අහස් කඳුළින් පන පෙවුනු එක්
විල් තෙරකි හුදෙකලා වූ
නොදනිමි එය විල් තෙරමදැයි
අනොතප්තයි නම් ලැබූ
හිරුට අහිමි වූ නිශායාමයේ
සඳුගේ කිරණින් නැහැවුණු
නොපිපි පියුමකි අතර අනෙකුන්
අන්ධකාරයේ හැන්ගුනු
මත වැටුණු එක් පිනිබිඳක්
පෙති අතර ඉඳ හසකැන් මවත්
රැගෙන එන මදනල පවත්
හෙමි හෙමින් දිය මත රැලි නගත්
ළඟ රැඳෙන්නට හිත් ඇතත්
රැඳෙනු බැරි සියපතෙන් එකක්
නැගෙන දිය මත රඟ දෙවත්
නෙත් මානයෙන් පිට සැඟව යත්
දිලෙන පිනිබිඳු මවන රූ නෙක
රටා ඇඳි තම දැවටුමේ
අහස් කුසුමන් පරව යන කල
උදාවන අරුණෝදයේ
හිරුට ඉඟි කර බස් දොඩන සඳ
නොපිපි පියුමේ මානයේ
රතුව යන වත කමල සමඟින්
පිපෙන නෙළුමේ රූ පෙනේ
Leave a Comment