මව් සෙනෙහසක මහිම මගේ ඇසින්
දස මාසයක් දුක් විඳී – පැතුම් මල් පොදි බැඳ හිඳී
පැයක් දෙකක් නොව වරු ගණන් විඳි – වේදනා තෙරපා හිතේ
අඳුර අත ගෑ දෑස අභියස පුංචි – මල් කැකුළක් පිපේ
පුතුගේ හඞ සවනත වැකී – අවදි කරවයි සිත නිදී
සතුටු කඳුළැල් දෝරේ ගලනා – අරුමයක් ඇය අත ඇතේ
හඞන පුතු පපුවේ තුරුල් කර – වේදනා අමතක කළේ
පුතුගේ සුරතල් සිනාවේ – අඳුර නසනා ඉනාවේ
ලොමු දැහැන් කරමින් කෙළින් ඇගෙ- කිරට හැරුණා රුහීරේ
නුඹෙ නමට කෙලෙසින් තබන්නද – මාත්‍රාවන් සෙනේහේ
සිහින තුළ නුඹ නිදි ඇතී – නුඹෙ ලොවේ රජු පුතු වෙතී
දෙතන උරමින් කරන රිදවුම් – නැත තවත් රිදුමක් වුණේ
නුඹේ නෙත් තුළ පිපෙන මෙත් මල් – කදුලු කැට වී ඉහිරුණේ
පුතුගේ කෙළි ලොල් කතාවේ – හිතට දිරියයි ගෙනාවේ
පුතුගේ දඟකම් පාන විස්කම් මැදින් – ඔහු ලොකු වුණාවේ
තරුණ ඇය පුතු මත්තේ නැහි නැහි – සෙමෙන් වියපත් වුණාවේ
රිදුම් දෙවමින් තුවාලේ – හඞන පුතු දුක් වලාවේ
සෙමෙන් පිරිමැද සිහිල් සුළඟින් කරයි – සුවපත් තුවාලේ
පුතුගේ කඳුලැල් දරා ගනු බැරි – මවහඞයි රෑ දවාලේ
තබන පියවර පුතු නිතී – පසුපසින් ඔහු මව ඇතී
පුතු ලොවක් දිනනා නිරන්තර සතුටු – වෙන කවුරුත් නැතී
හදවතින් ආඩම්බරෙන් හිනැහෙන – මවයි ඒ උත්තමී
පුතුගේ ලොව වී කළ එළී – බබළවයි තරු කැට දිලී
නේක පෙම් මල් වලින් සැරසුණ නිදි – යහන වී පෙම් කෙළී
පුතුගේ ලොව පෙම් රැජිණ වී ඈ – මවයි පෙම් බස් සියුමැලී
දකින විට පුතු සිනාවේ – ගිලී හිඳිනා මනාවේ
සතුටු කදුලැල් නෙතේ හිරකර – ඇගේ සුසුමන් කියාවී
උඹයි මගේ ලොව රජුන් හැමදින -කෝටියක් දෙව් රකීවී
පැහැය වියැකී වැහැරුණත් – අතේ කරගැට දිලිසුණත්
නුඹෙ ගෙදර බත සරි කරන්නට හිතේ- ඇත හයි හත්තියත්
පුතුට තුන් වේලම අතින් කැවු අම්මා – වීලා වියපත්
පුතුගේ ලොව දැන් මහ එකක් -අම්මා නොම එහි සුදුස්සෙක්
දෑතේ සඟවා පපුවේ තද කර මල්ලේ – රෙදි කඩ දෙක තුනක්
වෙව්ලනා ඉරි තැලුණු පා තබ තබා – යයි අභිනික්මනක්
කැහැටු අත මට දික් කරන් – යදීවි ඇය සිඟමනක්
ළංව ඇයගෙන් විමසුවා ඇගේ අතීතේ – පොඩි විස්තරක්
මගේ බුදු පුතු තරම් මට වෙන කවුද – මේ ලොව කප්පරක්
හෙලන හැම සුසුමක් තරම් – ගෙවී යන හැම තත්පරක්
කියන වදනින් වදන පාසා ගැයුවේ පුතුගේ – ගුණ මිසක්
මහාමායා වියේ නුඹගේ අරුමයකි – සෙනෙහස මහත්
පුතුගේ දිවි මඟ කවිපෙළේ – එළිසමය අම්මයි වුණේ
නුඹේ මහමෙර තරම් ස්නේහය තෙත් කළා – නෙත් යුග මගෙත්
මවුනි නුඹෙ ගුණ කවි ලියන්නට මදිවුණා
මට කවි කොළෙත්…
Leave a Comment