේ නිර්මාණ වේ.

චරිත, කුතුහලයෙන් ඇරඹි මේ සංගීත දිවිය තුළ වරක් ඔහු ලොවක් ඉදිරියේ සම්මානයට පාත්‍ර වන්නේ ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමිනි. ඒ ඔහුගේ ‘කුවේණි සිනමාත්මක සංගීත අත්දැකීමක්‘ ප්‍රසංගය 2020 අගෝස්තු මස 14 වන දින පැවැත්වූ WOW – Awards Asia හි ‘හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය සිනමාත්මක අත්දැකීම‘ ලෙස ඔස්කාර් සම්මාන ලාභී ඒ. ආර් රහමන් සමසම රන් සම්මානයෙන් පිදුම් ලැබීමත් සමයි. ලාංකේය කලාව අන්තර්ජාතිකව ලබාගත් ඉහළම විජයග්‍රහණයක් ලෙස එය හැඳින්විය හැකිය. 

මේ අසහාය කලාකරුවාගේ පිටුපස සිටින සැවුණු ශක්තිය ඔහුගේ මව්පිය දෙපළයි. වරක් ඔහු සම්මුඛ සාකච්ඡාවකදී අතීත මතකයක් මෙසේ ආවර්ජනය කරයි. “පොඩි කාලෙ ඉඳන්ම මට සංගීතය ගැන පිස්සුවක් තිබ්බා. සංගීත රසය හඳුනගෙන හිටියා. මං දවසක් youtube clip එකක් පළවෙනි පාරට upload කළා. ඒකට එදා තිබ්බෙ එකම එක comment එකයි. ඒ මගෙ අම්මගෙන්. අම්ම කියල තිබ්බා ‘ආපහු ඔය වගේ කාලෙ නාස්ති කරන වැඩ කළොත් ගිහින් පොලිසියට භාර දෙනවා’ කියල. ඇත්තටම ඒ comment එක ඒ කාලෙ අමිහිරි මතකයක් වුණත් දැන් ඒක මට හරිම මිහිරි මතකයක්. එදා එහෙම කිව්වත් මේ වෙනකන් මගේ සංගීත ගමනට පුදුම උදව්වක් දුන්නෙ අම්මා” ඒ දවස් වල දෙමව්පියන්ගේ සිතේ වැඩි කැමැත්තක් නොවූවත් දැන් අවුරුදු ගණනක් ගත වෙලත් මගේ හැම දේකටම උදව් කරන්නෙත් ආශිර්වාද කරන්නෙත් ඒ දෙපළ බව චරිත අතලගේ ඒ මොහොතේ සෙනෙහසින් සිහිපත් කළේය.

වැඩි ප්‍රසිද්ධියක් හඹා නොයන මොහු Radio Interview හෝ TV Interview වලට නොයයි. Verify ‍Youtube Channel එකක්වත් Instagram හෝ FB Fan Page එකක්වත් මොහු සතු නොවේ. ඔහු පවසන්නේ TV, Radio, Social Media වල රදක්වන්න කලින් මට සංගීතය ගැන ඉගෙනගත යුතු දේ තවත් බොහොමයක් ඇතැයි හැඟෙන බවයි. ඒ චරිතගේ අව්‍යාජත්වයයි. ඉතින්, මේ සොදුරු මිනිසාගෙන්  සංගීතය ගැන උනන්දුවක් ඇති සැමට ගත හැකි දේවල් බොහොමයක් ඇත. ඇත්තෙන්ම මොහු තමා සතු දැනුම තව කෙනෙක් හට දීමට කිසිවිට මැලි නොවෙයි. ඔහු පසුගිය වසර කිහිපය තුළ ශ්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සඳහා වැඩමුළු සහ ප්‍රසිද්ධ දේශන කිහිපයක්ම සාර්ථකව පවත්වා ඇත්තේ එය පසක් කරමිනි.

ලාංකේය කලාව වෙනුවෙන් ලාංකේය රසික හදවත් වෙනුවන් ඉදිරියටත් රසවත් හැඟුම් ස්වර මවන්නත්, ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම  සාර්ථක වෙන්නත් කියා Colombo Beacon අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. අවසන් වශයෙන් ඔහුට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් පතමින්  දක්ෂතා පිරි තරුණයින් වෙනුවෙන් ඔහු ලබා දුන් උපදෙසක් මෙසේ සඳහන් කරමින් මම නිහඬ වෙමි.

      “Creative mind has no time for advice; it is always trying to break the rules”           -Charitha Attalage-

(නිර්මාණාත්මක මනසකට උපදෙස් දීම සඳහා වෙලාවක් නැත. එය හැම විටම නීති කඩ කිරීමට උත්සාහ කරයි)

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කවීෂා පූර්ණි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment