හැට නව වන ජාතික නිදහස් දින සමරු උළෙල ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අන්දමින් අද දින පැවැත්විණි. 1948 වර්ෂයේ පෙබරවාරි 4 වන දින අප අත්පත් කර ගත් නිදහස සෑම වසරක් පාසාම දේශාභිමානය පෙරටු කරගෙන සමරනු ලබන අපි ලාංකිකයන් වීම සම්බන්ධයෙන් මහත් අභිමානයට පත් වන්නෙමු. නමුත් අද දින දෙසවන් පුරා රැවු දුන් වේගවත් එඩිතර කතා තුළ ගැබ්ව ඇති තරම් අභිමානයකට හිමිකම් කීමට තරම් වර්තමාන ලාංකිකයන් සුදුසුකම් සපුරා ඇත්ද?
1948දී අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූවද අප තුළ පැවති වහල් මානසිකත්වයෙන් සම්පූර්ණ වශයෙන් නිදහස වූවාද යන්න විචාරයට ලක් කළ යුතු කරුණකි. සියරට දේ සිරිසැප දේ යැයි කතාවට පැවසුවද අප බොහෝ විට කරන්නේ අපගේ හැකියාවන් අවමානයෙන් යුතුව හෙලා දැකීමයි. තණකොළ වුවද සාරවත්ව වැවෙන්නේ බටහිර රටක නම් අප මහත් උනන්දුවකින් ඒවා අගය කරන්නෙමු. රොබින් හුඩ්ට ආලය කරන අප සරදියෙල්ට වෛර කරන්නෙමු. එලෙසම අපේ දේ වල හොඳ අගය කර වරද පෙන්වා දී ඒවා තවත් ඉදිරියට ගෙන යාමට සැමවිටම පාහේ පසුබට වන්නෙමු. අපගේ නිෂ්පාදන ප්රමිතිගත නොවීමට හේතුව අපගේ තාක්ෂණය එතරම් උසස් නොවීම යැයි කිසිවෙකුට තර්ක කළ හැක. එය සැබෑවකි. නමුත් පෘතුගීසින්ට යටත් වීමට පෙර ලෝකයේ උසස්ම තත්ත්වයේ වැව් බැඳි රාජ්‍ය වන එලෙසම එවකට දියුණුම තාක්ෂණයට හිමිකම් කී රටක මුතුන්මිත්තන්ගෙන් පැවත එන අපට නිදහසෙන් වසර හැට නවයකට පසුවද නැවත ඒ තත්ත්වයට ළගා වීමට නොහැකි වූයේ ඇයි? ලී ක්වාන් යූ සිංගප්පූරුවේ අගමැති වූ පසුව ප්රකාශ කළේ සිංගප්පූරුව ලංකාව තරමට උසස් කරන බවය. නමුත් සිංගප්පූරුව ඇතුළු බොහෝ රටවල් දැන් අපට ආධාර දිය හැකි තරමට දියුණු වී අප පසුකරමින් බොහෝ ඉදිරියට ගොස් ඇත. අප තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් යන ලේබලය යටතේ දීර්ඝ කාලීන නිද්‍රා සුවයක අතරමංව සිටී.
අප මෙලෙස පසුගාමී වීමට හේතුව ලෙස තිස් වසරක් පමණ පැවති කුරිරු යුද්ධය බව කිසිවෙකුට පැවසිය හැක. එය සත්‍යයකි. එලෙසම යුද්ධයෙන් පසුව මංමාවත් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වූ බවද සැබෑවකි. නමුත් විශිෂ්ට රටක් බිහි කිරීමට සමත් දෑත් සහ බුද්ධියෙන් යුතු විද්‍යාර්ථීන් අවශ්‍ය තරම් බිහි කිරීමට හැකි අධ්යාපන රටාවක් ලංකාව තුළ ක්රියාත්මක කිරීමට පාලකයන් තවමත් උනන්දු නොවේ. අප අද දිනද උපාධිධාරීන් විසින් පත් කර ගනු ලූඛූ සාමාන්‍ය පෙළ පවා අසමත් මහජන නියෝජිතයන් රැසක් පෙරටු කරගෙන ජාතික නිදහස් දින උත්සවය මහත් අභිමානයෙන් සැමරූවෙමු.අනෙක් කරුණ නම් යුද්ධය සදහා මූලික වූ කරුණු රැසක් තවමත් සමාජය තුළ මුල් බැසගෙන තිබීමයි. අද දින දස අත රැවු දුන් සමානාත්මතාව සංහිඳියාව වැනි මානුෂීය හැගීම් වදන් වලට පමණක් සීමා වී හදවතින් බොහෝ දුරස් වී ඇත.
අභිමානවත් පෞඪ ඉතිහාසයකට හිමිකම් කියන අපි අපගේ මුතුන්මිත්තන් ගැනත් ඔවුන්ගේ ලේ කදුළු දහදිය මතින් ගොඩ නැංවූ දේශය ගැනත් මහත් අභිමානයෙන් යුතුව කතු කරන්නෙමු. අද දින මහත් අභිමානයෙන් යුතුව නිදහස් දිනය සැමරූ ලාංකිකයන් තමනගෙන්ම විමසිය යුතු වන්නේ අපගේ දරු පරපුරටද අප ගැන එවන් අභිමානයකට පත් විය හැකිද යන්නයි.
Leave a Comment