“හැමෝටම ඕන වුණේ ක්‍රිකට් ගහන්න. හැබැයි මට ඕන වුණේ දිනන්න. 1975 ක්ලයිව් දිනන විට මම හිටියේ 12 න් පහළ. කපිල්ගෙ කණ්ඩායම දිනන විට මම ලංකා කණ්ඩායමේ හිටියා. එයාලට හිටියෙ සුනිල් සහ කපිල් විතරයි මිසක් වෙන ලොකු වෙනසක් මං දැක්කේ නෑ. හැබැයි පාකිස්තානයයි, ඉන්දියාවයි ලෝක කුසලානය දිනුවා. එහෙනම් ඇයි අපිට බැරි? ඇයි ලංකාවට බැරි? මම කිව්වේ අපි කප් එක ගන්නවා කියලා. එච්චරයි…“
90 දශකය තෙක් ‘සිලෝන් ටී’ (Ceylon Tea) නාමයෙන් පමණක් ආසියාවේ හා යුරෝපයේ රටවල් කිහිපයක පමණක් දැන සිටි ශ්‍රී ලංකාව සමස්ත ලෝකය පුරා ම අවධානයට ගෙන එමින් දෙස් විදෙස් පුවත් මැවූ උද්වේගකර රටක් බැව් සපථ කිරීමට 1996 ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක ශූරතාවය ට හැකියාව ලැබිණි. ඒ සඳහා දෙස් විදෙස් අභියෝග හමුවේ කරට කර ගැටෙමින් අනභිභවනීය නායකත්වයක දැවැන්ත මෙහෙයක් ඉටු කළේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ය.
මාතෘ භූමිය ලොවක් හමුවේ ගෙන යාම වෙනුවෙන් යළිත් තුති පුද කරමින් අද දින ස්වකීය 58 වන ජන්ම දිනය සමරන අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් Colombo Beacon විසින් තබන සටහනකි මේ.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් වන සබරගමු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජී පද්මසේන රණතුංගයන්ට හා නන්දනී රණතුංග ගුරුවරියට දාව කුඩා රණතුංගයන් උපත ලබන්නේ 1963 දෙසැම්බර් අද වන් දිනක දී ය. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව දෑත දැරූ ඔහු පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ද වාර්තා අතරට එක්වූවෙකි. ජාත්‍යන්තරයේ ‘ග්‍රේස් සහෝදරයන්’ සිහිගන්වන මෙම ‘රණතුංග පවුල’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පුත්‍ර රත්නයන් තුනක් දායාද කර ඇත. ඒ අතර වඩාත්ම ජනප්‍රියම චරිතය අප කතා නායකයා බැව් යළිදු කීම අනවශ්‍ය යැයි සිතමි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ චරිත රැසක් දායාද කළ කොළඹ ආනන්ද විද්‍යාලය රණතුංගයන් ගේ ද පාසල විය. 1980-1982 ‘Observer’ පුවත්පතේ ‘වසරේ පාසල් ක්‍රීඩකයා’ සම්මානය දෙවරක් දිනූ පළමු පාසල් ක්‍රීඩකයා ද මොහු ය. 1980 දී ශ්‍රී ලංකා වයස අවුරුදු 20 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ දක්ෂ රණතුංගයන් ස්වකීය පළමු තරගයේ දී ම නොදැවී ලකුණු 128 ක් ලබා ගනිමින් පැහැදුල් අනාගතයක පෙර ලකුණු විශද කළේය.
1982 පෙබරවාරි 18 දින එංගලන්තයට එරෙහිව ‘සරා ඕවල්’ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ස්වකීය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන විට ඔහුට යන්තම් වයස 18 පිරුණා පමණි. මංගල ටෙස්ට් තරගයකට සහභාගී වී ලකුණු 50 ක් රැස් කළ එමෙන්ම, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අර්ධ ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නට ඔහු ඉන් සමත් විය. මේ අතර 1983 දී තම මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ මොහු නුදුරු අනාගතයක ලෝක කුසලානය තම ලක් මාතාව සුරතේ රැඳවීමට සිහින දුටු බැව් නොඅනුමානය.1980 දී මොහු තම මංගල තරගය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන විට ප්‍රතිවාදී ඉන්දියානු පිලේ සිටියේ ද දැවැන්ත චරිතයන් ය. නුදුරු අතීතය අසල්වැසි ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන ‘රවී ශාස්ත්‍රි’ ඒ අතරින් එක් අයෙකි. ප්‍රවීණ විස්තර විචාරකයකු වන ශාස්ත්‍රී, අර්ජුන රණතුංගයන්ව හඳුන්වා දෙන්නේ මෙසේය.
“He was the same tubby chap, the same clever batsman, the same streetwise cricketer we have been watching in Test cricket all these years,”
“He has had a magnificent career, and I often think that in many ways he is Sri Lankan cricket.”
ජය කුසලානයට පෙරමං විවර කරමින් 1988 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් මෙතුමාගේ න්‍යාය වූයේ, ‘කණ්ඩායමක සාර්ථකත්වය නිරන්තරව රැඳී ඇත්තේ නායකයා, කණ්ඩායම් හැඟීම හා කණ්ඩායම් විනය’ මත බවයි. එවක එතරම් දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් නොවූ ශ්‍රී ලංකානු පිළ දැවැන්ත හැරවුම් ලක්ෂයකට නතු කිරීමට වසර කිහිපයක් ඇතුළත අර්ජුන රණතුංගයන්ට හැකි විය. අරවින්ද ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ 1992 ලෝක කුසලානයේ දී සිම්බාබ්වේ රාජ්‍යයට එරෙහිව ලකුණු 313 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ශතක තුනක් පසුකර ගිය ප්‍රථම අවස්ථාවට ලකුණු 88 ක සක්‍රීය දායකත්වයක් ලබා දීමට රණතුංගයන්ට හැකි විය. ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය නොකළ ද, නුදුරු අනාගත විජයක ඉඟි සුලකුණු එදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සනිටුහන් කර ආ බැව් සැක නැත.
ශ්‍රී ලංකාවේ යුධ ගැටුම්, මතභේදාත්මක දේශපාලන තීන්දු, අස්ථාවර ක්‍රිකට් පාලනාධිකාරිය පැවතීම ආදී මෙකී නොකී බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදුව තිබූ පසුබිමක, ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් කණ්ඩායමක් මෙහෙය වීම යනු, උගහට කාර්යයක් බැව් අමුතුවෙන් කිව යුතු නැත. එවන් කලෙක නැවතත් 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ නායකත්වයට පත් වෙමින් සිව් වසරක ශක්තිමත් ක්‍රීඩා සැලසුම් ප්‍රායෝගික ක්‍රීඩා භූමියේ දර්ශනගත කිරීමට රණතුංග නායකත්වය සමත් විය. පිත්තෙන් ද, පන්දුවෙන් ද ජයකෙහෙළි නංවමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තම ක්‍රීඩා වගකීම ඉටු කරන අතර වාරයේ, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ලෙස තම කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ද නිරන්තරව පෙනී සිටීම ‘රණතුංග තියරිය‘ විය.
ජයග්‍රාහී 96 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව, තරගාවලියේ ආරම්භයේ සිටම සාර්ථක කණ්ඩායමක් ලෙස කැපී පෙනුණි.
පාකිස්තානයේ ලාහෝර් නුවර ‘ගඩාෆි’ ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති අවසන් මහා තරගය දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගනු ලැබුයේ, මෙතෙක් ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයකට නොපැමිණි රටක් ඕස්ට්‍රේලියාවට කෙසේ ක්‍රීඩා කරනු ඇතැයි යන වැඩිතර කුතුහලය නිසාවෙනි.
එදින ශ්‍රී ලංකා අහසේ හිරු නොබැස ගිය දිනයක් විය. ඉරිදා දිනයක් වූ නිසාවෙන් බොහෝ දෙනා නිවාස වල රැඳී සිටි දිනයක් ද විය. නමුත් විනෝද ගමන්, සතිඅන්ත චාරිකා තවත් සතියකට කල් දැමූ දිනයක් ද විය. එදිනෙදා සේවයට යන්නෝ ද සුපුරුදු වේලාවන්ට පෙර තම දරු මුණුබුරන් වෙත පැමිණියෝය. බාල මහලු කොයි කවුරුත් රූපවාහිනී පැවති නිවාස කරා එකතු වූහ. නොඑසේ නම්, ගුවන් විදුලි යන්ත්‍ර කරා රොක් වූහ. පැය ගණනක සාර්ථක ව්‍යායාමය නිමා වූයේ ශ්‍රී ලංකාවේ සුවහසක් ක්‍රීඩා ලෝලීන්ට නිම්හිම් නැති ප්‍රීතියක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඔද වැඩි ගෞරවයක් ද නිර්මාණය කරමිනි.
ප්‍රතිවාදීන්ට එරෙහිව හඹා ගොස් ලකුණු 241 ක් රැස් කරමින් 1996 රන් කුසලානය ලක් මාතාවගේ සුරතේ රැඳවීමට රණතුංග නායකත්වයට හැකියාව ලැබිණි. තරගාවලියේ ඉහළම ‘සාමාන්‍ය’ (Average 120.50) ද මොහු සතු විය. එසේම එය කණ්ඩායම් හැඟීමේ දැවැන්ත ජයක් වූයේ 1996 පිළේ සිටි බොහෝ ක්‍රීඩකයන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීම හේතුවෙනි. සැබැවින්ම රණතුංගයන් ට අනුව 1996 ලෝක කුසලාන තරගාවලිය ඔවුන් “කුසලානය අරන් එන්න ගිය තරගයක්” විය.
ස්වකීය පවුල් ජීවිතය ද සාර්ථකව ගත කරමින් තම දරුවන්ගේ ආදරය ලබන ආදරණීය පියෙක් වන එතුමා ක්‍රීඩා පිටියේ දී මදක් තද ගති පවත්වන පුද්ගලයෙකු වුව ද දරුවන් හා බිරිඳ වෙනුවෙන් මෘදු ගති ඇත්තෙක් බව එතුමා සහභාගී වූ වැඩසටහන් වලින් පැහැදිලි වේ. එතුමාගේ එකම පුතු වන ‘දයාන් රණතුංග’ ද ක්‍රිකට් ක්‍රීඩාවට සමත්කම් දක්වන්නෙකි.
අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩකයා යනු, සටන්කාමී ක්‍රීඩා නායකත්වයක පිහිටමින් අසාධාරණයට එරෙහිව ඕනෑම මොහොතක නැගී සිටි අයෙකි. 1999 දී ලෝක කුසලාන ජයග්‍රාහකයන් ද ලෙස එක් දින තරගාවලියකට ඔස්ට්‍රේලියාවට ගිය අවස්ථාව ඔහුගේ නායකත්ව, ස්ථාවරය මැනවින් විශද කරවන අවස්ථාවකි. එවකට මුත්තයියා මුරලිදරන්ගේ ‘දඟ පන්දුව’ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබිණි. එම තරගයේ මුරලිදරන් යැවූ පන්දු කිහිපයක්ම නිපන්දු (No ball) ලෙසට විනිසුරු සංඥා ලැබිණි. පිටපිටම පන්දු ගණනාවක් නිපන්දු ලෙස සැලකූ රෝස් එමර්සන් විනිසුරුගේ සැක සහිත ක්‍රියා කලාපය නොරිස්සූ මෙම නායකත්වය විනිසුරු සමඟ උණුසුම් වචන හුවමාරුවකින් පසු තම කණ්ඩායමට ලබා දුන් එක් සංඥාවක් සමඟ ක්‍රීඩා කිරීම නවතා ක්‍රීඩා පිටියේ කෙළවරක රැඳී සිටියේ සාධාරණයක් ඉටු වන තුරුය. මින් පැහැදිලි වන්නේ අයුක්ති සහගත අවස්ථාවකට ස්ථාවරව එළඹ සිටීමට හැකි පෞරුෂයක් ඔහු සතුව පැවති බවයි.
2000 ජුනි මස ශ්‍රී ලංකාවේ 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රණතුංගයන් මෙහි දී විශේෂ වූයේ ‘තම රටේ පළමු හා සිය වැනි ටෙස්ට් තරගයේ දී තම රට නියෝජනය කළ එකම ක්‍රීඩකයා’ වීම හේතුවෙනි.
වමත් පිතිකරුවකු ලෙසත්, දකුණත් පන්දු යවන්නෙක් ලෙසත් සටන්කාමී ක්‍රීඩා ඉරියව් නියෝජනය කරමින් තම ශාරීරික බාධා ද ඉවත හෙළමින් ක්‍රිකට් කෙළිබිමේ ජයකෙහෙළි නැංවූ මෙකී ශ්‍රේෂ්ඨ නායකයා 2001 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.
ඉන් අනතුරුව විස්තර විචාරකයකු ලෙසත්, 2005 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමාජිකයකු ලෙසත්, 2008 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙසත් ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කළේය.
නවක දක්ෂයන් ක්‍රිකට් ක්‍රීඩා පිටියට හඳුන්වා දෙමින් දැනුදු ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිරය පිටුපස විශාල කාර්යභාරයක් ඉටු කරයි. මෑතක දී ඔහු එසේ හඳුන්වා දුන් දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස ‘ප්‍රවීන් ජයවික්‍රම’ නම් කළ හැකිය.
අසල්වැසි රාජ්‍යයේ බොහෝ ප්‍රසිද්ධ නායකයන් මෙන්ම රණතුංගයන් ද විශ්‍රාම ගැනීමෙන් පසු දේශපාලනයට පිවිසියේ ය. දේශපාලන වේදිකාවේ ද මතභේදාත්මක අදහස් පළ කරමින් වර්තමානයේ ද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සේවය කිරීමට ඔහු කටයුතු කරයි. 2018-2019 කාලයේ ‘ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය’ ලෙස කටයුතු කිරීම මෙතුමාගේ දේශපාලන ජීවිතයේ විශේෂ සංධිස්ථානයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යම් පසුබෑමක පැවැති පසුගිය කාලයේ නිරන්තරව මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් “වරද ඇත්තේ කොතැන ද? නිවැරැදි විය යුත්තේ කෙසේද?“ යන්න පැවසීමට මෙතුමා පසුබට නොවීය. 96 රන් කුසලානයේ රිදී ජුබිලි සැමරුම සිදු කළ 2021 වසරේ පැවැත් වූ උත්සවයේදී ද, ක්‍රීඩාව කෙරෙහි රණතුංගයන් දරන ආත්මීය ආකල්පය එතුමාගේ දේශනයේ දී මනාව පසක් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා නායකත්වය වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටු කළ අර්ජුන රණතුංග මහතා යනු, නවක ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවට ද මනා ආදර්ශයකි; අභිමානවත් පුත්‍රයෙකි; ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.
අද දින ස්වකීය 58 වන ජන්ම දිනය සමරන ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාට නිදුක් නීරෝගී සුබ උපන්දිනයකට ආසිරි පතමින් එතුමාගේ වටිනා ප්‍රකාශයකින් ම මාගේ සටහන නිමා කරමි.
“ක්‍රීඩාවේ පැවැත්ම ‘විනය’. විනය අංක එක විය යුතුයි. විනය නැති තැනක ක්‍රීඩාවට පැවැත්මක් නෑ. ක්‍රිකට් වලට විතරක් නෙවෙයි, රටකට වුණත් එහෙමයි.”
Design by : Shanaka Vishwantha
References :
- https://es.pn/3xHVVWx
- https://bit.ly/3G1FlnM
- https://bit.ly/3xGZMDn
- https://bit.ly/3I765F6
- https://bit.ly/3d3VH2C
- https://bit.ly/3o7OqoK
Images :
Nice 🔥