Colombo Beacon

නොසිතූ මොහොතක අක්‍රීය වූ සුන්දර සිනමා පටය

විටෙක දුටුවන් සියලු දෙනා එකදු එක තත්පරයකින් සිනමා තිරය, ටෙලිකතා තිරය ඉදිරියේ භීතිය ගැන්වීමට සමත් වූ තවත් විටෙක ආදරණීය පියකුගේ, මෙහෙකරුවකුගේ චරිත වලින් ඒ ඒ අදාළ චරිත වලින් උපරිම දස්කම් පෑ ටෙලි කතා ලොව ප්‍රේක්ෂකයන්ගේ  නිහඬ කලු සිංහයා වූ ඔහුගේ ගැඹුරු  හඬ පරාසයන්ගෙන් රටක්, ලොවක් සැනසූ, නිවූ ආදරණීය කලාකරුවාණන් අප අතරින් හදිසියේම අවරට ගොස්‍ ය.

“දර්ශන් ධර්මරාජ්…” මේ නම ඇසෙන විට මොහුගේ චිත්ත රූපය සිතඟට නොඑන ලාංකේය ප්‍රේක්ෂකයෙකු නොමැති තරම්‍ ය. එය උපමාවක්  ලෙස දැක් වූ කල්හි නොමළ ගෙයකින් අබ මිටක් සොයන්නක් වැන්න.

එවැන්නෙකුගේ නික්ම යෑම ලාංකේය කලා ලොවට කෙතරම් පාඩුවක්ද? 

රුවන්පුර සුන්දර රක්වාන පුරවරයෙන් ලාංකේය සිනමාවට පෑයූ මිණි පහන සැබැවින්ම කලාගාරයක් විය. ශාන්ත ජෝන් දමිළ විදුහලෙන් අධ්‍යාපනය ලද මොහු මාස 3 ක් වැනි ඉතා කෙටි කාලයකදී සිංහල භාෂාව හැසිරවීමට හුරු විය. සිනමාවට තිබූ දැඩි ආසාව නිසාම කොළඹ පුරවරයට පැමිණ ඉතා අසීරු රැකියාවල පවා මොහු නිරත වන්නට විය. 

ලාංකේය සිනමාව අවරගිරෙන් බැස ගිය යුගයක එය තම දෙව්ර මතින් පනගැන්වීමට මොහු සමත් විය. ඔහුගේ ප්‍රථම රූපවාහිනි සිනමා දර්ශන වූයේ සිඩ්නි චන්ද්‍රසේකරගේ A-9 (ඒ නයින්‍) ය. ඉන්පසු මොහුගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂය බවට පත්වන්නේ ප්‍රභාකරන් චිත්‍රපටයේ ත්‍රස්ත නායකයා හට පණ පෙවීමයි. එලෙසින් රඟමඬලට අවතීර්ණ වූ දර්ශන ධර්මරාජ්‍ මහතා ප්‍රේක්ෂක සිත් ඔහු කෙරෙහි මෝහනය කරගැනීමට සමත් විය. 

ලාංකේය සිනමා කලාව තුළ බොහෝ දනන් හට රංගනය සඳහා ආසාව තිබුණත් මේ විශය තුළ ප්‍රසිද්ධියට පත්වන්න ලේසි වුවත් ඒ තුළ සිය පැවැත්ම රඳවා තබා ගැනීම ලේසි පහසු කාර්‍යයක් නොවීය. නමුත් මෙකී අමාරු සන්දර්භය තුළ ඔහුගේ පැවැත්ම ශක්තිමත්ම කර ගැනීමට එදා මෙදා තුර මොහුට හැකියාව ලැබුණි. “මචං, ඉනි අවන්, සරෝජා” ආදී වූ සම්භාව්‍ය නිර්මාණ රාශියක තම අනගිභවනීය රංග  පෞරුෂයක් මතුකරලීමට ඔහු සමත් විය. එමෙන්ම ඉන් නොනැවතී “ඉර හඳ යට, මාතා, උලත් එකයි පිලත් එකයි, ඇඩ්‍රස් නෑ, ආලෝකා උදපාදි, සුපර්ණා, සුනාමි” ඔහුගෙන් හැඩ එක් වූ අපූර්වත්වයෙන් පිරිපුන් නිර්මාණයන් ය. මේ ආකාරයට උතුරු දකුණ සිංහල දමිළ හදවත් කලාවෙන් භද්ද කළ සුන්දර කලාකරුවකු ලෙස මොහු ලක් ඉතිහාසයට එක් වන බව නොඅනුමානය. 

මොහුගේ අප්‍රතිහත රංග ප්‍රතිභාව නිසා මොහු පැසසුමට භාජනය වෙමින් සම්මානයන්ටද පාත්‍ර විය. අශෝක කහඳගමගේ “ඉනි අවන්” (2012) චිත්‍රපටයේ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙකු ලෙස චරිත නිරූපණය කිරිම වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයක දී (දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන 2013, හිරු ගෝල්ඩන් අවොඩ්ස් 2014) හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම මොහුගේ පෞරුෂයෙන් හැඩ ගැන් වූ “ප්‍රාණ” සිනමා පටය තව දින 5 කින් තිරගත වීමටද නියමිතව තිබුණි නමුත් එහි දර්ශන තිරගත වීමට පෙර මොහු සිය දිවි සැරිය නිම කරන්නට වීම කනගාටුවට කරුණකි. මෙලෙස විශිෂ්ඨ රංග ප්‍රතිභාවක් ලාංකේය සිනමාව මත රැන්දූ මෙම රංගවේදියා හදිසියේ ඇති වූ හෘදයාබාධයක්  හේතුවෙන් සදහටම සිය හුස්ම අවුරුදු හතළිස් එකක් තරම් වූ කාලයකදී වා තාලයට මුසු කරන්නට විය. 

ජීවිතය යනු, සුවඳ කූරක් නම් ඉපදෙන දවස යනු, එය දල්වන මොහොතයි. මෙසේ දැල්වූ සුවඳ කූර දැල්වෙන මොහොතේ අසීමිත සුවඳක් පතුරයි. නමුදු එය කුමන හෝ වෙලාවක දැල්වී අවසන් වී භශ්මාවශේෂ පමණක් ඉතිරි  කර යයි. මෙම දැල්වෙන කාල පරාසය තුළ එනම්, ජීවත්ව සිටින කාලය තුළ මෙතුමා පතුරන ලද අසීමිත සුවඳ අදත්, හෙටත් අපේ සිතේ අඩුවක් නොමැතිව රැඳෙනු නිසැක ය.

කතාවෙන් ලියන්න පරිච්ඡේද සැහෙන්න ඉතිරි කර දැයෙන් හදිසියේම සමුගත් ඔබ, ප්‍රේක්ෂක හදවත් තුළ සදාකාලික වී හමාරය. ඉතින්, ඔබට සුබ ගමන්…!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ශශිකලා කල්හාරී

About the author

Janith

Leave a Comment