දැනුම

නව පරපුරේ නිහතමානී හඬ පෞරුෂය

“එක් දිනක් මට සංගීතය සහ රැකියාව අතරින් එකක් තෝරගන්නට අවස්ථාවක් ආවා. මම එදා තෝරගත්තෙ සංගීතය. මම තාමත් එදා ගත් තීරණයෙහි ස්ථාවරව ඉන්නවා. කිසිදු පසුතැවීමක් නෑ…”

අවුරුදු 8 ක් සේවය කළ තම රැකියාවට මුළුමනින්ම සමුදෙමින් සංගීතය තෝරගත් ඔහු, නිවැරදිම මොහොතේ නිවැරදි තීරණ ගැනීම කෙතරම් අගනේද යන වග ඔබටත් මටත් කියා දෙමින් වර්තමානයේ ජනප්‍රිය මෙන්ම දක්ෂ ගායකයෙක් බවට පත්ව ඇත. ඔහු වෙත දිනෙන් දින වැඩිවන නොමද රසික ආදරය එයට කදිම සාක්ෂියකි. නාද ගමේ “දෑත දරා” ගීතය ඉතාමත් මිහිරි ලෙස ගයන මොහු නමින් “රිද්ම ධනංජය වීරවර්ධන” නම් වූ  නිහතමානී ගායකයායි. ඔහු වීරවර්ධන පවුලට සතුට ගෙන එමින් අදවන් දිනක ජන්මය ලැබුවේය. මෙම සුවිශේෂී දිනය අවස්ථාවක් කර ගනිමින්, ඔහු මෙතෙක් ආ ගමන් මග මෙසේ ආවර්ජනය කරන්නෙමි.

රිද්ම දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා ලෙස 1988 වර්ෂයේ දී නිශාන්ති වීරවර්ධන සහ වසන්ත කුමාර පෙරේරා වීරවර්ධන මව්පිය දෙපළට දාව උපත ලැබුවේය. ඔහුගේ දෙමව්පියන් බැංකු ක්ෂේත්‍රයේ රැකියා වල නියුතු වූවන් වේ. තිසරි නිර්මාණි වීරවර්ධන සහ දිනිති නිසංසලා වීරවර්ධන රිද්මගේ ආදරණීය සොහොයුරියන් දෙදෙනායි. වීරවර්ධන පවුල සංගීතය රස විඳින පවුලකි. කුඩා කාලයේ සිට එම පසුබිම තුළ හැදී වැඩුණු රිද්මට, සංගීතයට යොමුව මේ දක්වා සාර්ථක ගමනක් එන්නට එය මහත් රුකුලක් වූවාට සැක නැත.

මොහු මහරගම ජනාධිපති විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ නුගේගොඩ Lyceum ජාත්‍යන්තර පාසල යන පාසල් ත්‍රිත්වයෙන් අධ්‍යාපනය ලැබුවේය. පාසල් අධ්‍යාපනයෙන් පසු ප්‍රථම වරට සංගීතය පිළිබඳ පුහුණු වීම් ලබන්නට නන්දා මාලනී මහත්මියගේ සංගීත ආශ්‍රමයට අතුළත් වූවේය. ඉන්පසු අනෝජා වීරසිංහ මහත්මියගේ “අභින” රංග කලා ඇකඩමිය හා සම්බන්ධව ලද පුහුණු වීම් සහ දැනුම ද ඔස්සේ ඔහුගේ සංගීත දිවියේ සාර්ථක ගමනකට අඩිතාලම වැටුණේය. ඔහු තුළ ඉන්දියානු සංගීතයට තිබූ ආශාව සහ උනන්දුව නිසා නිමන්ත හේශාන් ගමගේ මහතා යටතේ උතුරු ඉන්දියානු සංගීතය පිළිබඳ හදාරන්නට විය.

රිද්මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂය වන්නේ “කුවේණි” ගීතයයි. චන්ද්‍රසේන තලංගම සූරින්ගේ පන්හිඳෙන් රචිත චරිත අතලගේ තනු නිමවා සංගීතවත් කළ දිනූපා කෝදාගොඩ සම එක්ව ගයන මේ ගීතයෙන් අනතුරුව ඔහු ලාංකීය රසික සිත් අතර වඩාත් ජනප්‍රිය විය. 

එහි රූප රචනය තුළ දිනූපා කෝදාගොඩ සම එක්ව තාත්ත්වික රංගනයක යෙදෙමින් ප්‍රේක්ෂක සිත් සොරාගන්නට සමත් වූ කඩවසම් තරුණයා මොහුයි. ගායකයෙක් මෙන්ම ඔහු තුළ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් ද සිටින බැව් ඔහු එහිදී පිළිබිඹු කළේය.

මුල්වරට ප්‍රචාරය කර, කලක් ගත වුවද මෑතකදී නැවත කරළියට පැමිණි අනූ මධුභාෂිනී සම එක්ව ගයන,

“සංසාරයේ මා 
හමු වී තියේදෝ      
දෑසේ ඉනාවේ 
මා මත් වුණාදෝ…”

ගීතය ඉතාමත් ජනප්‍රිය විය. “හෙව්වා හෙව්වා, සදවතියේ, සොයා ආවා, සොදුරු සිත්තම්, මොන ආලවන්තකම්දෝ නගා, නාඩගම් ගීය, සුන්දරියේ” ඔහුගේ හඬින් හැඩ වූ නිර්මාණයන් වේ. එසේම දුල්ෂාරා ද අල්විස් සම දෙවන වර නිර්මාණයක් ලෙස ගැයූ “කුමාරි රාජ නන්දනී” ගීතය අතිශයින් ජනාදරයට පාත්‍ර විය.

වර්තමානයේ සිටින බොහොමයක් හරසුන් ගීත ගයන්නන් අතරින් රිද්ම යනු, ලාංකේය සංගීත ක්ෂේත්‍රයට වටිනා ගායකයෙක් බව ඔහු මෙතෙක් හඬ දායකත්වය දැක් වූ නිර්මාණ වලින් පසක් වන කරුණයි. 

මන්දයත්, ගීතයක් රස විඳීමෙන් සිත් නිවා ගැනීම බොහොමයක් ගීත රස විඳින්නන්ගේ අභිප්‍රාය වූ කලක මොහුගේ ගීත ඔවුනට මහත් අස්වැසිල්ලක්ව ඇත. එය තවත් ප්‍රත්‍යක්ෂ කරමින් ඔහු මේ වසරේ එළිදැක් වූ නවතම ගීතය,

“සරා සඳේ ලියා
මාගේ හීනේ
හදේ රැඳී උන්නා
ඒ ආදරේ මේ යාමයේ…” 

 “යන්නම් මතකෙන්” ලෙසින් රසිකයින් හට තිළිණ කළේය.

ළමා ශ්‍රමය යොදා ගැනීමට එරෙහිව “ILO” (International Labour Organization) සම එක්වුණු රිද්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රචිත “පුංචි අත්තටු” (Let Them Fly) ගීතය ගායනා කරමින් කුඩා ළමුන්ගේ අයිතිවාසිකම් උදෙසා වටිනා පණිවිඩයක් සමාජගත කරන්නට දායක වූවේය. 

එමෙන්ම මොහු විශේෂ අවශ්‍යතා සහ අඩු වරප්‍රසාද හිමි දරුවන් සහා වූ වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් ඔවුන් සම කාලය ගත කරන්නට තරම් නිහතමානී වූ යහපත් තරුණයෙක් ලෙස  හැඳින්විය හැකිය.

රිද්මගේ සංගීත දිවි ගමනේ සොඳුරු නැවතුම්පොළක් බවට “නාද ගම” පත්ව ඇත. දනිත් ශ්‍රී, සුපුන් පෙරේරා, මෙතුන්, දිනූපා කෝදාගොඩ, කාංචනා අනුරාධි, දිනේෂ් ගමගේ ඇතුළු නව පරපුරේ ගායන ශිල්පීන් සම එක්ව පවත්වන මේ ප්‍රසංගය සම එක්රොක් වූ විශාල ප්‍රේක්ෂක පිරිසක් අද වන විට බිහිව ඇත. ලංකාවේ විවිධ ප්‍රදේශ වල මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද දැනට පවත්වා ඇති  ‘නාදගම’ හැඩකරන එක් හඬක හිමිකරුවෙක් වීම රිද්ම ලැබූ වටිනා අවස්ථාවක් මෙන්ම එතුළින් ඔහු සොදුරු මතකයන් සහ අත්දැකීම් රාශියක් දිවියට එකතු කරගනිමින් සිටී. තරුණ, වැඩිහිටි සියල්ලෝම පාහේ නාදගමට ඇලුම් කරන්නට ඔහුත් එක් විශේෂ සාධකයක්ව ඇත. 

චරිත අතලගේ ප්‍රමුඛව පැවැත්වූ ‘කුවේණි’ ප්‍රසංගය රිද්ම තම හඬින් තවත් වර්ණවත් කරන්නට සමත් විය. අද වන විට මොහු ප්‍රාසාංගික වේදිකාවේ තරුවක් බවට පත්ව ඇත.

මෙසේ තම සංගීත දැනුමත් සමඟ සප්ත ස්වර රිද්මයට ගයන රිද්ම, එපමණක් නොව, රිද්මයට පා තබන්නට ද උපන් හපන්කම් දක්වන්නෙකි. මොහු විවිධ රැකියා ක්ෂේත්‍රයන්හි නියුතු පිරිසකගෙන් සැදුම්ලත් “imzys” නර්තන කණ්ඩායමේ සමාජිකයෙකි. රිද්මව වර්තමානයේ සිටින තැනට ඔසවා තබන්නට බෙහෙවින් උපකාර කළ ඔහුගේ මිතුරු “ඉම්රාන් බෂීර්” ප්‍රමුඛත්වයෙන් ගෙන ගිය එම නැටුම් කණ්ඩායම තම මිතුරාගේ වියෝවෙන් පසු රිද්ම ද ඇතුළු තවත් පිරිසකගේ එකතුවෙන් අදටත් පවත්වාගෙන යයි. ඉදින් මොහු ගායනයට මෙන්ම නර්තනයෙනුත් දක්වන දස්කම් නිසාම ඔහු වෙත මෙතරම් රසික ආකර්ෂණයක් හිමිය.

යම් ප්‍රශ්නයක් හමුවේ වුව ද ඔහුගේ සොඳුරු සිනහව පාමින් පිළිතුරු දෙන රිද්ම, තම හඬින් දැනටමත් ඔහු ගැයූ නිර්මාණ වල තම අනන්‍යතාව තබා අවසන්ය. ඔහුට නිදුක් නිරෝගී  සුබම සුබ උපන් දිනයක් වේවා! යි යන පැතුමත් සමම ඔහුගේ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙමින් ඉදිරියටත් සොඳුරු හඬින් නව නිර්මාණ සමඟ සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක දිගු ගමනක් පියමනින්නට හැකි වේවා! යි යන පැතුමත් එක්කරමින් මම නිහඬ වෙමි.

“Music can talk to a wider audience and i think it will reach a lot of hearts”

                    -Ridma Weerawardena-

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කවීෂා පූර්ණි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment