විශේෂ දිනයන්

පහනක් දල්වමු අඳුර දුරලමු

සුනිල් තම යතුරුපැදිය පණගැන්වූයේ මෙවර නිවසේ වෙසක් උත්සවය ජයටම පැවැත්වීමට  අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමේ අරමුණෙනි. යතුරුපැදිය අතුරු මාවතක පැද ඒමේදී ඔහු ඉදිරියෙන් දුටුවේ පාර හරහා හිමිහිට ඇදෙන තරමක  ඉබි පැටවෙකි. මනසට පැමිණි පළමු සිතුවිල්ල ක්‍රියාවට නැංවූ ඔහු ඉබි පැටියාගේ සිරුර උඩින් ඉදිරි රෝදය පැදවූයේ  හිත් පිත් නොමැති අයෙක් ලෙසයි.

වෙසක් දින ඔහුගේ නිවස  අටපට්ටම් කූඩු රැසකින් මෙන්ම අදුර කපා පරිසරයම ආලෝකමත් කරන විදුලි බල්බ වැල් කීපයකින්ද හැඩවිය.  ඒ සියල්ලම කළ මුත් ඔහුගේ හිතේ ශ්‍රද්ධාවක් ඇතිවීද? ඔහුට වෙසඟ යනු තවත් එක තම හැකියාව මිනිසුන්ට පෙන්විය හැකි එක්තරා උත්සවයක් පමණි. ඉතින් මේ සුනිල් වැන්නවුන් කී දාහක් මේ බුද්ධ භූමියේ වෙසෙත්ද??

” අපරාදේ මේ පාර බාර් වහලනේ නැත්නම් පෝයට කලින්ම බෝතලයක් ගෙනත් ගියපාර වගේ සෙට් වෙන්න තිබ්බා. ”
සුනිල්  කීවේ  වෙසක් දින රාත්‍රියේ තාප්පයේ ගැටගසූ කම්බියක වෛවර්ණ බකට් පේලියක් එල්ලන තම අසල්වැසියාටයි.

” අම්මේ මට බඩගිනියිනේ. අනේ අම්මේ… ”
තම වයස හතරක් වූ දියණිය බඩගින්නෙ හඬන බව දුටු චමිලා හදවතේ වේදනාවෙන් පීඩා වින්දාය. දියණිය එසේ හඬන විට සය මස් වියැති කොලු පැටියාද කිරි අහේනියෙන් බෑගිරි තලන්නට විය.. දෙදිනක සිට ඔවුන්ගේ පියාට ආදායමක් නොලද බැවින් ගතවූ දෙදිනම ඔවුන් බඩකට පුරවාගත්තේ වැඩිමනක් ලෙස ජලයෙනි.

ඔවුන්ගේ නිවස අසලම දෙමහල් නිවසක වෙසෙන පීරිස් දෙමහල්ලෝ මේ සුදානම් වනුයේ මුහුණුපොතේ දන්දීමේ වැඩසටහනක තම දානයන් පරිත්‍යාග කිරීමටයි. මේ වසංගත අවදියේ එදාවේලා පිරිමසා ගැනීමට නොහැකි දරු පවුල් මුහුණු පොතෙන් සොයාගොස් ලොවට පෙනෙන්ට උපකාර කිරීමටයි…
ජැන්ඩියට හැදගත් ඔවුන් තමන්ගේ කාරයේ නැගී චමිලාගේ ගේ ඉදිරියෙන් වේගයෙන් ඇදුනේ කමිසයක් නොමැතිව බඩ පිට පොත්තටම ඇලී මිදුලේ වැලි සෙල්ලම් බත් පිසින දරුවාගේ ඡායාවක් හෝ නොදැකයි… මුහුණුපොතින් රට වටේම පිං කරන බහුතරයකට  තම නිවස අසල එසේත් නැතිනම් තම මාවතේ, තමන්ගේ ග්‍රාමයේ දිවිගෙවන උපකාර අවශ්‍ය වූවන් පෙනෙන්නේ නැත.
එසේනම් එන්න සඟයනි අපි පිං එක්රැස් කරගනිමු හිත පිරෙන්නට නොව ලොවට දකින්නට.

” එහෙනම් හාමුදුරුවනේ මේ තමයි එක්රැස් වෙච්ච අපේම මිනිස්සුන්ගේ ආධාර බඩු, ද්‍රව්‍යය, මිල මුදල්. ”
රට වටා දානපතියන්ගෙන් රැස් කර අාධාරද මිල මුදල්ද ගමේ පන්සලේ නායක හාමුරුවන්ට පරිත්‍යාග කරේ වෙසඟේ පීඩිතව වෙසෙන ගම්මුන්ට බෙදාදීම සඳහාය…

” උක්කුවේ ඔන්න ඔය හාල් මිටි හත පුංචිනෝනා උපාසක ඇත්තිගේ ගෙදරින් ගිහින් තියන්න… ඉතුරුව අපි ඔය කාට කාටහරි බෙදාදෙමු. එදා ටවුමේ අබාන්ස් එකෙන් බලපු අළුත් AC මැෂිම මගේ කාමරේට ගෙනත් අල්ලගන්න වෑල්ඩින් කොලුවත් කතා කරන් වරෙන්  ”

හාමුදුරුවෝ ඈදි පුටුවේ අසුන්ගත්තේ බලාපොරොත්තු සරිකරගත් දෑසකිනි. අහම්බයකින් වුවද මෙවන් බුද්ධ පුතුන් මේ ධර්මදීපය තුල වෙසෙන බව ඔබ නොදන්නවා විය නොහැක.

එදින හංදියේ පිං පඩියෙන් එදා වේල පිරිමහන ගුනේරිස් පරිප්පු දෙසියපනහයි හාල් කිලෝවයි පොඩි සාඩිං ටින් එකයි  කළු සිලිමල්ලකට දමාගන ගියේ දොහොත් මුදුනින්ම හාමුදුරුවන්ට නමස්කාර කිරීමෙන් අනතුරුවයි. ගුනේරිස් එනතෙක් පෙරමං සතුටින්  බලාසිටියේ දකින තැන සැවොමගෙන් ගුටිකන ලොං හැළුණු ඉබාගතේ ගිය කැහැටු බැල්ලියයි.

ඇති අයට නොදැනෙන දුක, නැති අයට නැති අය වෙනුවෙන්ම දැනීම අමුතුවෙන් කල්පනා කළ යුතු මහා පරිමාණ කරුණක් නොවෙයි. දුක දන්නෝ දුක විඳින්නෝය. පීඩාව දන්නෝ පීඩාව විඳින්නෝය.

” අද බිත්තර කඩන්න බෑ ළමයෝ… අද වෙසක් පෝය… අනිද්දට අපි චිකන් කරියක්ම හදමුකෝ. ”
ඒ තවත් නිවසක මුළුතැන්ගෙයෙහි සංවාදයකි…
ප්‍රාණඝාත අකුසලය වලංගු පොහොය දිනයට පමණක් බව බුදුරාජාණන් වහන්සේ වදාළ බව මගේ මතකයේ නැත. අකුසලය නම් අකුසලයකි. එයට දිනයක් වෙලාවක් හෝ ස්ථානයක් අදාල නැත.
සමහර විටෙක අකුසලයෙහි බලය වඩාත් වැඩි පොහොය දිනයේ බවට රිතීයක් සම්මත වන්නට ඇත…සමාවන්න මම එය නොදැන සිටියෙමි.

” අද දින මෙරටදී සිදුවූ නවවන කොවිඩ් -19 මරණයත් වාර්තා විය. ”
රූපවාහිනියේ විකාශය වූ  විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දීමට නාලිනි උපාසක ඇත්තී පැමිණියේ මකුළු දැල් කැඩූ කොස්සත් අතැතිවයි ..

” අනේ හත්දෙවියනේ .. පව් ඒ මනුස්සයා. ලබන ආත්මෙවත් මෙවන් කරදරයක් නොවේවා!!! ”
නාලිනි උපාසක මැණියෝ මේ දිනවල වෙසෙන්නේ වෙසක්දින නිවසේ සීල ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහස පෙරදැරිවයි. ඉතින් ඇය  බොහෝ සිල්වත් ලෙස කාලය ගත කළාය..

” දන්නවා ද  නෝනේ.. අපේ අර පොල් ඉඩමේ මායිමට නඩු කිව්ව උන්, අන්න උන්ගෙ පවුලම නිරෝධනයට අරං ගිහින් වයසක උන්දැටත් අමාරුයි කියන්නේ . ”

” ඔය හැත්තනම් මැරිලා යන එකමයි හොඳ… ඔය මහ එකා තමයි ඔක්කොටම මුල වුනේ. ඕකුන් මුළු ගමටම දැන් ලෙඩ බෙදයි. එලවලා දාන්නයි තියෙන්නේ ආයේ නොයෙන්නම. ”
එසේ කියූ ඇය රූපවාහිනිව වසා දමා සතුටු වූයේ තමන් ඇසූ සුබාරංචිය අහල පහල නිවෙස්වලටද බෙදාදීමේ යහපත් අරමුණෙනි.

ඇයට කාමරයේ මකුළු දැල් කඩා සෝදා පිරිසිදු කරගත හැක. නමුත් ඇගේ සිතේ ඇති කුණු කඳු පිදුරුතලාගලත් පරදවනු ඇත. භෞතිකව සියල්ලම ඉවත්කරගත හැක. මානසිකව හැමදාමත් ගඳ ගසන්නට හැඟුම් සියල්ලම එකම තැන පල්වෙයි. නාලිනි සතර පෝයටම පෙහෙවස් සමාදම් වනවා ඇත. සෑම දිනකම උදේ හවා බුදු පහන දල්වනවා ඇත. නමුදු ඇයගේ සීලය ඒ මොහොතට පමණකි.

ඇත්තෙන්ම පුහු හිස් අදහස් මුදුන්පත් කරවාගැනීමට ව්‍යාජ සීලයක් පෙන්වා සමාජෙන් ලබන සියලු ගරු බුහුමන් ගඟට කෑපු ඉනි බව යම් දිනෙක ඒ සියලු මිනිසුන්ට පසක් වනවා ඇත.
හේතු ඵල දහම අනුව සෑම ක්‍රියාවකටම ඒ හා සමානම කර්මයක් පවතී. ඉතින් විශ්වාස කරමු කර්මයේ ඵල විපාක.

මේ ගෙවෙන්නේ වෙසක් සමයයි . එක් වසංගත තත්වයක් හමුවේ නිවසටම කොටුවී ගෙවන සමයයි.  සියලු  මිනිස් සබඳතාවයන්ට  සීමා පැනවී ඇත. අවම වශයෙන් මේ තත්වයෙන් ප්‍රයෝජන ගෙන වෙහෙස නිවාගන්නටවත් නොනැවතී හැල්මේ දුවන දිවි ගමනේ වචනයෙන් හෝ සිත නිවාගත හැක… මහාපරිමාණයෙන් ලොවටම පෙනෙන්නට කළ යුතු නැත හැකිනම් ඉරටු කැබලි වලින් හෝ පවුලේ සියල්ලෝම එකතුව සාදන පුංචි අටපට්ටම් කූඩුවක් ඔබ සැමගේම සිත සනහනු ඇත.

වෙසක් දින මල් පූජා කිරීමට නිවසේ වතුසුදු ගසේ සුදු මල් කිහිපයක් සැදැහැති චේතනාවෙන් නෙලාගැනීම විටෙක මහා දානයකට වඩා කුසලයකි. අපේ කුසල අකුසල සියල්ලටම මූලික වන්නෙ සිතයි. ඒ මොහොතේ බලපවත්නා සිතිවිල්ලයි. මේ විපත්තිදායක වෙසඟේවත් නිර්ව්‍යාජව අවංක චේතනාවෙන් දිවිගෙවීමට ඉගෙන ගනිමු. මිනිසා ඇතුළු සියලුම ලොකු කුඩා සෑම ජිවීයෙක්ට ප්‍රේම කරන්නට ඉගනගනිමු…

තමන් ආදේශකොට අනෙකා ගැන සිතන්නේනම් අපේ ජිවිතවල බොහොමයක් වැරදි නිවැරදි කරගත හැකිවේ. සියලු ආමිස හා ප්‍රතිපත්ති පූජා අතර ඒ ගැනත් සිතන්න. එය අපගේ ඉල්ලීමයි.

එක් පහනක් දල්වමු!!!
වෛවර්ණ පුහු ආටෝප අන්ධකාරය
කහ පැහැති ආලෝකයෙන්

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හංසිකා ප්‍රබෝදිනී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment