දැනුම

නූතන කාව්‍යකරණයේ කාන්තා සලකුණ

“පර මල කියා මා ගැරහූ කුසුමාවී
අඳ වූ මනෙත දිවැසින් දුටු නයනාවී
මූ දේවිය විලස මා දුටු සීදේවී
නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි දේවී”

“මේ අත් දනී දුන් හැටි බැට නිමක් නැති
මේ මුව දනී දුන් නොසරුප් බැනුම් වැසී
අනේ ගහ බැනපු කිසිවක් හිතේ නැතී
පාළුයි – මගේ පැල අඳුරුයි පබාවතී…!”

ගැහැණියකට හිමි විය යුතු ජීවිතය යදින්නියක් නොවූ එඩිතරව ලද දෙයින් ජීවිතය ගැට ගසාගන්නට වීරිය ගත් කුසුමාවියකට සුරා සොඬ සැමියෙකුගෙන් උරුම වූ ඛේදනීය දුක්ඛාන්තය මෙන්ම ඇගේ දරාගැනීමේ සීමාව ඉක්ම ගොස් ජීවිතයෙන් සමුගත් ඇයට කියන්නට බැරි වූ, විඳින්නට නොදුන් ජීවිතය ගැන පාපොච්චාරණයක යෙදෙන සැමියෙකුගේ සිතිවිලි හරහා සහෘද හදවතට පවසන්නේ කුමක් ද? මදක් සිතන්නට කාලයයි.

කාන්තාව විඳි අප්‍රමාණ දුක්, ඇය මුහුණ දුන් සමාජ අසාධාරණය පිළිබඳ වෙනස්ම කෝණයකින් දැක පන්හිඳෙන් විස්මකර්ම කවි රචිත කොළඹ යුගයේ දෙවන පරපුර නියෝජනය කරන කාන්තා පෞරුෂයක් වන ඇය නමින් මොනිකා රුවන්පතිරණ යි.

වසර 1946 පෙබරවාරි 26 දින මාතර මාලිම්බඩ ප්‍රදේශයේ දී මොනිකා රුවන්පතිරණ උපත ලබා ඇත. පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා ඇය ගාල්ල ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයෙන් හා සංඝමිත්තා බාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇත. ඉන් පසුව 1967 දී ඇය කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් ව උපාධියක් ලබාගෙන ඇත. උපාධිය ලබාගත් පසුව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට බැඳුණු අතර ඇය වසර 11 ක් එහි සේවය කර ඇත. පසුව ඇය රාජ්‍ය නොවන සංවිධායක අධ්‍යක්ෂවරියක් ලෙස සේවයේ යෙදී ඇති මොනිකා රුවන්පතිරණ ලංකාවේ දක්ෂතම කිවිඳියක් සහ ලේඛිකාවකි. 

තිඹිරි ගෙයි දී නුඹේ දිගටි ඇස් දුටු විගස
දියණියණි, උඹ නමින් ඇසේ කඳුළක් රැඳින
කලෙක උඹ සුළං වැද සසල දළුවක් විලස
වහා සැලෙනා හදැ’ති ගැහැණියක වන බැවිනි” 

“මා සිනාසුන වගද උඹ නිසා හැඬු වගද
එදා අද වන තුරා උඹ නොදන්නී දියණි
උඹෙ තුරුලෙ දුවක දැක යළි කඳුළු රැඳින නෙත
අද උඹද මගෙ උරුම ලද මවක වූ බැවිනි”

නූතන සිංහල කාව්‍යකරණයේ වඩාත්ම පිළිගත් කිවිඳියක් ලෙස සලකන ඇය විසින් බොහෝ කාව්‍ය කෘති රචනා කර ඇත. එනම් “අපි දෙන්නා සහ තවත් කිහිපදෙනෙක්” කෘතිය 1971 දී ද, “තහනම් දේශයකින්” කෘතිය 1972 දී ද,1974 දී “අංගුලිමාලගේ සිහින” කෘතිය ද, “ඔබ යෙහෙළිය ඇය ගැහැණිය” කෘතිය 1975 දී ද, “අතුරු මිතුරු” කෘතිය 1981 දී ද, “වයස ලෝකය” 1985 දී ද, “විසිවසක ශේෂ පත්‍රය” 1994 දී ද, “අසන් පත්තිනි දේවතාවි” 1999 දී ද, “හිපොක්‍රටීස් සහ රෝගිනිය” ආදිය යි. 

“පෝරුව මත දෑඟිලි බැඳ 
මානාලියක් වී ඔබ ළඟ
ඉන්නේ කව්දැයි?”

“වෙරළ ඉමේ උයන් කොනේ
අතින් අතක් පටලා සිටි
නීලමනී කොයි?”

මොනිකා රුවන්පතිරණ කිවිඳිය විසින් “කුසුමලතාගේ දවසක් කෙටි කතාව” 1990 දී රචනා කර ඇත. විවේචනාත්මක රචනාවක් ද රචනා කර ඇත. එය “නව කවි විමසුම” වේ. ඇය 2005 දී ශ්‍රී ලංකා රජය විසින් කලා කීර්ති නාමයෙන් ගෞරව කර ඇත. 

දිගු කලක් රෝගාතුරව සිට වයස අවුරුදු 58 දී, 2004 ජූලි 10 කොළඹ දී ඇය රසික හදවත් හඬවමින් අවසන් හුස්ම පොද වාතලයට එකතු කර ඇත. 

ජිවතුන් අතර සිටියා නම්, 2022.02.26 දිනට අවුරුදු 76 ක් සපිරෙන ඇය මෙලොව නොමැති වුව ද සුබ ජන්ම දිනයක් වේවා! යැයි Colombo Beacon අපි හදවතින්ම පතමු.

Design by : Hiruni Uthpala

References :

Images :

About the author

තුෂාරි සංජීවනී

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment