ආගමික දැනුම

නිහඬවම නික්ම ගිය කාල වර්ණ පිං කඳ…

ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ වැඩවසන මහනුවර දළදා මාලිගාවේ වාර්ෂික  පවත්වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම වන්නට භාග්‍ය ලබන්නේ මංගල ලක්ෂණ වලින් පරිපූර්ණ හස්ථි රාජයෙකුට පමණි. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩම හස්ථි රාජයා භාග්‍යවන්ත වේ.

එලෙස දළදා වහන්සේ උරමත දරන්නට තරම් භාග්‍ය ලද නැදුන්ගමුවේ විජයරාජා හස්ථියා උපත ලබන්නේ වර්ෂ 1953 දී ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ දී ය. 

ඉන්දියාව නිජබිම වූ නිසාම නැදුන්ගමුවේ විජයරාජා “එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස්” (Elephas maximus indicus) යන හස්ථි විශේෂයට අයත් වේ

ඉන්දියාවේ උපත ලබන රාජා හස්ථියා ලංකාවට පැමිණෙන්නේ, නීලම්මහර වෙද පරම්පරාවේ පිලියන්දල වෙද හාමුදුරුවන්ට ලැබුණු තුටු පඬුරක් ලෙසයි. ඒ උන්වහන්සේ විසින් ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරාජා කෙනකුගේ ඥාතියකු හට වැළඳී තිබූ දරුණු මානසික රෝගයක් සුව කරනු ලැබීමෙන් පසු සතුටට පත් මහරාජා හාමුදුරුවන්ට තුටු පඬුරු ලෙස තමන්ගේ  ඇත්ගාලෙන් වයස අවුරුදු 05 ක් පමණ වන ඇත් පැටවු දෙදෙනෙක් පූජා කරමිනි. 

නැදුන්ගමුවේ රාජා සමඟ එදා නැවෙන් ගෙන ආ අනිත් ඇත් පැටවා  නවම්රාජා විය. ගංගාරාමයේ සිටි නවම්රාජා අවුරුදු කීපයකට කලින් මිය ගියේ ය. වෙද හාමුදුරුවන්ගේ සෙවනේ හැදී වැඩුන මෙම ඇත් පැටවුන් දෙදෙනා වයස අවුරුදු 15 ක් පමණ වන විට එක් පැටියෙක් ඇඹිලිපිටියටත් අනෙක් පැටියා හොරණ උඩුව වලව්වටත් විකුණන්න කටයුතු කරන ලදී. හොරණ වලව්වට ලැබෙන රාජා මුල් කාලයේ කොටන් ඇදීමට වැනි කටයුතු සඳහා යොදාගෙන ඇති අතර පසුව රාජාගේ විශාල ශරීර ප්‍රමාණය සහ දළ යුගල නිසා එම කාර්යය අපහසු විය. 

එම අවස්ථාවේ එයට පිළියමක් ලෙස ඔවුන් රාජා හස්ථියාව ප්‍රසිද්ධ වෙන්දේසියක දී විකිණීමට කටයුතු කරන ලදී. එහි දී රුපියල් 75000 ක මුදලකට 1978 වර්ෂයේ දී රාජා මිලදී ගනු ලබන්නේ “නැදුන්ගමුවේ ධර්මවිජය ලොකු වෙද මහතා” විසින් ය. එතැන් පටන් නැදුන්ගමුව වෙදපරපුරේ සෙවනේ හැදී වැඩෙන රාජා මුළු මහත් ලෝකයක් හඳුනා ගනු ලබන්නේ නැදුන්ගමුවේ විජයරාජා ලෙස යි.

වර්තමානයේ රාජාගේ හස්ථිපාලකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ විල්සන් කොඩිතුවක්කු මහතා යි. නැතිනම් ලොවක් හඳුන්වන ලෙසට ආදරණීය “කළු මාමා” ය. රාජාගේත් ඔහුගේත් දෛවෝපගත බැඳීමට දැනට 21 වසරක් පමණ වීම විශේෂත්වයකි. තමන්ගේම දරුවකු ලෙස රාජාව රැකබලා ගත් විල්සන් කොඩිතුවක්කු මහතා ගාල්ල උඩුගම ප්‍රදේශයේ උපත ලද අතර මේ වන විට 72 වියෙ හි පසු වේ.

1985 වර්ෂයේ ප්‍රථම වරට පෙරහැරකට සහභාගි වන රජා හස්තියා 2005 වසරේ සිය ජීවිතයේ  ප්‍රථමවරට දළදා පෙරහැර සමඟ සම්බන්ධ විය. ඒ එවකට  දළදා කරඬුව වැඩම කරන ලද දළදා මාලිගාවේ ඇත් පන්තියෙ හි නායක බෝසත් ඇත් රාජාගේ අභාවය සමඟ වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කළ ඉල්ලීමකට අනුවයි. බෝසත් රාජාගේ අභාවය සමඟ එවකට දළදා කරඬුව වැඩම වීමට සියළු මංගල ලක්ෂණ දැරූ එකම හස්ථියා බවට නැදුන්ගමුවේ රාජා පත් වීමත් සමඟ යි. එම වසරේ දී ම පෙරමුණේ රාළ ලෙස ගමන් කරන රාජා 2006 වසරේ දී සධාතුක කරඬුව වැඩම වීමේ රාජකාරිය ඉටු කරන ලදී.

මාලිගාවේ කරඬුව වැඩමවන ඇතාගේ පිටේ රන්සිවිගෙය තියන්න කලින් හම්වලින් හදපු අඟල් පහක් විතර පළල පටි ඇතාගේ උදරය වටේට දානවා. මාලිගාවේ තිබ්බේ මැරුණු රාජාට දාපු පටි. අපේ ඇතාගේ ඇඟ මහත නිසා ඒපටි එයාට හරි ගියේ නැහැ. පෙරහැර පටන්ගෙන නිසා අලුතින් පටි හදවන්න කාලයක් තිබ්බෙත් නැහැ. ඒ නිසා 2005 දී පෙරහැරට සම්බන්ධ වුණත් අපේ ඇතාට කරඬුව වැඩම කරන්නේ නැතුව පෙරමුණේ යන්න වුණා. පස්සේ අවුරුද්දේ තාත්තා මිය ගියා. ඒ අවුරුද්දේ අලුතින්ම බඳපටි හදවලා රාජා මතින් කරඬුව වැඩමෙව්වා.”

-හර්ෂ ධර්මවිජය වෙද මහතා-

එතැන් පටන් පුරා දස වසරක් නොකඩවා දළදා වහන්සේ වැඩම වීමේ භාග්‍ය ලැබීමට රාජා වාසනාවන්ත විය. එය ඉතිහාසගත වන්නේ පුරා දශකයක් නොකඩවා දළදා වහන්සේ වැඩම කළ එකම හස්ථියා බවට නැදුන්ගමුවේ මහ මගුලැතු විජයරාජා පත්කරමින් ය. 

2005 වසරේ සිට 2021 වර්ෂය දක්වාම 13 වතාවක් සධාතුක කරඬුව වැඩම වීමේ භාග්‍ය රාජා විසින් උදා කරගන්නා ලදී.  2018 වසරෙන්  පසුව රාජා දළදා කරඬුව වැඩම වීමේ කාර්යය අවසාන වතාවට සිදු කරන ලද්දේ ගිය වසරේ 2021 ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලියේ දී ය. එහි දී ලොවපුරා කාගේත් කතා බහට නැදුන්ගමුවේ රාජා පත් වූයේ “සඳගල බසින මොහොතේ හැකිලී ගිය පාවඩය තම සොඬින් සකසමින් ඒ මත පා තැබීමත් සමඟ යි.” එහි දී නැදුන්ගමුවේ රාජා දෙපසින් දෑලේ ඇතුන් ලෙස කතරගම වාසනා සහ දළදා මාලිගාවේ ඇත් පන්තියේ නායක ඉන්දි රාජා ඇතු ගමන් ගත් අතර එය රජ තුන්කට්ටුවේ ගමන ලෙස හැඳින් වී ය. රජ තුන්කට්ටුවේ රන්දෝලි පෙරහැරේ  දර්ශනය 2018 වසරෙන් පසු දැකගැනීමට ලැබුණු අවසාන පෙරහැර බවට 2021 ඇසළ මහා පෙරහැර පත් විය.

“ගජ රජ ගමන හැඩ කරනට
නදදෙන් ගජගා වන්නම සත්දෙසින්…
දරා දළදා සමිදු උර මත…
වඩිති ඇත් රජ සැරදි රත් සළු පටින්…
බසින් සදගල, 
කාළ වර්ණ තේජසින්…
දෑලේ රකින්නට වැජඹෙන් දෙපසින්
වාසනා ඉන්දිත්…
අහස් වෙඩිල්ලෙන් ලදින් ඇරයුම්
නිකිණි සඳේ රැස් මැදින්
රජ වීදි සරන්නට පෙරහැරින්…
මහ මගුලැතු විජය රාජා තේජසින්…”

 ඒයට හේතුව 2022.03.07 දින නැදුන්ගමුවේ රාජා හස්ථියා කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි තම ජීවන ගමනට සමු දීමත් සමඟ ය. මිය යන විට වයස අවුරුදු 69 ක් පමණ වූ අතර රාජාගේ නික්ම යාම ලොව පුරා බෞද්ධයන් පමණක් නොව, සියළු දෙනාගේ ම නෙතට කඳුළක් එක් කිරීමට සමත් විය. බෞද්ධ ආගමික වතාවත් අනුව අවසාන කටයුතු කළ රාජාගේ දේහය සංරක්ෂණය සඳහා භාර කර ඇත.

වසර පහක් තරම් කුඩා අවධියේ දී ලක් දෙරණට පා තැබූ රාජා, ආසියාවේ හීලෑ හස්ථි පරම්පරාවේ විශාලම හස්ථියා ලෙස මනස්කාන්ත දළ යුගලකට උරුමකම් කීමට වාසනාවන්ත විය. අඩි පහක් පමණ පිටතට පෙනෙන දළ යුගලකට හිමිකම් කී රාජා දළ පූට්ටු වූ හස්ථියෙකු වීම ද විශේෂත්වයකි. වෙනත් හස්ථින්ට සාපේක්ෂව සුන්දර දේහ විලාසයකට සහ ගමනකට උරුමකම් කීමට රාජා සමත් විය. රාජාගේ ගමන ගජරජ ගමන ලෙස හැඳින් විය. එසේම ආසියාවේ උසම හීලෑ ඇතා ලෙස වාර්තා පොත් අතරට එක් වූ  රාජාගේ උස අඩි 11 ක් පමණ වේ. ගම්පහ නැදුන්ගමුවේ සිට කිලෝමීටර් 90 ක පමණ දුරක් පයින්ම නුවරට පැමිණීමට රාජා පුරුදුව සිටීම විශේෂත්වයකි. එයට හේතුව ලෙස රාජාගේ හිමිකරුවන් පවසන්නේ රාජා වාහන වල යාමට තිබූ දැඩි අකමැත්ත සහ විශාල ශරීර ප්‍රමාණය යි. එමෙන්ම ජීවමානව සිටිය දී ම ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව එකම සත්වයා සහ ප්‍රභූ ආරක්ෂාව ලැබූ එකම සත්වයා වීමට රාජා භාග්‍යවන්ත විය.

ලංකාවේ හීලෑ හස්තීන්ගේ නිලලත් නායකයා ලෙස සැලකෙන්නේ ද  නැදුන්ගමුවේ විජයරාජා හස්ථියා ය. 2019 වසරේ දෙසැම්බර් මස 30 වෙනි දින නැදුන්ගමුවේ රාජා මගුලැතුගේ රුව යොදා  තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් පවා නිකුත් කොට ඇත.

පුරා වසර 13 ක් පෙරහැර සංස්කෘතිය තුළ උතුම් ශ්‍රී දළදා වහන්සේ උරමත දරන්නට වාසනාව, පුණ්‍ය ශක්තිය ලැබූ කාළ වර්ණ පිං කඳ නැදුන්ගමුවේ මහ මගුලැතු විජයරාජා හස්තියාට උතුම් නිර්වාණ සුවයම සැලසේවා…! 

සියළු ලෝකවාසී බෞද්ධයන්ගේ එකම පැතුම එයයි.

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

වත්සලා මෙන්ඩිස්

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment