සාමාන්‍ය

පසු වදන….

අද අපි බොහෝ දෙනෙක් ජීවිතය විදිනවා වෙනුවට ජීවිතය හඹායන්න පුරුදු වෙලා. තමාගේම යාළුවා, එහෙමත් නැත්නම් අසල්වැසියා, අභිභවා යන්න අපි හැමෝම එක පිම්මට දුවනවා. හැබැයි මේ වේගවත් චාරිකාවෙදි ජීවිතයේ හුගක් සුන්දර තැන් අපිට මගඇරිලා කියලා, අපි වටහා ගන්නකොට ඒ වටිනා ජීවිතයෙන් භාගෙකටත් වඩා ගෙවිලා ඉවරයි.
මොකද ඉපදුන දවසෙ ඉදන් එක පිම්මට දුවන අපේ ජීවිත එක්තරා මොහොතකදි විඩාවට පත් වෙනවා. ඒ මොහොතින් පස්සේ තවදුරටත් ජීවිතය හඹා යන්නට අපේ හෘදසාක්ෂිය අපිට ඉඩ දෙන්නේ නෑ. අන්න එතනදි කොහෙ හරි තැනක නතර වෙලා ජීවිතය දිහා හැරිලා බලන්න අපි හැමෝටම සිද්ද වෙනවා. මොකද, තවදුරටත් ජීවිතය ඉදිරියට ගෙනියන්න කලින්, අපි අපෙන්ම යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා.
ඒ තමයි පසු වදන….
මෙතෙක් ගතකරපු ජීවිතය ගැන සටහන් වුණ පසු වදනක් අපේ ඇතුලාන්තය අපෙන් ඉල්ලනවා. අන්න ඒ පසු වදන ලියන්න යනකොට තමයි අපි හුගක් දෙනෙක්ට තේරැම් යන්නේ අපේ ජීවිතවල කොයි තරම් දේවල් අපට මග ඇරිලද කියලා. බොහෝ අයගෙ මේ පසු වදන තවත් එක හිස් පිටුවක් විතරයි. හැබැයි ඒ අය ධනයෙන්, බලයෙන් අනිත් සියලුදෙනා පරයල ඉදිරි‍යෙන්ම ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ධනය, බලය වගේ අස්ථීර දේ කොතරම් උපයගෙන තිබුනත්, තම හෘදසාක්ෂිය තෘප්තිමත් කරන්න සමත් කිසිවක් උපයාගෙන නැති බව හැගී යනකොට, ඇත්තටම ඒ අය හුගක් ප්‍රමාදයි. බොහෝ විට ජීවිතේ ඉදිරි කාලය ඔවුන්ට ගෙවන්න වෙන්නේ ලොකු පසු තැවීමක් එක්ක, වේදනාකාරීව. ඒ අය මරනයේදී පවා සැනසීමක් නොලබන්නෙ, කොතරම් මිල මුදල්, සැප සම්පත් තිබුනත් හදවතේ තෘප්තිය ඔවුන්ට අහිමි නිසයි.
හැබැයි මේ‍ දේවල් මෙහෙම වෙනකොට ලෝකය කොතරම් තරගකාරී වුවත්, “තෘප්තිමත් ‍මිනිස්සු” කියලා හදුන්වන්න පුළුවන් සුළුතරයකුත් ඉන්නවා කියන එක අපට අමතක කරන්න බෑ. ඒ අයගේ පසු වදන, මෙහෙමයි කියලා සීමාකරලා ගොනු කරන්න බැරි තරම් සුන්දර මතකයන් ගණනාව්කින් පිරිල ඉතිරිල යනවා. හැබැයි කලින් කතා කරපු අයතරම් මිල මුදල් හෝ යාන වාහන මොවුන් සතු නොවෙන්න පුළුවන්. ඒත් ජීවිතේ ඉතිරි කාලය තෘප්තිමත්ව ගතකරන්න අවශ්‍ය වන තරම් සතුට අවශ්‍ය ප්‍රමානයටත් වඩා මොවුන් සතුව පවතිනවා.
ඒ නිසා ඔබත් ජීවිතය හඹා යන්නෙක් නම් මදක් නැවතී මෙතෙක් ගත කල දිවිය දෙස හැරී බලන්න.
“මා තෘප්තිමත් අයෙක්? ”
එවිට ඔබේ අතුලාන්තයම ඔබට පිළිතුරැ සපයනු ඇත.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිපුනි හප්පිටිය

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment