“සුව ධරණී” වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භූමියේ සාරය ගැන ලියැවෙන ‘සුව ධරණී’ ලිපි පෙළ ඔස්සේ අප ආරම්භයේ පටන්ම හෙළයේ ඖෂධීය ශාකයන්ගේ ගුණයන් පිළිබඳව විස්තර ගෙන ඒමට සමත් වූවා.
එලෙස ලියැවුනු ලිපි පෙළෙහි මීළඟ කතාංගය වන්නේ “නික” ශාකයේ ගුණයන් පිළිබඳවයි.
නික
උද්භිද නාමය :- Vitex negundo
ඉංග්‍රීසි නාමය :- Five leaved chaste tree
ගංගා ඉවුරුවල සහ ගෙවතුවල දක්නට ලැබෙන ඖෂධීය ශාකයකි. උස මීටර 8ක් පමණ උසට වැඩෙන ශාකයකි. කෙලින් වැඩෙන අතු බෙදුන පඳුරකි.
පත්‍ර සිහින් ය. පත්‍රයක පත්‍රිකා 3-5 ත් අතර වේ. ළපටි අතු සුදු පැහැති බූවක් සහිත ය. මල් සුවඳවත් ය. ඒවා ළා නිල්, රෝස සහ සුදු පැහැති විය හැකිය. වසර පුරා මල් හට ගනී.
පරිනත ශාකයේ පොත්ත රතු දුඹුරු පැහැති වන අතර තුනී පටලමය පටි ලෙස පොතු ගැලවී යයි. දම් හෝ කළු පැහැති මාංසල ඵලයක් ඇත.
නික ශාකයේ මල්, කොළ, පොතු, මුල්, ගෙඩි ආදී සියලුම දෑ ඖෂධ සඳහා යොදා ගනී. ආයුර්වේදයේ පොට්ටනි සඳහා නික කොළ බහුලව යොදා ගනී.
වාත රෝග, ඉදිමුම්, ආමවාතය හෙවත් ආතරයිටිස්, දද, කුෂ්ඨ, ඇස් රෝග, කර්ණ රෝග, ප්ලීහාව ඉදිමීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ දී නික ශාකයේ කොටස් ඖෂධයක් ලෙස යොදා ගනී.
ආර්තව ජනනය කිරීම සඳහා ගුණ ‘නික’ ශාකයේ ඇත. මුත්‍රකාරක, කුෂ්ඨ සහ පණු රෝග නසන, වණ ශේධනය සහ රෝපණය කරන ගුණ සහිතයි.
නික කොළ තම්බා ගත් ජලය වණ, දද ආදිය සේදීමටත්, ඇස් රෝග වල දී ඇස් සේදීමටත්, චර්ම රෝග වල දී රෝගය ඇති ස්ථාන සේදීමටත් භාවිතා කරයි. නික කොළ තැම්බූ වතුරින් නෑම සහ ඇඟ තැවීම අලුත දරුවන් ලැබූ මව්වරුන්ට මෙන්ම වාත රෝගවලින් පෙළෙන අයට ද ඉතාමත් ගුණදායක ය.
හන්දිපත් වේදනා, අතපය වේදනා සහ
තුනටිය වේදනා අයට නික දිවමන් ඔසුවකි.
නික මුල් ශක්තිජනක ය. උණ නාශක ය. අර්ශස් රෝගයට ඖෂධයකි. පීනස හා හිස රුදාව අඩු කිරීම සඳහා නිකකොළ හිසට උඩින් තබාගැනීම ආයුර්වේදයේ ප්‍රකට කරුණකි.
වර්තමානයේ දී භාවිතයේ නොමැති වුවත් අතිතයේ දී කුඩා දරුවන්ගේ දත් එන කාලයේ දී ඇතිවෙන වේදනාවන් සහ නොසන්සුන් බව සමනය කිරීමට නැගෙනහිර දිශාවට වැඩුණු අත්තක් ඇති සුදු මල් පිපෙන නික ශාකයක මුල් කැබැල්ලක් ගෙන සුරයක් සේ දරුවාගේ බෙල්ලෙ එල්ලීම කෙම් ක්‍රමයක් සේ සිදු කෙරුණි.
මෙම මහඟු නික ශාකය නිර්ගුණ්ඩ්‍යාදී තෛලය සෑදීම සඳහා යොදා ගනී. නික කොළ වලින් සෑදූ තෙල් ඔඩුවන සහ ග්‍රන්ථ ශෝධ වලට භාවිතා කළ හැකිය.
නික ශාකය සංරක්ෂණය කළ යුතු ඖෂධ පැළෑටියක් සේ මේ වන විට සලකන බැවින් ඔබේ ගෙවත්තේ පුංචි ඉඩකඩක් නික ශාකය වෙනුවෙන් වෙන් කිරීමට හැකි නම් ‘සුව ධරණී’ මෙම ලිපියේ වටිනාකම මහඟු වනු ඇත.
මූලාශ්‍ර : ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණ සහ තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතියේ ප්‍රකාශනයක් ඇසුරින් සහ දේශීය වෛද්‍යායතනයේ ප්‍රකාශනයක් ඇසුරිනි.
Leave a Comment