කුසට ආහාරයක්,හිසට වහලක් හා ගතට වස්ත්‍රයක් තමයි මිනිසාගේ මූලික අවශ්‍යතා වෙන්නේ. එයිනුත් ආහාර කියන අංගය මූලික වෙනවා. මානවයාට පමණක් නොව, සතා සිවුපාවටත් ආහාර කියන අංගය ඉතාම වැදගත්. එයට හේතුව වන්නේ ආහාර නොමැතිව ජීවයේ රඳා පැවැත්මක් නොමැති වීමයි.
මොහොතක් සිතන්න.ඉහත කීවා වූ ආහාර අවශ්‍යතාවය, කීයෙන් කී දෙනාටද සපුරගන්න පුළුවන්? ඒ වගේම, තුන් වේල සපයාගැනීමට හැකියාව ඇති අය පරිභෝජනය කරන්නේ සුරක්ෂිත ආහාර ද?
වර්තමාන සමාජයේ කාර්‍යබහුලත්වයත් සමඟ මිනිසුන් ක්ෂණික ආහාර වලට යොමුවෙලා. ආහාර නිවසේදී සකසා ගන්නවා වෙනුවට ආපනශාලා,අවන්හල් මඟින් ආහාර ලබාගන්න පෙළඹිලා. ඒ මිලදී ගන්නා ආහාර 100% ක් සුරක්ෂිතයි කියලා අපිට තහවුරු කරගන්න හැකියාවක් නැහැ. ඒ අනූව, මෙවන් සමාජයක් පැවතීමේදී ආහාර අතින් සුරක්ෂිත, සුපෝෂිත ලෝකයක ජීවත්වෙනවා කියන්න අපට හැකියාවක් නැහැ නේද?
මානව පරිණාමයේ ආරම්භයේ සිට මීට දශක ගණනකට පෙර කාලය දක්වාම පෘථිවිය සුපෝෂිතව පැවතුනා. පෘථිවියේ විවිධ කලාප වලට විවිධ දේශගුණික බලපෑම් පැවතියත් ඒවාට අනුගත වෙමින් සියලු දෙනා තමන්ගේ ආහාර අවශ්‍යතාව තමන් විසින්ම සපයා ගන්න උත්සහ කළා. ඒ හේතුවෙන් තමන් පරිභෝජනය කරන ආහාරවල සුරක්ෂිතතාවය පිළිබඳ විශ්වාසයක් අතීත මානවයාට තිබුණා. එම ආහාර සුරක්ෂිතභාවය නිසාම ඔවුන් ඉතා නීරෝගී දිවිපෙවෙතක් ගත කළා. ඒ වගේම වර්තමානයට සාපේක්ෂව වැඩි ආයුෂ ප්‍රමාණයක් අත්වින්දා.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කතාකරද්දී “ලෝක ආහාර සුරක්ෂිතතා දිනය” කියන්නේ කතාකළ යුතුම මාතෘකාවක්. වර්ෂ 2018 දෙසැම්බර් මස 20 වන දින එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජූනි 07 වෙනිදා ආහාර සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබූවා. ඒ අනුව වර්ෂ 2020 ජුනි 07, එනම් අද දින තමයි දෙවන වරට ලෝකය ලෝක ආහාර සුරක්ෂිතතා දිනය සමරන්නේ.
- ආහාර සුරක්ෂිතතාව යනු කුමක්ද?, ඇයි
- ආහාර සුරක්ෂිතතා දිනයක් නම් කළේ?,
- මෙම වසරේ ආහාර සුරක්ෂිතතා දිනයේ තේමා පාඨය
වැනි කරුණු පිළිබඳ කුඩා හෝ අවබෝධයක් ඔබ අප සියලුදෙනාම තුලම පැවතීම වැදගත් වෙනවා.

ඒ අනුව,
ආහාර සුරක්ෂිතතාව කියන්නේ ආහාර මඟින් ඇතිවන රෝග වැළැක්වීම සඳහා ආහාර හැසිරවීම, සකස්කිරීම හා ගබඩාකිරීම පිළිබඳ විග්‍රහ කරන විද්‍යාත්මක විනයක් කිව්වොත් නිවැරදි යි.
සෞඛ්‍ය ගැටලු වලක්වාගැනීමට අනුගමනය කල යුතු ක්‍රමවේද ආහාර වෙළෙඳ පොල සලකා බැලීමේදී ආහාර ඇසුරුම් කිරීම; ආහාර සඳහා ජෛව තාක්ෂණය භාවිතා කිරීම සඳහා වන මාර්ගෝපදේශ මෙම මාතෘකාව යටතට අයත් වෙනවා.
දූෂිත ආහාර හා දූෂිත ජලයෙහි සෞඛ්‍යමය ප්‍රතිවිපාක පිළිබඳ ගෝලීය අවධානය යොමුකිරීම සඳහා එක්සත්ජාතීන්ගේ සංගමය මෙම දිනය ප්‍රකාශයට පත්කරලා තියෙනවා.
වර්තමානයේ පවතින දත්ත වලට අනුව ආනාරක්ෂිත ආහාර පරිභෝජනය මගින් පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙක් රෝගීවන අතර, සෑම වසරකම පුද්ගලයින් 420,000 ක් පමණ මිය යනවා. තාක්ෂණයත් සමඟ බද්ධ වූ මානව සමාජයට, තාක්ෂණය හේතුවෙන්ම අනාරක්ෂිත වූ ආහාර හේතුවෙන් ඍණාත්මක බලපෑම් ඇතිවිය හැකියි. ඒ හේතුවෙන් “Food safety, everyone’s business (ආහාර සුරක්ෂිතතාව, සැමදෙනාගේම යුතුකමයි)” යන තේමා පාඨය ඔස්සේ මෙවර ආහාර සුරක්ෂිතතා දිනය සමරනු ලබනවා.
ඉතින්, අනාගත වගකිවයුත්තන් ලෙස අපි ආහාර සුරක්ෂිතතාව ලොව තුල ස්ථාපනය කිරීම සඳහා හැකි උපරිමයෙන් දායක විය යුතුයි. නීරෝගීමත් සමාජයක් ගොඩනැගීම උදෙසා විදු සිසුන් ලෙසින් අපි අපිට හැකි ලෙසින් උරදෙමු.
Reference links:
- https://www.paho.org/en/campaigns/world-food-safety-day-2020
- http://www.fao.org/fao-who-codexalimentarius/world-food-safety-day/background/en/
- https://www.fda.gov/food/consumers/world-food-safety-day
Image Courtesy: Daria Shevtsova
Leave a Comment