ආගමික

නිකිණි පොහොය වරුණාව

පින් උපදවා ගැනීමට පින් කෙතක් බඳුවූ, පසු වස් සමය ඇරඹෙන නිකිණි පොහොය වරුණාව මෙසේ දිගහැරෙන වගයි… 

ඒ මහා ගෞතමයාණන් ඇසතු බෝ රුක මුල බුද්ධත්වයට පත්වී  වසරක් ගෙවීයන කල බුදුන් දෙසන ධර්මයට පැහැදී භික්ෂුන් බවට පත්වූවන් ප්‍රමාණයෙන් විසි තුන් දහසක් පමණ විය. වර්ෂා කාලය ඇරඹීමත් සමඟ, ශ්‍රී සද්ධර්මය දසත පතුරුවාලීම සඳහා ගමනේ යෙදෙන විසිතුන් දහසක් වූ මහණ භික්ෂූන්ගෙන් දළු ලා වැඩෙන ළපටි වූ නිල් තණකොළ තැලී පොඩි වීම ද නිල් තණකොළ යායන් මඩ ගොහොරු බවට පත්වීම ද පයට පෑගී කුඩා ජීවීන් මිය යාම ද ගැන  නුවරුන් බුදුරජාණන් වහන්සේට අප්‍රසාදය පළ කළහ. කාරණා සලකා බැලූ ගෞතමයාණන් වහන්සේ වර්ෂා කාලය හෙවත් වස් සමයේදී බුදුසසුනෙහි පැවිදි වූ සියලු සංඝයාවහන්සේලා ආරාම වලට වී ධර්මය මෙනෙහි කරමින් කල් ගෙවිය යුතු බවට විනය නීතියක් පැනවූහ. පෙර වස් සමය හා පසු වස් සමය ලෙස දෙවැදෑරුම් වූ වස් කාලයේ පසු වස් සමය ඇරඹෙන්නේ අදවන් නිකිණි පුර පසළොස්වක පොහොය දිනයකයි. 

තිලොවට තිලක වූ අප මහා සම්බුදුරජාණන්  වහන්සේගේ  ශ්‍රී මුඛයෙන් වදාළ ධර්මස්කන්ධය වසර පන්දහසක් පුරා  සුරැකීමට පාදක වූ පළමු ධර්ම සංගීතිය ආරම්භවූයේද අදවන් නිකිණි පුර පසළොස්වක පොහොය දිනකයි. මහා ගෞතමයාණන් උපවර්තන සල් උයනේ  පිරිනිවන්පෑමෙන් අනතුරුව ගෙවී ගිය සිව්මසක ඇවෑමෙන්, රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණී ගුහා ද්වාරයේ ඉදිකරන ලද  මනරම් මණ්ඩපයකදී සත් මසක් පුරාවට මෙම පළමු ධර්ම සංගීතිය පැවැත්වීය. ශාසනභාරධාරී මහා කාශ්‍යප හිමිපාණන් ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලාගෙන් යුතු වූ ධර්ම මණ්ඩපය මගධයට අගරජ වූ අජාසත්ත මහ රජුගේ අනුග්‍රහයෙන් සිදුවිය.

විසිපස් වසක් පුරාවට බුදු රඳුන්ගේ අග්‍ර උපස්ථාදායකව සිටි ආනන්ද තෙරුන් රහත් බවට පත් වූයේ ද අදවන් නිකිණි පොහොය දිනකයි. පෙර භවයකදී පදුමුත්තර බුදුන් කල හංසවතී නගරයේ අග රජුන්ට දාව දෙටු පුත්ව සුමන නමින් උපත ලැබූ භවයේදී “මතු දිනක ලොව පහළ වන බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථාදායක වීමට ලැබේවා” යි කරන ලද ප්‍රාර්ථනාවක් අනුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ අග්‍ර උපස්ථායක වීමට ශාක්‍ය කුලයේ ආනන්ද නමින්  ආනන්ද හිමි උපත ලැබීය. ගෞතම බුදු සසුනේ වැඩිම අග්‍රස්ථාන පදවි සංඛ්‍යාවක් ආනන්ද තෙරුන් විසින් හොබවනු ලැබූ අතර ධර්ම භාණ්ඩාගාරික තනතුරද එයට අයත් විය. ධර්මය සුරැකීම උදෙසා පළමු ධර්ම සංගීතිය අරමුණු කරගත් හෙයින් ධර්ම භාණ්ඩාගාරික ලෙස ආනන්ද තෙරුන් එයට සහභාගි වීම අනිවාර්ය කාරණාවක් විය. නමුත් ඒ වනවිටත් රහත්භාවය නොලබා සිටි අනඳ තෙරුන් ඉතා වීර්යය වඩා පළමු ධර්ම සංගීතිය ආරම්භ කළ දින අළුයම් යාමයේ දී රහත් බව ලබා ගත්තේය.

ලක්දිව බුදු සසුන පිහිටුවීමෙන් අනතුරුව නිකිණි පොහොය දින ශ්‍රී ලංකාවේ සිදු වූ හා සිදුවන වැදගත් සිදුවීම් කිහිපයක් ද වේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් මහනුවර දළදා මාළිගය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී දන්ත ධාතුව රැගත් වාර්ෂික මහා පෙරහැර ඇසළ පොහෝ දිනයේ පටන් පුරා මාසයක් වීදි සංචාරය කරනු ලබයි. එම අති උතුම් වූ පෙරහැර මංගල්‍යය නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ දී අවසානයට ළඟා වේ. එයට සමගාමීව රුහුණු මහා කතරගම දේවාලයේ දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහැර ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ දී වීදි සංචාරය කර අවසන් වේ. මීට වසර එකසිය පනස් අටකට පමණ පෙර රජරට වැසියන් විසින් ශ්‍රී මහා බෝධිය වටා ගිනිමැල දල්වාගෙන නිදි වරමින් දිවා රෑ පුරා එය වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සිදු කරන ලදි. එම ගිනිමැල වලට අවශ්‍ය දරමිටි ගෙන ගෙනයෑමේ පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක සිදුවූ බව සඳහන් වන අතර නිකිණි පොහොය දරමිටි පොහොය ලෙස හැඳින්වීමට ද එය කාරණාවක් වේ.

ධර්මය පුරනා භික්ෂූන් වහන්සේලාට සහ සිව්පසයෙන් සංග්‍රහ කර පින් පුරනා උවැස උවැසියන්ට මේ නිකිණි පොහොයෙන් උදාවන පසු වස් කාලය නිවනට සැනසීමක්ම වේවා!

Image :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පබසරා සත්සරණී

දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment