සාමාන්‍ය

නිසඳි…

සයුරට ලොබ බැඳි සෙනෙහස…

දීර්ඝ නිරීක්ෂණ කාලාන්තරයකින් අනතුරුව මා ඔහු නිරීක්ෂණය පසෙකලා පැමිණි රාජකාරිය වෙනුවෙන් හිත යෙද වූයෙමි. දුම්රියෙන් බට මා රත්වූ ගෙන්දගම් පොළොව මත හනිහනිකට දිව ගියේ දෙපතුල් ගිනි කන්නට තරම් තාර පාරේ වූ උණුසුම දැඩි වූ නිසාවෙනි. නග්න දෙපා වසා පැළඳි ගෙවුනු අඩියකට හිමිකම් කී රබර් පා වහන් යුගලට, දැවෙන දෙපතුල් වෙනුවෙන් යම් තාක් හෝ අස්වැසිල්ලක් ලබා දිය හැකි වූ නමුදු, දරා ගත නොහැකි විඩාවත් දාහයත් හේතුවෙන් මා තෙතබරිතව පැවතිණ. දැවෙන සූර්ය රශ්මිය චර්මය පසාරු කොට ඇට-මස්-ලේ-නහර පවා දවාලීමට තරම් දැඩිව විය. සීතල නුවර එළියේ ඉපිද, එහි වූ සෞම්‍ය දේශගුණයට අනුගතවූ මා, ගිනි ගෙන දැවෙන කොළඹ අහස යට දැවී රතු වී යාම අරුමයක් ද නොවුණි. නමුදු අරුමය නම් තෙවසරක් ගෙවී ගිය ද තවමත් මා මේ විසල් කොළොම්පුරයට අනුගත නොවීමයි. අද ද එදා මෙන්ම මා නුපුරුදු හිරු රැසින් දැවී රතු වී ගියෙමි. නමුත් ගෙවෙන හෙට දවස වෙනුවෙන් මෙය කෙසේ හෝ ඉවසා දරා ගත යුතුමය. එලෙසින් එදා මා වෙනුවෙන් හඬ ගෑ සිතුවිලි වූ නමුදු අද…??

මේ මාගේ ඉරණම යැයි සිතා හිත හදාගතිමි.

*********************************************

තෙවසරක් පුරා ගෙවූ දිවියේ දෙතුන් වරකට වඩා මං ගමට නොගියෙමි. ගෙවෙන ඉරු දින සැඳෑවන්, සැඩ සුළඟට මුසු වූ ලුණු රසය විඳිමින් දෙපා දැවටෙන පෙණ පිඬු අතර දියකර හැරීමට හුරු වූ මා මිතුරන් ඇසුරට වඩා හුදෙක් හුදෙකලාවට පෙම් බැඳීමි.

සුපුරුදු පරිදි කඩල ගොටුවක් අතැතිව මා මාගේ හුරුපුරුදු ගල් කුළ වෙත ගියෙමි. සුන්දර සයුරු තලයත්, බැස යන හිරු එළියෙන් රිදී පැහැ වූ වෙරළ තීරයත් දෙනෙතට එක් කරනුයේ ආශ්වාදයකි. මං කඩල ගොටුවෙන් ඇටයක් ගෙන මුව තුල රුවා ගතිමි.

හෝ හඬට පොර බදින රළ විත් සිත් සේ දෙපා සිඹ පිළිගන්නට විය. මා රළට සිත් සේ දැවටෙන්නට ඉඩ දී කඩල කන්නට වීමි. කඩල ගොටුවෙන් අඩක් අවසන් කළ මා බැඳ දමා තිබූ අකීකරු කෙහෙරැල් මුදා හැර ඈත දියඹ දෙස ඔහේ බලා හිඳින්නට විය. කටුක දිවියේ හිස මත දරා හුන් පීඩනය මුදා හැරි කෙහෙරැලත් සමඟින් යම් තාක් දුරට දුරුව යන්නට විය. එබැවින් මුදා හැරි කෙහෙරැල්ලට රිසි සේ පියෑඹීමට ඉඩ දී මා ඈත දියඹ දෙසම බලා ඉන්නට වීමි. දිවා කල දවා අළු කරලීමට තරම් දැඩි වූ හිරු, මලානික ලෝහිතයෙන් ගගන සරසා ක්ෂිතිජ කොනින් සැඟව යන දෙස මා උපේක්ෂා නේත්‍රයෙන් නිහඬව බලා උන්නෙමි.

පෙරලෙන රළට පන්දුව විසි කරමින් පාව එන පන්දුවට තාවකාලික අයිතිවාසිකම් කියන්නට පොර බදින කුඩා ළමෝ රංචු ගැසී වෙරළ අද්දර කෙළි සෙල්ලම් කරන්නට විය. මොහොතකට දෑස් වසා මා ඒ හඬ පරයා නැගෙන ඝෝෂාකාරී රළට සවන් දුනිමි. අතීත මතකයන් එකින් එක දෑස් මත්තේ රූ මවද්දී මං තව තවත් දෑස් තදකර අතීතය තුල අහුමුළු පීරනන්ට වූයේ ගෙවුනු නමුදු ඒ අතීතය තුල ආවර්ජනයට තරම් සොඳුරු මතකයන් තවමත් මා සතු වූ නිසාම ය.

*********************************************

උපන් ගෙයි දක්ෂයකු වූ මට, ගමේ පාසලේ අකුරු ඉගෙනුම එතරම්ම දුෂ්කර නොවුණි. යාන්තමින් දහය පන්තිය සමත්වත්ම, දියඹේ පෙරලෙන රළ ගෙඩි මෙන් මා දිවිය ද නොපිට පෙරළෙන්නට විය.

හදිසියේ ඇති වූ හෘදයාබාධය, අප්පච්චිගේ උණුහුම සඳහටම අපෙන් දුරස් කරලීමට තරම් කුරිරු වූයෙන් හරිහමන් රස්සාවක් නොවූ තැන එතැන් පටන් දිවියට කණකොකා හඬලන්නට වීණි.

මා වෙනුවෙන් උපන් අම්මාගෙ දෑතේ කර ගැට, නිවසට වී හුදෙක් පතපොත වෙනුවෙන් පමණක්ම වෙන් වූ දිවියට තිත තැබීමට සමත් කරවීය. අම්මාගේ දැඩි දොස පරයා, සාමාන්‍ය පෙළ ලියා ප්‍රතිඵල එන තෙක්, මා ඇගේ අත් උදව්වට ඈ හා බංගලාවට ගියෙමි. මා බංගලාවේ දැලි කුණු අත ගානවාට අම්මාගේ සිතේ අල්ප මාත්‍රයකුදු හෝ මනාපයක් නොවූ නමුදු, තනිව නිවසේ හිඳුමට වඩා ඇගේ දෑස මානයේ හිඳීම ඇයට යම් අස්වැසිල්ලක් වන්නට ඇත. එබැවින් ඇගේ ඒ විරෝධය කාලයත් සමග ඉබේම අතුරුදහන් වුණි.

*********************************************

සඳ දියට නැගි මුහුදු රළ රළු වූයෙන්, මා හැඳ සිටි දිගු සායට ලුණු දිය උනන්නට විය. හිඳ සිටි තැනින් නැගිට ගත් මා රන් පැහැ හිරු කිරණින් හැඩ වූ වෙරළ තීරය දිගේ ඔහේ ඇවිද ගියෙමි. විසල් නුවර යට මට මගේම කියා කීමට කාත් කවුරුවත් නොමැති වුව ද මුහුදු රළ මා තනි මකන්නට විය. රැළි තෙමූ වැලි මතින් ඇඳෙන දෙපා සලකුණු ඉතිරි කරමින් මං රළට මදක් දුරින් වූ ගල් කුළ වෙත ඇවිද ගියෙමි. ගොම්මන් අඳුර මධ්‍යයේ වුවද මේ ඉසව්වට වන්නට වැඩිපුර සෙනඟක් වෙරළ මත ගැවසෙන්නට වූයෙන් තනිකමක් නොවීණි. ඊළඟ මොහොතේ සිටින රළ මතින් ඇඳුනු දෙපා සටහන් මැකී ගිය ද, ඇවිද ආ මග ඔස්සේ ඇඳුනු මගේම පා සටහන්වලට මා ඇළුම් කළෙමි. මුව මත දගකරන කෙහෙරැලි දෑතින් පිටුපසට කරමින් මා මොහොතක් එදෙස බලා හිඳීමි.

*********************************************

අප්පච්චිගෙ වියෝවෙන් පසු බංගලාවේ වැඩට යාමෙන් යම්තාක් හෝ දුරට ණය බරින් හිස එසවීමට හැකිවිය. ජීවිතය කෙතරම් දුෂ්කර වුවද පොත පතට තිත තැබීමට අම්මාගේ අවසරය හිමි නොවුණි. එනිසාවෙන් හැකි හැම වෙර යොදා මම උසස් පෙල හැදෑරීමට ඉටා ගතිමි. මාගේ උත්සාහයත්, අම්මාගේ ආශිර්වාදයත් නිසාවෙන් මා අවසානයේ අධ්‍යාපනය අත් නොහලේ ය. අතට අහුවන කිසිවක් නොකියවා ඉවත නො ලූ මා, දැනුම පොදි බැඳ ගතහැකි සියල් අවස්ථා උපයෝගීකර ගතිමි. විඳි දුකට තිත තැබිය හැකි එකම මග හුදෙක් ඉගෙනීම පමණක්ම බව ඒ වන විටත් මා සක් සුදක් සේ පසක් කර ගෙන අවසන් වීම ඊට මූලිකම හේතුවයි.

බංගලාවේ එකම දරුවා වූ නිසල්ගේ සහායත්, මාගේ අපරිමිත උත්සාහයත් හේතුවෙන් අවසන අම්මාගේ විසල් හීනයට පණ පොවන්නට තරම් මා වාසනාවන්තයෙක් වන්නට විය. නමුත් අවාසනාව මා ලුහුබැඳීම අත් නොහලේ ය. බංගලාව හැර දා නිසල්ගේ විදෙස් ගත වීමත් එය වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් තැබූ විසල් පියවරක් වීමත් නිසාවෙන් මා නැවතත් තනි වීමි .එතැන් පටන් බංගලාවේ රාජකාරිය මට හුදෙක් තවත් එක් වේදනාව ගෙන එන්නක් පමණක්ම විය. නිසල් මත්තේ තබා උන් විසල් බලාපොරොත්තු එකින් එක බිඳී යද්දී මා යළිත් බංගලාවේ රාජකාරියට නොයන්නට ඉටා ගතිමි. ගෙවුනු සය මසට එකදු හෝ ලියුම් කඩදහියක් නිසල්ගේ අත් අකුරින් මගේ නමට නොවීම මා කනස්සල්ලෙන් හෙම්බත් කරලීමට තරම් හේතු වුව ද වේදනා උහුලා, ලද සරසවි වරම භුක්ති විඳීමට අවසන මා හිත හදා ගතිමි. ඒ හුදෙක් එය මාගේ මව සතු වූ විසල්ම සිහිනයන්ගෙන් එකක් වූ නිසා ය. අපේ ආදරය හුදෙක් මේ විසල් ලෝකය තුල අප දෙදෙනා පමණක්ම දැන හුන් නිසාවෙන් එය ඉදිරියටත් රහසක් පමණක්ම වී පැවතිණි.

අවසන් වරට හමුව, ඔහු මා හා තෙපූ වදන් සිහිකළ මා හැඬූ කඳුළට බර වීමි. ඉනූ නෙතුදිය දෙකොපුල් මතින් රූරා යාමට නොදී මා වේගයෙන් ඇහිපිය ගසන්නට වූයෙමි. දෙනුවන ඉනූ කඳුළැලි හමා ආ මූදු සුළඟින් වියළී යන්නට විය.

*********************************************

සරසවි යාම අරඹයා අම්මා මා වෙනුවෙන් බොහෝසෙයින් වෙහෙසුණු නමුදු ඇගේ දෙනෙතේ වූයේ වෙහෙස පරයා නැගි ආඩම්බරය මුසු අස්වැසිල්ලකි. ඇගේ සුවිසල්ම හීනයන්ගෙන් එකක් අද මා ඉටු කර හමාරය. ඉතින් ඇය ආඩම්බර වී නොසිටියත් ද?

දෛවයේ අකාරුණික දෑසට නැවතත් වරඛ් මාගේ අස්වැසිල්ල ඉලක්කය වී තිබුණි. ලැබුණු සරසවි වරම භුක්ති විඳීමට ප්‍රථමයෙන් අම්මා මා තනිකර දෙනෙත් පියා ගත්තේ මා අසරණ බවේ අන්තයටම ඇද දමමිනි. සරසවි දිවියට පා තැබීමට තෙමසක් තබා ඈ සදහටම මා දමා ගියා ය. මගේ දිවියට වූ එකම සවිය ද මට අහිමිව විය. කුමක් කරන්න ද කොහි යන්න දැයි සිතා ගත නොහැකි වූ මා හිස් වූ කාමරයේ සයනය මතට වී ඔහේ සිටියෙමි. කාත් කවුරුවත් නොමැති වූ මා අවසන බංගලාවේ සුමේධා හාමුගේ සහාය ඇතිව මළගම සිදු කර ඇගේ සහායෙන්ම මිය ගිය අම්මාත් පියාත් සිහිකර පන්සලේ ස්වාමීන් වහන්සේලා දෙනමක් වඩම්මවා බණ කියා පුණ්‍යානුමෝදනා කර පන්සලට සාංඝික දානයක් දුන්නෙමි. එදාවේල වෙනුවෙන් යලිත් බංගලාවේ වැඩට යාමට සිදු විණ. දුප්පත්කමේ අන්තයටම වැටී සිටි මා සුමේධා හාමුගේ බසට අවනත වීමි.

නිසල්ට උරුමව පැවතියේ ද ඔහුගේ මව වූ සුමේධා හාමුගේම හදවතය. ඔහු මෙන්ම තෙත් වූ හදකට උරුමකම් කී ඇගේ කරුණාව, මෙහෙකාර දිවියට තිත තබා මට සරසවි දිවියට අත්වැලක් වන්නට තරම් කාරුණික විණ. මා ගමෙන් කොළඹට මාරු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. පසුගෙවීමේ පොරොන්දුව පිට ඈ මාගේ සියලු වියහියදම් දැරීමට ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් විණ. අකාරුණික දෛවය, ප්‍රථම වරට මා වෙනුවෙන් කාරුණික වූවා යැයි මට සිතිණි. ගෙවුනු තෙවසර කොළඹ සරසවි සෙවණ යට ගෙවීමට මා වාසනාවන්ත වූයේ එලෙසිනි. සවන් වැකුණු මියුරු නදින් මා පියවි සිහියට එළඹිණ.

*********************************************

එදින දුම්රියේ දී මා නෙතු ගැටුණු, මාගේ දීර්ඝ නිරීක්ෂණය තුල නිමග්න වූ, ඒ රුවට හිමිකම් ලද ඔහු, අද වෙරල කොණ හිඳ ගිටාරයක තත් වයන්නට විය. මා ඒ මියුරු තත් අතර මොහොතකට අතරමං වීමි. පන්දු ගැසූ ළමෝ ද තම අත රැඳි හිමකිරම කමින් මිහිරි සංගීතය තුල සම වැදී උන්හ. මා වැටෙන තත් නදට කන් දී ඒ රුව දෙස බලා හිඳියෙමි. එක්වරම වයමින් වූ වාදනය නැවතූ ඔහු සයුරු රළ දෙසට දිව යන්නට විය. උදව් ඉල්ලා ඉහලට එස් වූ දෑතක් පෙරලෙන රැළි මතින් දුටු මා ද එදෙසට දිව ගියෙමි. රළ පරයා රළ පොරබදිමින් පිහිනූ ඔහු සිහිසුන් දරුවකු ද දෑතට ගෙන වෙරළ වෙත ඇවිද එන්නට විය. වෙරල මතින් තැබූ ඈ වෙනුවෙන් මා ප්‍රථමාධාර ලබා දීමෙන් මොහොතකට පසු ඇගෙන් පෙවුනු දිය ඉවත් වන්නට විය. ඈට සහනයක් වූ පසු මා, මා අත රැඳි සළුව ඈ වෙත පෑමි.

“නිසඳි…”

කන වැකුණු මගේ නමත්, හුරු පුරුදු කටහඬත් හමුවේ, මට ක්ෂණිකව ඔහු දෙස බැලිනි.

“නිසල්…”

මා තෙරපීමට ප්‍රථමයෙන්ම මා දෙතොල් හඬ ගා අවසානය. මා පියවි සිහියට ඒමට කෙතෙක් වේලා ගත වූයේ දැයි මා වත් නොදනිමි. මා පියවි සිහිය ලද විට අනතුරට පත් දැරිය ද සමඟින් ළමෝ ඈත වෙරළේ ඉවතට ඇදී යමින් උන්හ.

“මට සමාවෙන්න නිසඳි…”

ඔව්. ඒ ඔහුම ය. වසර ගණනාවක් ගත වුව ද මට තවමත් හඳුනා ගත හැකි ඒ කටහඬ ඔහුගේම ය. ඒත් මේ රුව?

දෑස් ඉදිරියේ කිනම් දේ සිදු වුව ද මා දෙවරක් නොසිතා ඔහු තුරුලට පැන්නෙමි. ඒ ක්ෂණයෙහිම මා දෑස් වසා ගත්තේ මෙය සිහිනයක් නම් යළි අවදි නොවෙමි යි සිතාය. නමුදු මා නිහඬවම ඔහුට කන් දීමි.

විදෙස් ගතව දෙදිනක් යාමට මත්තෙන් සිදු වූ රිය අනතුරත්, එතැන් පටන් සිදු වූ සියල්ලත් එකින් එක අසා සිටි මා අනේක වාරයක් දෙවියන්ට ස්තූති වීමි. අනතුරින් ඔහුට අහිමි වූ දෑ හේතුවෙන් ලැබුවා වූ නව මුහුණුවරත්, සය මසකට අධික කාලයක් මතකය අහ්මිව ගෙවීම නිසාවෙන් ගෙවුනු දුෂ්කර ජීවිතයත්, ඉන් පසු සිදු වූ සියල්ලත් වෙරළ කොන වූ බංකුව මතට වී ඔහු මා හා එකින් එක පවසන්නට වී ය. මා ඔහුගේ උර මත්තෙන් හිස තබා ඈත දියඹ දෙස බලා හිඳිමින් ඔහුගේ හඬට සවන් දීමි.

අනතුරින් පියවි සිහිය ලද පසු ඔහු මා ගැන විමසා සිටිය දී ඔහුට මගේ මවගේ හදිසි වියෝව දැන ගත හැකි වූ බවත් ඒ වන විටත් සත් දවස ද ගතව පැවති බවත් පැවසූ ඔහු මදකට නිහඬ වීය.

මා නිහඬ බව පරයා හිස් හඬින් “ඊට පස්සේ…” යැයි අසා නැවතත් ඔහු දොඩමළු කෙරීමි.

නැවතත් හඬ අවදි කළ ඔහු පැවසූ වදන් මා සිහිනයකිදු නොසිතූවක් විය.

අප අතර වූ සම්බන්ධයත් ඔහුට මා පිළිබඳ වූ හැඟීමත් ඔහු ඈ හා පවසා තිබුණි. පළමුව දැඩි විරෝධය පෑ නමුදු පසුව මා වෙනුවෙන් උදව් කරලීමට ඇගේ මව වූ සුමේධා හාමුගේ එකඟතාවය මත මා සරසවි වරම් භුක්ති විඳුමට තරම් වාසනාවන්ත වූයෙමි. ඒ වෙනුවෙන් අප දෙදෙනාගේම ඉගෙනුම් අවසන් වන තෙක් ඔහු හා මා අතර කිසිදු ආකාරයේ සම්බන්ධතාවයක් තබා නොගන්නා ලෙස ඇගේ මව ඔහු පොරොන්දු කරවා ගෙන තිබුණි.

නමුත් මට කම් නැත. එදින මා තනිකර විදෙස් ගත වීමට මොහොතකට මත්තෙන් ඔහු මා හා කියූ ලෙසින්ම පසුගිය තෙවසර පුරාවටම ඔහු මා කිසිදා තනිකර දමා නොතිබුණි. ඔහුගේ මවගේ කාරුණික හදවතින් ඔහු මා හා මොහොතක් මොහොතක් පාසා බැඳී පැවතුණි. ඉතින් ගෙවුණු කාලය වෙනුවෙන් මා කුමක් අරඹයා දුක් විය යුතු ද?

මා සුවිසල් අහස මතින් දිලෙන තරු කැට පරයා ගිලෙන ඔහුගේ දෑස් දෙස ආදරයෙන් බලා සිටියෙමි.

ඉතින් මා දැන් තනි වී නැත. කිසිදා තනි නොවනු ද ඇත. මා ප්‍රථම වරට මගේ දෛවයට මුළු හදවතින්ම තුති පිදීමි. අරුණළු නැගෙන හෙට දින වෙනුවෙන් තැනූ කන්දක් බලාපොරොත්තු සමඟින්ම අපි තරු පිරුණු අහස් කුස යටින් වෙරළ දිගේ ඇවි ද ගියෙමු.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment