“පුතා ඉක්මනට එන්න මොකද්ද කරන්නේ අදවත් එන්න එලියට ඔය ගුබ්බෑයමෙන්”
ඒ අම්මගේ හඬ. ඇස් දෙක අරින්නත් කලින් අතගාලා බැලුවේ ෆෝන් එක කොහේද කියලා. දෙවනි ලෝක යුද්දේ වගේ ගෙදර සද්දේ. මම ඒත් ජනේලෙන් එලිය බැලුවා මුකුත් කරදරයක්වත් ද කියලා. ම්හ්.. කිසි දෙයක් නෑ. එලියේ ඉදපු බලු නකුටත් වෙනදා වගේම මගේ දිහා බලලා නැට්ට වනපු එක විතරයි කලේ. කෝ මේ බ්‍රශ් එක. එක්කෝ අද දත් මදින්න ඕන නෑ නිවාඩු දවසක් නේ. එහෙම හිතාගෙන ආවා ‘ගුබ්බෑයමෙන්’ එලියට..
“පුතා ඉක්මනට ලෑස්ති වෙන්න මූන සෝදගෙන.. අපිට කරන්න ගොඩක් වැඩ තියනවා..”
ආයිත් අම්මා පටන් ගත්තා..
ජංගම දුරකථනය නාද වෙයි..
අහ් ට්වීව් එකක්.. කවදවත් ට්වීට් පණිවිඩ බලන්නේ නැති මම අද නිකමට වගේ ඒක ඕපන් කරලා බැලුව.
“නව අවුරුදු උදාව පෙරවරු 7.24ට යෙදෙන සුභ නැකතින්……”
අම්මටසිරි අද නේද අවුරුදු. මම ඒත් බැලුවා අම්මා මොකද මේ කවදාවත් නැතුව මට කෑ ගහන්නේ කියලා. (හැමදාම වගේ) බලන්න ඕන පොඩ්ඩක් ඩේටා ඔන් කරලා.
බුකියේ හැම තැනම පෝස්ටර් ගහලා ඔන්ලයින් අවුරුදු උත්සව වලට. ලිස්සන ගහේ දිග මැනීම, අවුරුදු කුමරා/කුමරිය, අලියට ඇස තැබීමේ gif එක… ඒ අතර උන තරඟ කිහිපයක්. මම නම් මේ වගේ අවුරුදු උත්සවයක් කවදාවත් දැකලා නෑ.
අම්මෝ දැන් නම් අත රිදෙනවා ෆෝන් එකේ වයිබ්‍රේට් එකටම. නොටිෆිකේශන් බාර් එක බැලුවා වට්සැප් මැසේජ් 486ක්. මට කලන්තේ වගේ. යකෝ මෙහෙම මැසේජ් එවන්න තරම් වෙලාවක් තියනවද බන් මුන්ට? ඒවට රිප්ලයි කරන්න වෙනම එකෙක් සල්ලි දීලා ගත්තත් පාඩු නෑ කියලා මට හිතුනා.
“අයියෝ ඔය මොන පාටද ලමයෝ ඇඳගෙන ඉන්නේ.. අද අඳින්න ඕන නිල් පාට ඇඳුම්..”
ඇයි අනේ මේ මිනිස්සු එක දවසක් විතරක් මෙහෙම හැසිරෙන්නේ?? මම මටම කියාගෙන කාමරේට ගිහින් ඇඳේ හාන්සි වෙලා ආයිත් ෆෝන් එක අතට ගත්තා. වෙන කරන්න දෙයක් නෑනේ කොහොමත්.
“ලොකු පුතා එන්න මල්ලි එක්ක සාලෙට මම කියලා දෙන්නම් පංචි දාන විදිය”
ඒ තාත්තා. “පංචි.. මොන මගුලක්ද ඒ?? ඔන්ලයින් ගහන්න පුලුවන් එකක් නම් හොඳයි. ඇඳේ ඉඳන් ප්ලේ කරන්න පුලුවන්.” මම හිතුවා තනියම.
“මල්ලී. අන්න තාත්තා කතා කරනවා මොකද්ද කියලා දෙන්න.” මම මල්ලිත් කතා කරගෙන ගියා සාලෙට..
අහ්හ් මේකද මේ පංචි කියන්නේ. මම ඒත් බැලුවා මොකද්ද මේ කොටු ගහල තියන කාඩ්බෝඩ් එක කියලා..
තාත්තා කියලා දුන්නා. මට නම් ඒක එච්චර ඇල්ලුවේ නෑ..
“තාත්තේ.. මම දැන් යන්න ඕන කාමරේට. ගොඩක් ලොකු වැඩක් තියනව කරන්න.”
“මොකද්ද බන් මේ අවුරුදු දවසේ උඹට කාමරේට වෙලා කරන්න තියන වැඩේ??..”
“අපේ කැම්පස් එකේ තියනවා තාත්තේ ඔන්ලයින් අවුරුදු උත්සවයක්.” තාත්තගෙ මූන දෙකක් උනා. යකෝ මුන් මෙහෙමද අවුරුදු උත්සව කරන්නේ කියලා හිතෙන්න ඇති. මට ඒකෙන් වැඩක් උනේ නෑ. ආයිත් ආවා කාමරේට.
“අම්මේ.. බඩගිනී…”
“පොඩ්ඩක් හිටපන් ආහාර අනුභවය තියන්නේ 11.46ට..”
“එතකන් ඉන්න ඕනද ඉතින් අපි??”
“නැත්නම්… මෙච්චර වෙලා හිටියා වගේ ෆෝන් එක කකා ඉඳපන්.”
අම්මට මල පැනලා කියලා තේරුන නිසා කුස්සියට වෙලා හිටියා උඩ බලාගෙන.
තාත්තාත් සාලෙ ඉඳන් ටීවී එක කන්න වගේ බලාගෙන ඉන්නව. මල්ලි ලැප් එක දිග ඇරගෙන ගේම් ගහනව. අම්මා කිරිබත් උයන්න පොල් ගානව. මම කාලකණ්ණියා වගේ උඩ බලාගෙන ඉන්නවා මෙතන…
“ඇත්තටම අපි මොනවද දන්නේ මේ අවුරුද්ද ගැන??.” මටම කියාගත්තා..
“මිනිස්සු අවුරුදු සමරන්න ගොඩක් කල් ඉදන් ලෑස්ති වෙනවා.. තව අලුත් ඇඳුම් අදිනවා.. තෑගි එහෙමත් දෙනවා.. පන්සල් පල්ලි යනවා.. ඒත් ඉස්සර ඒවා තිබිල නැතුව ඇති..
තාත්තා ලඟට ගිහින් බිමින් වාඩි උනා එරමිණියා ගොතාගෙන.
“තාත්තේ.. ඇත්තටම ඉස්සර මිනිස්සු කොහොමද අවුරුදු සැමරුවෙ??..”
“අපේ කාලේ ඔය කාලකණ්ණි මගුල් ෆෝන් තිබුනේ හදිස්සියකට කෝල් එකක් ගන්න විතරයි. ඒත් දැන් හැම මගුලම කරන්නේ ඒකෙන් නේ උඹලා.. ඉස්සර අපි අක්කලා නංගිලා මල්ලිලා අයියලා එකතු වෙලා එක එක සෙල්ලම් කරනවා. ඒවට කියන්නේ අවුරුදු ජන ක්‍රීඩා කියලා. උඹලා ඒවට දැන් කියන්නේ ඔන්ලයින් නිව් ඉයර් ගේම්ස් කියලනේ.. තව ඉස්සරහට යද්දි උඹලට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ ලොකු පුතා.. දුකයි මෙහෙම වෙන එකට..”
තාත්තා කියවගෙන කියවගෙන ගියේ හරියට හාඩ් රොක් සින්දුවක් වගේ. හාඩ් රොක් තමයි මම අකමැතිම ස්ටයිල් එක..
තාත්තා එහෙම කියලා ආයිත් ටීවී එක කන්න පටන් ගත්තා. මම හිතුවා මෙතන ඉන්න එක ඇගට ගුන දෙයක් නෙමෙයි තව අහගන්න වෙනවා කියලා. ෆෝන් එක ඇඳට විසි කරලා කුස්සියට ගියා අම්මට උදව්වක් කරන්න..තාත්තා කියන්න වගේ අපිත් හරියට අවුරුදු සමරන්න ඕන කියලා මට හිතුනා..
Leave a Comment