දැනුම

නොබෙල් ත්‍යාගයට තෙවරක්ම නම යෝජිත අපේ විද්‍යාඥයා

 “පස් පාටියෙ ලොක්කා අපේ කොල්ලෙක්…”

ලොවක් විස්මයට පත් කළ ලාංකේය නාමයට ශ්‍රේෂ්ටත්වය එක් කළා වූ විශිෂ්ටයන්ට ප්‍රාණ වායුව සැපයූ පුංචි මුතු ධරණියේ  නෙක නෙක ගම්, නගර පුරා ලාංකේයන්ගේ හඬින් ඇසුණු මේ ගීත කණ්ඩය දකින ඕනෑම අයෙකුගේ මතකයට නැගෙන ආදරණීය නාමය අන් කවරෙකුත් නොව, ආචාර්ය සිරිල් පොන්නම්පෙරුමයන් ය. 1923 ඔක්තෝබර් මස 16 වැනි දින සුන්දර දකුණු පළාතේ අගනගරය වූ ගාලු පුරය ආලෝකමත් කරමින් සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම නමින් කුමරෙකු උපත ලබා ඇත. කුඩා කාලයේ සිටම ඉතා දක්ෂ ශිෂ්‍ය දිවියකට පණ දුන් මේ කුමරා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් හා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ද යන පාසල් ද්විත්වයෙන්ම මූලික අධ්‍යාපනය හදාරා ඇත. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා 1948 දි ඉන්දියාවේ මද්‍රාස් විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ පොන්නම්පෙරුමයන් එහිදී දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හිමිකරගන්නට සමත් විය. ඉන් අනතුරුව 1959 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබාගෙන ඇත.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන කාලය අතරතුර මහාචාර්ය ජේ. ඩී. බර්නාඩ් සමඟ එකතු වී ජීවයේ සම්භවය පිළිබඳ පර්යේෂණ කටයුතු කරන්නට පොන්නම්පෙරුම මහතාට අවස්ථාව උදාවිය. පසුව 1962 වසරේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීමට මෙතුමා උනන්දු කරමින් මග පෙන්වීම් කරන ලද්දේ නොබෙල් ත්‍යාග ලාභියෙකු වූ මෙල්වින් කැල්වින් මහතා විසින් ය. මෙලෙස අධ්‍යාපනයෙන් ජීවිතය ආලෝකමත් කරගැනීමට නිරන්තර වෙහෙස වූ පොන්නම්පෙරුමයන්ට 1962 දී නාසා හි ‘ඇම්ස්’ පර්යෙෂණ මධ්‍යස්ථානයේ තනතුරක් ද හිමි විය.  

ලාංකේය මිණි කැට පොකුරෙන් අගනා මිණි කැටයක් වූ මෙතුමාගේ වටිනාකම හොඳින් හඳුනාගත් ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ ජාතික පොදු අභ්‍යවකාශ වැඩසටහන් සඳහා වගකිවයුතු ඒජන්සියක් වූ ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලන හෙවත් නාසා ආයතනයේ ජීව විද්‍යා අංශයට 1963 දී එකතු කරගන්නා ලදී. මෙතුමාව එහි පිටසක්වල ජීවය පිළිබඳ පර්යේෂණ පවත්වන NASA’s Exobiology Division පර්යේෂණාගාරයට පත් කරන ලදි. 

නාසාහි අජීවර්ජන අංශයේ පාලනයට පත් වී ඇපලෝ ව්‍යාපෘතියෙන් ගෙන එන ලද චන්ද්‍රයාගේ පස් නියැදි විශ්ලේෂණය කරන කණ්ඩායමේ ප්‍රධාන විමර්ශකයා වූයේ ද මෙතුමා ය. මෙකී සේවයේ විශිෂ්ටත්වය නිසාම නාසා ආයතනය විසින් 1969-72 ඇපලෝ යානය හඳට ගොස් ගමන් වාර හයකින් පස් ගල් 3810 kg ක් පෘථිවියට ගෙන එන ලදි. මෙම පස් සාම්පල පිරික්සීමේ කණ්ඩායමේ නායකයා වූයේ ද පොන්නම්පෙරුම මහතා ය. පසුව වොයේජර් වැඩසටහන් සඳහා සම්බන්ධ වී අභ්‍යවකාශ විද්‍යා උපදේශක සභාවේ සහ නාසා ආයතනයේම ජීව විද්‍යා උපදේශක සභාව යන ආයතන ද්විත්වයේම සාමාජිකත්වය ලැබීමට තරම් මෙතුමාට අවස්ථාව සහ වාසනාව උදා විය. 

එමෙන්ම නාසා ආයතනය අඟහරු වෙත යැවූ පළමු රොබෝ යානා දෙක වූ වයිකිං 1 සහ වයිකිං 2 යානාවල තිබූ ස්වයංක්‍රීයව අඟහරු ග්‍රහයා වෙත ගොස් ලබාගත් පස් පරික්ෂා කොට ජීවය පිළිබඳ සලකුණු සෙවීම සඳහා පරික්ෂණාගාරයක් නිර්මාණය කිරීමේ කටයුතු සඳහා ද දායකත්වය දැක්වීමට වාසනාවන්ත වී ඇත. මෙකී තනතුරෙන් පසු එතුමාගේ නම සහ ජායාරූප ‘Time’ සහ ‘Newsweek’ ආදී ලෝක ප්‍රසිද්ධ පුවත්පත් මෙන්ම සඟරාවල ද මුල් පිටුවල පළ වීය.

ප්‍රථමවරට වෙනත් ග්‍රහලොවකින් ගෙනා පාෂාණ පිරික්සූ ජත්‍යන්තර විද්‍යාඥයන් පිරිසේ නායකත්වය දැරූ එකම ලාංකිකයා ද මෙතුමා ය. ලොව පිළිගත් ශාස්ත්‍රීය සඟරාවල විද්වත් නිබන්ධන 400 ක ට වැඩි ගණනක් පළ කළ අතර රසායන විද්‍යාව, ජීවයේ සම්භවය ජාතික සංවර්ධනයට විද්‍යාව යොදාගැනීම ආදී තේමා පාඨ ඇතුළත් කරන ලද ග්‍රන්ථ මෙන්ම සඟරා ද කිහිපයක් ද මෙතුමා අතින් රචනා වී ඇත. තෙවරක් රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය සඳහා නම යෝජනා වූ මෙතුමාගේ වටිනාකම වටහාගත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති 1984 වසරේ ජනාධිපති විද්‍යා උපදේශක තනතුරට පත් කළ අතර ඉන් පසුව මූලික අධ්‍යාපන ආයතනයේ IFS අධ්‍යක්ෂ ධූරයට ද පත් කරන ලදි. IFS ආයතනයේ සේවය කරන අතරතුර 1988-89 රටම වෙලාගත් භීෂණ සමයේ දී රටේ සියලු සරසවි වසා තිබුණත් මෙතුමා මහනුවර IFS පර්යේෂණාගාරවල වැඩ නොනවත්වා කරගෙන යන්නට තරම් එඩිතර විය. 

විද්‍යාත්මක ගවේෂණ හා පර්යේෂණවලට නීති රීති වැට කඩුලු දමා රාමු කළ නොහැකි බැව් දැනගත් පොන්නම්පෙරුයන් දිවා රෑ භේදයකින් තොරව දවසේ ඕනෑම වෙලාවක පර්යේෂණ වැඩ කරන්නට නිදහස ලබා දුන් අතරම, දැනුමේ නිම් වළලු පුළුල් කරගන්නට පුස්තකාලය භාවිතයට ද සීමා නොපැනවීමට තරම් කාරුණික විය. දිනකට පැය 16-18 පමණ වැඩ කරන්නට අවශ්‍ය වූ නිසාවෙන් ම පොන්නම්පෙරුමයන් IFS ආයතනයේ පර්යේෂණාගාර ගොඩනැගිල්ලක කුඩා කාමරයක පදිංචි වීම ද තම සේවය වෙනුවෙන් කළ උපරිම කැපකිරීමයි. එක් දිනක් රාත්‍රියේ පර්යේෂණාගාරයේ තරුණ පරීක්ෂකවරුන් වැඩ කරන ස්ථානයට ගොස් වැඩ පිරික්සන අතරතුරදී එම ස්ථානයේ සිටි එක් පරික්ෂකවරයෙකු මෙලෙස මහාචාර්යවරයාට පවසා ඇත. “බැක්ටීරියා අපි වගේ නිදාගන්නෙ නැහැනෙ මහාචාර්යතුමා” ඉතින් මේ ප්‍රකාශය හරහා පැහැදිලි වන්නේ ද තම පර්යේෂණයන්ට වෙලාව බාධාවක් නොකරගත් කාලයෙන් උපරිම ඵල නෙලාගත් ශිෂ්‍ය පිරිසක් ද මෙතුමා දායාද කළ බවයි.

IFS හි සේවය කරන අතරතුර ලංකාව පරිගණක ජාලගතකරණයට සම්බන්ධ කරන්නට ආශාවෙන් හා දැඩි අවශ්‍යතාවයක් ඇති වූ නිසාවෙන්ම මෙම ආයතනයේ තරුණ පර්යේෂක රොහාන් සමරජීවට උපදෙස් දී ඇත්තේ 1985 ARPANET නම් ලොව සරසවි ඇදුරන් මෙන්ම පර්යේෂකවරු සම්බන්ධ වී සිටි ජාලකරණයට ලංකාව ද සම්බන්ධ කිරීමට උපදෙස් දුන්න ද එය ක්‍රියාවට නංවන්නට අසමත් වී ඇත. එහෙත් 1990 දී ලෝක දැනුම් ජාලය වූ LEARN හරහා ජාලගතකරණයට මුල්වරට ලංකාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමි වූයේ නොපසුබට උත්සාහය නිසාවෙන්ම ය. 

විද්‍යාඥයා යනු පර්යේෂණාගාර හෝ දැනුමේ එක්ටැම් ගෙවල් හෝ කොටු වූ අමුතු ජීවීන් පිරිසක් නොව, නව ලොවක් බිහි  කරන්නට වෙහෙසෙන රටේ ප්‍රශ්න විසඳීමට දායකත්වය දක්වන පිරිසක් යැයි සමාජයට පසක් කර දීමට උත්සුක වූ මෙතුමා තම සේවයට උපරිම සාධාරණයක් කළ විද්‍යාඥයෙකි. 

මහජන මුදලෙන් නඩත්තු කෙරෙන ආයතනයේ පර්යේෂණ ප්‍රතිඵල සැඟවීමකින් තොරවම මාධ්‍ය හරහා සාමාන්‍ය ජනතාවට ද වැටහෙන සරල හා ආකර්ෂණීය අයුරින් ප්‍රකාශ කරන්නට තරම් නිහතමානී චරිතයක් විය. සෑම අවස්ථාවකම මෙතුමා වයස, තනතුර ආදිය නොසලකා බුද්ධියට හා නිර්මාණශීලී විමර්ශනයට ප්‍රමුඛත්වය දුන් සුදුස්සාට සුදුසුම තැන ලබාදීමට වෙහෙස වූ චරිතයකි.

රටට මේ තරම් සේවාවක් කළ ද මෙතුමාව නොරිස්සූ ඇතැම් පිරිසකගේ අකටයුතුකම් නිසා කනස්සල්ලට පත් ව 1990 දී නැවත ඇමරිකාව බලා ගමන් කරන්නට මෙතුමා තීරණය කරන ලදි. එහි ගිය පොන්නම්පෙරුමයන්ට මේරිලන්ඩ් සරසවියේ විශාල විද්‍යාගාරයක් සහ පර්යේෂණ සඳහා නිදහස් වටපිටාවක් ද හිමි විය. මෙම කාලය තුළ මෙතුමා දියුණුවන ලෝකයේ රටවල සමාජමය, ආර්ථිකමය සංවර්ධනයට අවශ්‍ය විද්‍යාව හා තාක්ෂණය හරවත්ව යොදා ගැනීම පිළිබඳ ලොව පුරා දේශන හා සංවාද ඇති කරන ලදි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, යුනෙස්කෝව මෙන්ම තෙවන ලොව විද්‍යා ඇකඩමිය වූ ‘TWAS’ හි විද්වත් ජාලය හරහා ලොවට මහත් සේවා රාශියක් ඉටු කළ මෙතුමාට එම ආයතනයේම උපසභාපති තනතුරක් හිමි විය. එහි සභාපතිවරයා වූ පකිස්ථානු ජාතික භෞතික විද්‍යා ආචාර්ය අබ්දුල් සලාම් සමඟ සමීපව වැඩ කරමින් ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ දක්ෂ විද්‍යාඥවරුන්ට ලෝක මට්ටමේ පර්යේෂණ කරන්නට අවස්ථාව හිමිකර දීමට නිරන්තර උත්සාහයක යෙදී ඇත. 

1970/12/6 දින නාසා ආයතනයේ ඇම්ස් පර්යේෂණ පීඨයේ විද්‍යාඥ ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා ඕස්ට්‍රේලියාවේ මාර්චීසන් ප්‍රදේශයෙන් හමු වූ උල්කාපාතයක තිබී සොයාගත් ඇමයිනෝ අම්ල පිටසක්වලින් පැමිණියකැයි සොයාගැනීමට සමත් වීය. තම විද්‍යාඥ ඥානය උපයෝගී කරගනිමින් ලොවටම මහත් සේවාවන් රාශියක් සිදු කරන ලද මෙතුමා ලොවක් කම්පාවට පත්කරමින් 1994/12/20 දින තම පර්යේෂණාගාරයේ පර්යේෂණයක් සිදුකරමින් සිටින අතරතුරම සදහටම දෙනෙත් පියාගත්තේය. තමන්ගේ බුද්ධියේ ප්‍රභාව වැඩිවන කළ හිස උදුම්මවා නොගත් මෙතුමා පර්යේෂණවලට තම ශිෂ්‍ය පිරිසට නිරන්තරයෙන් දුන් ආත්ම විශ්වාසය හා ප්‍රබෝධය ද අතිමහත් ය. 

“ඔහු තරම් ජාත්‍යන්තර ජනප්‍රියත්වයට සහ ගෞරවයට පාත්‍ර වූ වෙනත් ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත විද්‍යාඥයෙකු නොවන තරම් ය.”

ආතර් සී. ක්ලාක් මහතා කළ ඉහත ප්‍රකාශය හරහා ලෝකයට තම දැනුමෙන් විසල් සේවාවන් ඉටුකළ මෙතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ලාංකේය ජනතාවට ආඩම්බරයක් එකතු කළ බව පසක් වේ.

ලොවෙන් සමුගෙන වසර 17 ක පමණ කාලයක් වන මෙතුමාගේ ගුණ පුරෝකතනය කරන්නට ලැබීමද මහත් වාසනාවකි. ජාත්‍යන්තරයේ ලාංකේය නාමය සනිටුහන් කළ පොන්නම්පෙරුම මහතා ජීවත්ව සිටියා නම් 98 වැනි ජන්ම දිනය යෙදෙන අද දිනයේ අද අප අතර නොමැති වුවද  ලොවක් ජයගත් අමරණීය විද්‍යාඥයාණනි ඔබට සුභ උපන්දිනයක්!

 

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තුෂාරි සංජීවනී

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment